Back to Top

ශෂීන්ද්‍ර කතරගම දේවාලේ ඉඩම් අක්කර 500ක් යාළුවන්ට දීලා

September 19, 2014  



නියං සහනාධාරය මොනරාගලට විතරමයි...

පළාත් සභා මැතිවරණ උණුසුම හමුවේ වුවත් 18වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව තිබෙන නීති තර්කය නිසා ජනාධිපතිවරණයක් ගැනද කතාබහ වෙමින් තිබේ. පසුගිය සතියේ වාර්තාවූයේ වත්මන් ජනාධිපතිවරයාට 18 සංශෝධනය අනුව නැවත වරක් ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය නොහැකි බවයි. කෙසේ වෙතත් මෙම තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා විසින් රහසිගතව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසූ බවටද වාර්තා පළවිය. මේ සම්බන්ධයෙන් නීතිඥ සුනිල් වටගල ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ටාර්වරයාගෙන් විමසීමක් කළේය.

“අර්ථකතනයක් ඉල්ලූවා කියනවා නේද? මොකක්ද මේකේ ඇත්ත තත්වය” සුනිල් වටගල විමසීය. ”එහෙම එකක් මම දැනුවත්වනම් ආවේ නැහැ” රෙජිස්ටාර්වරයා වටගලට කියා සිටියේය.


මැතිවරණය ඉලක්ක කරගනිමින් මොනරාගලට නියං සහනාධාරය ලබාදීමට ආර්ථික සංවර්ධන අමාත්‍යංශය ගත් උත්සහය මැතිවරණ කොමසාරිස්වරයා මැදිහත්වී නැවැත්වීය. නමුත් ආණ්ඩුව සැලසුම් කොට ගොනු කළ පෙත්සමක් විභාගකොට නියං සහනාධාරය රු.2500/= ලබාදීමට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ලබාදුන්නේය. මේ පිළිබඳව දැනගත් නාමල් කරුණාරත්න වටගලට දුරකථන ඇමතුමක් දුන්නේය.


“නියං සහනාධාරය දෙන්න තවත් දිස්ත‍්‍රික් තියෙනවා. මොනරාගල ඉන්නේ 04වෙනි තැන. මොනරාගලට දෙනවානම් තවත් දිස්ත‍්‍රික්ක තියෙනවා සහනාධාර දෙන්න  ඕනෑ. මේකට මොකක්ද කරන්න පුළුවන්” නාමල් කරුණාරත්න විමසීය.

”අපි මේකට මෝසමක් දාමු” වටගල යෝජනා කළේය. කෙසේ වෙතත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ මෙහෙයවීමෙන් තවත් දිස්ත‍්‍රික් හතක් නියෝජනය කරන ගොවීන් පිරිසක් තම ප‍්‍රදේශවලටද නියං සහනාධාරය ලබාදෙන ලෙස එම පෙත්සමටම මෝසමක් ඉදිරිපත් කළේය. ඒ වෙනුවෙන් පෙනී සිටියේ නීතීඥ සුනිල් වටගලය.

“මොකද නඩුවට වුණේ” නීතිඥයෝ වටගලගෙන් විමසූහ. “විභාගයට දිනයක් නැතිව කල් ගියා” වටගල කීවේය. ”ආණ්ඩුවෙන් දාපු නඩුවට දවසක් ඇතුළත විභාග කරලා තීන්දුවක් දුන්නා. ඒ නඩුවට ඇතුළු කරපු මෝසම විභාගයට දින නැහැ. අනෙක මේක ගොවීන්ගේ සාධාරණ ඉල්ලීමක්නේ. පුදුම රටක් මේක” මේ පිළිබඳව නීතිඥයින් අතරේ දැඩි කතාබහක් ඇතිවිය.


කෙසේ නමුත් ආණ්ඩුවට තමන් සිතූ පරිදි වාසියක් ලබාගැනීමට නොහැකි විය. සහනාධාර බෙදීමේ නිසි ක‍්‍රමවේදයක් නොමැති නිසා සහනාධාර ලබාගැනීම පැමිණි ජනතාව ගියේ ආණ්ඩුවට බැණ බැණය.


සමන්තගේ අභියෝගයක් තාමත් වලංගුයි...


ජවිපෙ බදුල්ල දිස්ති‍්‍රක්කයේ අවසන් දින රැළියක් රිදීමාලියද්ද නගරයේ සංවිධානය කර තිබිණි. රිදීමාලියද්ද සමන්ත විද්‍යාරත්නගේ ගමය. ඔහු රැස්වීමට කැඳවාගෙන ගියේ ගමේ වැඩිහිටින් පිරිසය. ඒ වෙනුවෙන් ඔවුන් විසින් පෙළපාලියක්ද සංවිධානය කර තිබිණි. එහිදී සමන්ත විද්‍යාරත්න ආණ්ඩුවට එල්ල කළ අභියෝගයක් අලූත් කළේය.

”ශෂීන්ද්‍ර රාජපක්ෂගේ වංචා දූෂණ අපි ළඟ ෆයිල් පිටින් තියෙනවා. එයාට අපි අභියෝග කළා විවෘත සංවාදයකට එන්න කියලා. මේ වෙනකල් ආවේ නැහැ. මොකද එයා දන්නවා සංවාදයකට ආවොත් හොරකම් ඔක්කොම එළිවෙනවා කියලා. දැන් ශාන්තුවරයෙක් වෙන්න හදනවා. මාධ්‍යවල තනියෙන් වළං බිඳිනවා. කතරගම දේවාලයට අයිති ඉඩම් අක්කර 500ක් පසුගිය දවස්වල යාළුවන්ට දීලා. මේ වෙලාවේ ඡන්ද අඩුවෙනවා කියලා හිතෙනවනම් ඡන්දේ ඉවර වෙලා හරි විවාදයකට එන්න කියලා ශෂීන්ද්‍රට අභියෝග කරනවා. මොකඳ මේ වංචා දූෂණ රටේ ජනතාව දැනගත යුතුයි.”


”මම බස්නාහිර දකුණ ජනතාවට ස්තූති කරනවා. මොකද ආණ්ඩුවේ ඡන්ද අඩුකරලා ජවිපෙ ඡන්ද වැඩි කරපු නිසා දැන් ඌව ජනතාවට සහන ලැබෙනවා. අපි ඌව ජනතාවට කියනවා ඒ ආදර්ශය ගන්න කියලා. ආණ්ඩුවේ ඡන්ද අඩු කරලා ජවිපෙට ඡන්ද වැඩිකළොත් හෙට දිනයේ මුළු රටටම සහන ලැබෙනවා. එතකොට මුළු රටම ඌව ජනතාවට ස්තූති කරයි.” සමන්ත කියා සිටියේය. 


සමන්ත විද්‍යාරත්න රිදීමාලියැද්දේ පැවැති ජනහමුවෙන් පසුව බදුල්ලට ගමන් කරමින් සිටියේය. ඔහුට දුරකථන ඇමතුමක් ලැබුණේ සුභපැතුමකුත් සමගිනි. ”ඔබතුමා මට අඳුරගන්න නම් බැරිවුණා” සමන්ත කීවේය.

“ඔව්, මට මීට කලින් ඔබතුමාට කතාකරන්න අවස්ථාව ලැබුණේ නැහැ. මම ඩිලාන් ඇමතිතුමා ළඟ හිටපු කෙනෙක්. අවුරුදු 20ක් ඇමතිතුමා වෙනුවෙන් වැඩකරපු කෙනෙක්. නමුත් මේ දේශපාලනය අපිට එපා වෙලා තියෙන්නේ.” ඩිලාන් පෙරේරා සමග වසර 20ක් පමණ ශ‍්‍රීලනිප දේශපාලන කටයුතුවල නිරතවූ සමීපතමයෙක් දුරකථන සංවාදයේ අනෙක් පැත්තෙන් පිළිතුරු දුන්නේය.

”අපි අපේ වගකීම ඉටු කරනවා. මේ ආණ්ඩුවේ රහස් අපි එළිකළා. අපිට ආඩම්බරයක් තියෙනවා අපි ජනතාව වැඩි පිරිසක් ඇමතුවා කියලා. ඔබතුමාලත් අපි කියපු දේ තේරුම් ගත්ත එක ගැන සතුටුයි.” සමන්ත කීවේය.  ”අපේ පවුලෙම ඡන්ද සියයකට වැඩිය තියෙනවා. මේ සැරේ හැම ඡන්දයක්ම ජේවීපී එකට දෙන්න අපි තීරණය කළා.”
ඩිලාන්ගේ පැරණි මිතුරා පැවසීය.


MOST VIEWED VIDEO STORIES

MORE >>