අප්පා මෙන්න බොලේ යක්කල බසුත් ඇවිල්ලා බදුල්ලට
September 19, 2014
ඡන්දේ තියෙන්නේ බදුල්ලෙද? ගම්පහද?
රිදීමාලියද්ද රැස්වීමේ අනුර දිසානායක කතා කරමින් සිටියේය. ”අපේ රැස්වීම්වලට බත් පැකට් එකට අරක්කු ටිකට එන අය නෙවෙයි ඉන්නේ. අපි ඒවා දීලා ජනතාව ගෙන්න ගන්නේ නැහැ.” කතාව කරන අතරේ සන්ධාන රැලියට පිරිස රැගෙන ආ ලංගම බස්රථ රැස්වීම අසලින් ගමන් කළේය. එම බස් රථ අයත්ව තිබුණේ අනුරාධපුර, ගම්පහ යක්කල ඩිපෝවලටය. අනුර දිසානායක මෙය දුටුවේය.
“අප්පා මෙන්න බොලේ යක්කල බසුත් ඇවිල්ලා බදුල්ලට. ඒ විතරක්ද මෙන්න තව ගම්පහ බස්. අනුරාධපුරෙනුත් බස් ඇවිල්ලනේ. මම කල්පනා කළේ බදුල්ලෙද ගම්පහද ඡන්දේ තියෙන්නේ කියලා.” අනුර දිසානායක කියා සිටියේය.
“ආණ්ඩුවේ ඇමතිවරු කලබල වෙලා ඉන්නෙ. එන පොට හොඳ නැහැ කියලා කට්ටිය බැලූවා. ඒ නිසා ලොක්කම වැඩෙට බැස්සුවා. ලොක්කා මොකද කළේ ලයිට් බිලයි, තෙල් මිලයි පහළට දැම්මා. ඒ තරමට බයවෙලා. මොකද ඒ ගොල්ලන්ට අභ්‍යන්තර ඇත්ත තොරතුරු ලැබෙනවනේ.” අනුර කීවේය.
ජවිපෙ නායකයා මල්වතු පාර්ශවයේ මහනායක හිමි බැහැදකී
ජවිපෙ නායක අනුර දිසානායක මැතිවරණ කටයුතු අවසන් වීමෙන් පසුව 18වෙනි දින මල්වතු පාර්ශවයේ මහනායක හිමි බැහැදැකීමට ගියේය. ඒ ජාතික සංවිධායක බිමල් රත්නායකද සමගිනි. මෙම හමුවේ ප්‍රධාන අරමුණ වී තිබුණේ රටේ මතුවී තිබෙන දේශපාලන වටපිටාව සම්බන්ධයෙන් නායක ස්වාමින්වහන්සේ සමග සාකච්ඡා කිරීමයි. ප්රජාතන්ත්රවාදය බිඳ වැටීම සහ රටේ යහපාලනයට එල්ලවී ඇති තර්ජන සම්බන්ධයෙන්ද ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳවද මෙහිදී අවධානය යොමුව තිබේ.