Back to Top

රවී හොඳට මතක තියාගන්න ඔයා මේ පක්ෂයට ආපු කෙනෙක්

September 5, 2014  






මැතිවරණ කටයුතු සිදුවන අතරතුර හදිසියේම විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ පසුගිය බදාදා ඉන්දියාවට ගියා.


තිරුපති කෝවිලට ගොස් විශේෂ පූජාවක් පැවැත්වීම මේ ගමනේ අරමුණ වුණා.


විපක්ෂ නායකවරයා සමග මේ ගමනට ස්වාමිනාදන් මන්ත‍්‍රීවරයාත් එකතු වුණා.


විපක්ෂ නායක ඉන්දියාව බලා පිටත්වූ දවසේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ නායකත්ව මණ්ඩල රැස්වීමක් පැවැත්වුණා.


මේ රැස්වීමට ඇවිත් හිටියේ සභාපති කරු ජයසූරිය, මහලේකම් තිස්ස අත්තනායක, රවී කරුණානායක, කබීර් හෂීම් සහ රුවන් විජේවර්ධන යන මන්ත‍්‍රීවරුන් පමණයි.


පක්ෂයේ ඉදිරි  කටයුතු ගැන සාකච්ඡා කර අවසන් වෙද්දී රවී කරුණානායක ප‍්‍රශ්නයක් ඇදගත්තා.


‘‘ඔබතුමා මාධ්‍යයට කියලා තියෙනවා පක්ෂයේ වෙනස්කම් කරන්න යනවා කියලා. සජිත්ට නියෝජ්‍ය නායකකම දෙනවා කියලා. කාගෙන් අහලද මේ ප‍්‍රකාශ කරන්නේ?’’


‘‘රවී මේ ප‍්‍රශ්න මෙතන කතා කරන්න බෑ. පෞද්ගලිකව හමුවෙන්න මම උත්තර දෙන්නම්.’’


තිස්ස රවීගේ කතාව වළක්වන්න උත්සාහ කරද්දී කරු ජයසූරිය මැදිහත් වුණා.


‘‘තිස්ස අපි රවී කියන්නේ මොකක්ද කියලා අහලා බලමු.’’


කරුගේ ඉල්ලීම පරිදි යළිත් රවීට කතාකරන්න අවස්ථාව ලැබුණා.


‘‘පෞද්ගලිකව කතා කරන්න අවශ්‍ය නෑ. නායකත්ව මණ්ඩලය කිසිම තීරණයක් අරගෙන නෑ පක්ෂයේ වෙනස්කම් කරන්න. කෘත්‍යාධිකාරී මණ්ඩලයත් දැනුවත් නෑ. එක එක්කෙනාට  ඕන විදිහට පක්ෂයේ තනතුරු දෙන්න බෑ. මෙහෙම ගියොත් අපිට ඔයාගේ මහලේකම්කම ගැන තීරණයක් ගන්න වෙනවා.’’


‘‘රවී හොඳට මතක තියාගන්න ඔයා මේ පක්ෂයට ආපු කෙනෙක්. මම මේ පක්ෂයේ ඉන්න කෙනෙක්. ඔයාට බෑ මට අභියෝග කරන්න. අපි අනිවාර්යයෙන් පක්ෂයේ සියලූ දෙනාම එකට එකතු කරනවා. පුළුවන්නම් ඒක නවත්තන්න.’’


‘‘මහලේකම් දැඩි ස්ථාවරයෙන් යුතුව රවීට අභියෝග කරද්දී කරු නායකත්ව මණ්ඩල රැස්වීම අවසන් කළා.



රවී කරුණානායක ඇතුළු නායකත්ව මණ්ඩලයේ කිහිපදෙනෙකුගේ බලපෑම් හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය තුළ වෙනස්කම් රැසක් සිදුකිරීමට නායක රනිල් ගත් උත්සාහය ආපස්සට ඇදුණා.


මේ නිසාම සජිත් සහ රනිල් ඌවේ ඡන්ද සටනට එක්වීමත් දිනෙන් දින ප‍්‍රමාද වුණා.


මේ ප‍්‍රමාදයත් සමග රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු ඌවේ අපේක්ෂකයින් කිහිප දෙනෙකු සජිත් සමග කතා කළා.


‘‘පක්ෂයේ වෙනස්කම් සිදුකරලා මේ කැම්පේන් එක පටන්ගන්න හිටියොත් අපිට දිනන්න තියෙන අවස්ථාවයි නැතිවෙන්නේ. නායකතුමාගේ පැත්තෙන් එකඟවූ වෙනස්කම් කළත් නොකළත් ඔයා ඌවට එන්න’’


‘‘අපි එකමුතුවෙලා ඌවට බැස්සොත් ඒකෙන් ලොකු ජවයක් එනවා ඡන්ද ව්‍යාපාරයට.’’


‘‘ලබන සෙනසුරාදා පක්ෂ සංවත්සරයේදී නායකතුමා පක්ෂ වෙනස්කම් සිදුකරන බව රටට කියයිද?’’


‘‘ඒක කරන නොකරන එක නායකතුමාගේ වැඩක්. මම සංවත්සරයට යනවා වගේම එතැන් සිට ඌවේ ඡන්ද සටනට සක‍්‍රීයව දායක වෙනවා.’’


සජිත්, රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසට සුබවාදී බලාපොරොත්තුවක් දුන්නා.

















MOST VIEWED VIDEO STORIES

MORE >>