Back to Top

අල්-කයිඩා ඉන්දියාවට පැමිණීම කෙසේ බලපායිද?

September 15, 2014  


අල්කයිඩා නායක අය්මන් අල් - සZව්හරී ඉකුත් බදාදා දිනයේ තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේය. ඒ ඉස්ලාමීය නීතිය ව්‍යාප්ත කරමින් ‘‘ජිහාඩ් කොඩියක් ඔසවනු පිණිස“තම සන්නද්ධ ව්‍යාපාරයේ ඉන්දියානු ශාඛාවක් පිහිටුවීමට ක්‍රියාකරන බවයි. අල්කයිඩා නායකයාගේ ප්‍රකාශය ඇතුළත් මිනිත්තු 55 ක් වන වීඩියෝව මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබේ. අල්කයිඩා නායකත්වයෙන් යුතු පාර-ජාතික ඉස්ලාමීය රාජ්‍යයට අභියෝගයක් ලෙස යම් යම් මතභේද සමග ඇෆ්ගනිස්ථානයේ තලේබාන් සංවිධානය ක්‍රියාත්මක විය. එසේ වුවද ඇෆ්ගනිස්ථාන තලේබාන් නායක මුල්ලාහ් ඕමාර් සමග පෙර පැවති චිරාගත බැඳම නැවත අලුත්කර ගැනීමටද කටයුතු කළ බව මෙම වීඩියෝවෙන් ඔහු ප්‍රකාශ කරයි.



                                           
             අල් සZව්හරී තම සන්නද්ධ ව්‍යාපාරයේ ඉන්දියානු ආකෘතිය ප්‍රකාශයට පත්කරමින් පවසා ඇත්තේ එය මියෙන්මාරය,බංග්ලාදේශය,ඇසෑමය,ගුජරාටය,ආහමද්බාද් සහ කාශ්මීරය යන පෙදෙස්වල ජීවත්වන මුස්ලිම් ජනතාවට සුබාරංචි දනවන “ඉන්දීය උප මහද්වීපික අල්කයිඩා“වක් වන බවයි. එය මෙම පෙදෙස්වල දිවිගෙවන බලවත් පිඩාවට හා අසාධාරණයට පත් ජනතාවට අලුත් පියාපත් ලැබීමක් වන බවද හෙතෙම කියා සිටියි. අල්කයිඩා සංවිධානයේ ඇවෑමෙන් කැරලිකාර නායකයින් ඉස්ලාමීය රාජ්‍යයක් සඳහා සටන් කරමින් සිටින බවත්, ඉරාක-සිරියානු දේශසීමාවේ ඊසාන දිග සිරියාවේ ස්ථාපිත ඉස්ලාම් රාජ්‍යය තරුණ අනුගාමිකයින්ට දිරියක් හා ආදර්ශයක් සපයන බවත් ඔහු සඳහන් කර තිබේ. එකී ඉස්ලාමීය රාජ්‍යයේ නායක අබුබක්ර් අල් - බග්ඩෑඩි තමාව හඳුන්වා ගනු ලබන්නේ ලොව සියලුම මුස්ලිම්වරුන්ට පක්ෂපාතීව පෙනී සිටින,“ඛලීෆ් වරයෙකු“ ලෙසයි. මේවන විට දැවැන්ත මිනිස් සංහාරයක් සිදුව ඇති සිරියාවට 2013 වසරේදී අල් - සZව්හරී විසින්ද කැරලිකාර කණ්ඩායමක් පිටත් කර හැර ඇති බවද සඳහන්ය.




කෙසේ වෙතත් ඉස්ලාමීය රාජ්‍ය වක්‍රව හෝ පිළිනොගන්නා ඉන්දියානු නව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිට අය්මන් අල් - සZව්හරීගේ ප්‍රකාශය අභියෝගයකි. ඉන්දියාවේ අතිබහුතරයක් වන හින්දු ජනතාවගෙන් එරට වෙසෙන සුළුතර මුස්ලිම් ජාතීන්ට සිදුවන ගැහැට හා අකටයුතුකම් පිළිබඳ නරේන්ද්‍ර මෝඩි දක්වන නිහඬ පිළිවෙත හේතුවෙන් එය වඩාත් තීරණාත්මක වන බව පැහැදිලිය. අල්කයිඩා සංවිධානයේ ස්වදේශික භූමිය වන ඇෆ්ගනිස්ථාන-පකිස්ථාන දේශසීමා මායිම තුළ එම සංවිධානයේ පිරිස් බලය මෙන්ම බලපෑම ශක්තිමත් වුවද එය සෙසු ප්‍රාදේශීය තලයන්හි මේවන තුරු දැඩි බලපෑම් සහගතවන බවක් පෙන්නුම් නොකරයි.එහෙත් සිදුවිය හැක්කේ කුමක්ද යන්න පිළිබඳ කිසිවෙකුටත් අනාවැකි පළකිරීම අසීරුය.





                               2011 වසරේ එක්සත් ජනපද හමුදා විසින් ඝාතනය කරන ලද අල්කයිඩා සංවිධානයේ හිටපු නායක ඔසාමා බින් ලාඩ්න් සමග අය්මන් අල් - සZව්හරී පිට පිටම මුල්ලාහ් ඔමාර්ට පක්ෂපාතීව කටයුතු කරන බවට ගිවිසගෙන තිබුණි. විශේෂයෙන්ම සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසුව ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂා සහිතව රැඳී සිටියදී මෙම පොරොන්දුව ලබාදී තිබිණි. ඉස්ලාමීය රාජ්‍යයේ බලපෑම මත රාජ්‍ය ගොඩනැඟීම වෙනුවෙන් බටහිර ලෝකයට ප්‍රහාර එල්ලකිරීම සඳහා සැලසුම් කරන අල්කයිඩා සංවිධානයේ මැදි පෙළ නායකත්වය කිසිදෙයකින් කිසිවිටෙකත් දායකවී නොමැත.අල්කයිඩා සංවිධානයේ පිරිස් පොදුවේ සිරියාවේ “ඉස්ලාමීය රාජ්‍යයට“එරෙහිව මතයක් දරන්නේ වුවද අල් - සZව්හරී පවසා ඇත්තේ තමන් මෙම විසංවාදී තත්ත්වය හෙලාදකින බවයි. සිරියාවේ සටන්වදින විවිධ සටන්කාමී සංවිධාන අතර එකමුතු බවක් තිබිය යුතු බව පවත්නා තත්ත්වය විවේචනය කරමින් ඔහු පෙන්වාදෙයි.



“මුස්ලිම්වරුන්ගේ පාරිශුද්ධතාවයට ජිහාඩ් වෙනුවෙන් වැඩකරන්නේනම් ඔවුන්, ඔවුන්ගේ වස්තුව හෝ ගෞරවය අතික්‍රමණය නොකළ යුතුයි. එපමණක් නොව එය මුජහිදීන් සහෝදරයින්ගේ වචනය හෝ ක්‍රියාව නෙවෙයි.“ ඔහු සඳහන් කරයි.


“විසම්මුතිය ශාපයක් හා පීඩාවක්. විශ්වාස කරන උදවියට අවලාදයක්.අවිශ්වාස කරන්නවුන්ට ආශිර්වාදයක්. ඔබේ ජිහාඩයට අනුව එය නිවරදි යයි ඔබ කියාවි. එහෙත් අල්ලාහ් දෙවියන්ගේ කැමැත්තට අනුව එය එසේ නොවේ. ඒ නිසා ආණ්ඩුකරණය හෝ නායකත්වය ඔබේ පළමු තෝරාගැනීම නොවිය යුතුයි“ හෙතෙම අවධාරණය කරයි.



මිලියන 175ක් වන ඉන්දියාවේ ජනගහණයෙන් මුස්ලිම් ජනයාගේ ප්‍රමාණය සලකා බලන විට එය 15%කි. එහෙත් ලෝක මුස්ලිම් ජනගහණය සමග සසදා බලන විට ලෝකයේ තෙවෙනි ස්ථානයට වැඩි වශයෙන්ම මුස්ලිම් ජනකායක් වාසය කරනු ලබන්නේ ඉන්දියාවේය. එබැවින් යම් හෙයකින් ඉන්දියාවේ අල්කයිඩා සංවිධානයට ක්ෂේම භූමියක් වුවහොත් එය දකුණු ආසියානු කලාපයටම ඉමහත් තර්ජනයක් වනු නොඅනුමානය. අල්කයිඩා නායක අය්මන් අල් - සZව්හරීගේ ප්‍රසිද්ධ ප්‍රකාශය හා අභියෝගය පිළිබඳ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මේවන තෙක් ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකර නොමැත. එහෙත් ඉන්දියාවේ මුස්ලිම් අන්තවාදයට බිහිවීමට අවැසි හේතු සාධක උද්ගත නොවන තැනට කටයුතු කිරීමේ වගකීම එරට අග්‍රාමාත්‍යවරයාට තිබේ. ඒ එය හුදෙක් ඉන්දියාවට පමණක් නොව  කාලාපයටම බලපවත්වන බව පුන පුනා නොකිව යුතු නිසාය.







REUTERS - ඇසුරිණි.
ප්‍රියාන්





MOST VIEWED VIDEO STORIES

MORE >>