Back to Top

වාසුගේ උපායශීලිත්වය රටට බලපාන හැටි

August 19, 2014  


යළිත් මෙසේ ලිවීමට සිදුව තිබේ. භයානක තක්කඩින් යනු අන් කවුරුවත් නොව ක‍්‍රමයට එරෙහිවන බවට පෙනී සිටිමින් භාවිතාවෙන් එය ආරක්ෂා කරන්නවුන්ය.



පසුගිය සතියේ අමාත්‍ය වාසුදේව නානායක්කාර සමගින් කරන ලද සම්මුඛ සාකච්ඡාවේදී අමාත්‍ය වාසුදේව පොලිසියෙන් දැන් තිබෙන්නේ පිස්සන් ගේ සමාජයක්දැයි ප‍්‍රශ්න කළ බව ප‍්‍රකාශ කර තිබුණි. එසේම ඔහු යළිත් වරක් පොලිසියට තමන් සිටිනුයේ සාමකාමී ජනයාට හිරිහැර කිරීමට නොව පුරවැසියන්ට නීතිය ඉටු කිරීමට යැයි උපදෙස්ද දී තිබුණි. ඔහු සිය සම්මුඛ සාකච්ඡාව අවසන් කර තිබුණේ මෙපරිද්දෙනි. ‘‘ මම ඉල්ලා අස්වුණා  කියල ප‍්‍රශ්ණ විසඳෙනව නං මං ඉල්ලා අස්වෙන්න සූදානම්. ඒ නිසා එළියට යන එක නෙමෙයි විසඳුම. ඊට වඩා යම් කිසි උපායශීලී තීන්දුවක් ගන්න පුළුවන් විය යුතුයි. ඒ සඳහා අපි උපායශීලී වෙනව.‘‘



 ඉදින් දැන් අප සැලකිය යුතු කාලයක් තිස්සේ අමාත්‍ය වාසුදේව නානායක්කාර ගේ මේ උපායශීලී වීම පිළිබඳව බලා සිටිමු. එම උපායශිලී වීම කෙසේ වෙතත් අවසන ඔහුම අපට ඔප්පු කර සිටියේ ආණ්ඩුවේ විශේෂයෙන්ම රාජපක්ෂ ජනපතිවරයාගේ ආරක්ෂයකු ලෙස පෙනී ඉන්නා අධිරාජ්‍ය විරෝධී තමාට තම මතය පළ කරමින් කාටත් හිමි මාවතක කිලෝ මීටර් කිහිපයක් නිදහසේ යාමට පවා අවසරයක් නැති බවයි. එහිදී ඉතා අසරණ තත්ත්වයට පත් වෙන ඔහු ප‍්‍රශ්න කරනුයේ පොලිසියයි. ප‍්‍රශ්න කළ යුත්තේ කවුද යන්න ඉතා හොඳින් දැන සිටියදීත් අමාත්‍යවරයා උපායශීලී වෙමින් දැන් තියෙන්නේ පිස්සන්ගේ සමාජයක්දැයි අසන්නේ ඉහළින් එන නියෝග කීකරුව ක‍්‍රියාත්මක කිරීම හැරුණ විට අන් යමක් නොදන්නා අංග විකල පොලිසියෙනි. අනෙක් අතින් දැන් තිබෙන සමාජය  පිස්සන්ගේ සමාජයක් ලෙස අර්ථ දැක්වීමම දේශපාලන අඥානකමකි. වාසුදේව නානායක්කාර වැනි අමාත්‍යවරයකු ඒ තත්ත්වයට පත්වීම ඉතාම හාස්‍යජනකය. මන්ද යත් මේ වන විට රට පුරා බලය ක‍්‍රියාවේ යොදමින් ඉන්නා සියලූම අන්තවාදී කණ්ඩායම් හුදු පිස්සන් නොව සැලසුම් සහගත න්‍යාය පත‍්‍රයකට අනුව ක‍්‍රියාත්මක වන දේශපාලන බලාධිකාරියේ අනුග‍්‍රහය ලබන පාර්ශව බව කුඩා දරුවකුට වුව වැටහෙන බැවිනි.




මේ ඉතා හොඳින් පෙන්වා දුන් තවත් අවස්ථාවක් පසුගිය 07 වැනි දා නාරාහේන්පිටදී දක්නට ලැබුණි. රාජපක්ෂවරුන්ගේ සමීපතම ආරක්ෂක භූමිකාවක නිරත රාජිත සේනාරත්න අමාත්‍යවරයාට  එරෙහිව බොදුබල සේනාව විසින් එල්ල කරන ලද කුජීත ප‍්‍රහාරය හමුවේ සිය සළු ලිහී වැටුණු අමාත්‍යවරයා විසින් ඊට එරෙහිව පවත්වන්නට යෙදුණ විරෝධතාව අවසන කෙලවර වූයේ ධීවර සංස්ථාව වැනි ආයතන වලින් පවා බස් වලින් ගෙන ආ උදවියට බසයෙන් බැසීමට පවා නොහැකිව නාරාහේනපිට පොලිස් රැකවරණ මැද ආපසු හැරී යාමට සිදුවීමයි. රාජිත සේනාරත්න අමාත්‍යවරයාට  අවසන සිදුවූයේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා ඥානසාර හිමිට එරෙහිව වන්දි නඩුවක් පවරා ලබා ගන්නා මුදල් සමාජ සේවයට යොදන බව පවසා ජාම බේරා ගැනීමට තැත් දැරීම පමණි. මාක්ස්වාදය මෙන්ම බෞද්ධ දර්ශනයද මැනැවින් හැදෑරුවේ යැයි කියන රාජිත අමාත්‍යවරයාද දැන් පත්ව ඉන්නේ ගලේ පැහැරූ බළලාගේ තත්ත්වයටය.  පසුගිය සමය පුරා අන් කවර ගැටළු මධ්‍යයේ වුව රටේ ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ඔහුට තිබූ ලකුණද දැන් යුදවාදී ආණ්ඩුවක ලොන්ඩරි සේවයේ යෙදීමෙන් අහෝසිව ගොසිනි.



රාවය පුවත්පතින් දැක්වෙන ආකාරයට ඉදිරි ජනපතිවරණයේදී ආණ්ඩුවට එක්ව ඉන්නා වම්මුන්ගේ උපායශීලී ප‍්‍රවේශයද කදිමය. ඔවුහු ක‍්‍රමයට එකහෙළා විරුද්ධය. එහෙත් පනපතිවරණයේ දී සහය දෙනුයේ මහින්දටමය.දැනටමත් පැහැදිලිවී ඇති පරිදි විධායක ජනපති ක‍්‍රමය අහෝසි කිරීම රාජපක්ෂ රෙජීමයේ අදහස නොවේ. ඔවුන්ගේ කැමැත්ත වනුයේ එය තවත් බලවත් කිරීමයි.  එවන් තත්ත්වයක් යටතේ ක‍්‍රමයට විරුද්ධව , එයම ආරක්ෂා කිරීමට බලලෝභී දේශපාලකයකුට සහය පළ කිරීම තුළින් පෙනෙන තමන්ගේ හෙළුව වසාගැනීමට ඔවුන් හදන්නේ නියම උපායශීලී විග‍්‍රහයකි. ඩිව් ගූණසේකර නම් මාක්ස්වාදියා පහදන්නේ  දක්ශිණාංශික පෙරමුණ එක්ව අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් තමන් සන්ධානයට සහය දෙන්නේය යනුවෙනි.



දැන් මාක්ස්වාදය මැනැවින් හැදෑරූ ඩිව් ඇතුළු වම අපට නිර්වචනයක් දී තිබේ. ඒ තමන් ද ඉන්නා සන්ධානය වාමාංශික බවයි. ඔහු රාජපක්ෂ රෙජීමයට එරෙහි වන්නන් දක්ෂිණාංශික පෙරමුණක් සේ හඳුන්වන විට ව්‍යංගයෙන් කියවෙන්නේ සන්ධානය වාමාංශික බවයි. එහෙයින් දැන් ඔවුන් දක්ෂිණාංශයෙන් වම බේරා ගැනීම සඳහා රාජපක්ෂවරුන් යළි බලයට ගෙන ඒමට සැදී පැහැදී සිටිති. ඔවුන් ආරක්ෂා  කිරීමට ප‍්‍රතිඥා දෙන වාමාංශික ආණ්ඩුවේ තරම පසුගියදා යළිත් පෙනුනේ අඥාන ලිපි පළ කිරීම තුළින් එල්ලවූ බලපෑම සමනය කිරීමට ඉන්දියාවෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලීම මගිනි. ඒ අතරම වාමාංශික ආණ්ඩුවක බලය ක‍්‍රියාවේ යෙදවෙන ආකාරය ඉතා සරලව පැහැදිලි කරන ලද්දේ ජනපති පුතු සහ ගායක ඉරාජ් බාලිකා පාසලක උම්මා ඉල්ලන ගීත ගායනය තුළිනි. බාහිර පාර්ශවයනට පාසල් දරුවන් විෂය බාහිර නොව විෂය කි‍්‍රයාකාරකම් සඳහා වුව ගැනීමට අධ්‍යාපන බලධාරීන්ගේ අවසරය ලබාගත යුතුව පවතින රටක බලය හමුවේ තම වෘත්තීය ගරුත්වය පවා පිරිහෙළමින් විදුහල්පතිවරුන් හිස නමන ආකාරය ඩී.එස් සහ විශාඛා විදුහල් වලින් පෙනුණි.



 මෙවන් පිළිකුල් සහගත ක‍්‍රියා දිනපතා වඩ වඩා සිදුවන්නේ අපේ වම්මුන්ගේ සහය හිමිවන වාමාංශික ආණ්ඩුවකිනි. ඔවුන් කෙතරම් වාමාංශිකද යත් ඔවුන් කරනා ඇතැම් අකටයුතුකම් අන්ත දක්ෂිණංශික ආණ්ඩුවකින් පවා දැකිය නොහැකිය. වාසු, ඩිව්, තිස්සලාගේ සුසමාදර්ශි වාමාංශික ආණ්ඩුව යටතේ නීතිය යනු මඩ වළකි. අධ්‍යාපනය යනු  කළු කඩයකි. ජාතික සමගිය යනු කටගැස්මකි. යහපාලනය යනු රැවටිල්ලකි. එහෙත් අපේ වම්මු මේවාට එරෙහිව ඉඳහිට නඟන සිහින් කෙඳිරිය හැර අන් කිසිදු පියවරක් නොගනිති. අනෙක් අතින් ධනවාදයෙන් ඔවුනගේ අධිරාජ්‍ය විරෝධී සන්ධානය බේරා ගැනීම සඳහා නම් හැකි උපරිම අන්දමින් බෙරිහන් දෙති. ආර්ථික, සමාජ, සංස්කෘතික,රාජ්‍ය තාන්ත‍්‍රික  ආදී සියලූම ක්ෂේත‍්‍රයන් අන්ත පරිහාණියට ලක්ව තිබියදී මේ වම්මුන් කරනුයේ ඊට එරෙහි වීම නොව දකුණින් අධිරාජ්‍යවාදයෙන් රට බේරා ගැනීමට යැයි කියමින් දුර්දාන්ත පාලනයකට සුදු හුණු ගෑමයි. පුවත් පතේ ලිවිය නොහැකි නිසා සැර බාල කල බසින් ගමේ ගොඩේ කියමනක් ලියන්නේ නම් මේ වනාහී අහවල් එක තියාගෙන අහවල් එකෙන් අහවල් කාරිය කිරීමකි.



තවදුරටත් විධායක ජනපති ක‍්‍රමය අහොසි කිරීමේ අරගලය සම්බන්ධයෙන් මේ ඊනියා වමේ සහය අපේක්ෂා කිරීමේ අර්ථයක් නැති. ඔවුන් ඊළඟ මැතිවරණයේදීද විධායක ජනපති ක‍්‍රමයට එරෙහිව විධායකය තව තවත් සවිමත් කිරීමට කැපවුණ ජනපතිවරයා වෙනුවෙන්  උපායශීලී ලෙස පෙනී සිටින ඇත. අප කළ යුත්තේ ‘මහත්වරුනි ඔබ ඔබේ මග යන්න“ කියමින් විධායක ජනපති ක‍්‍රමයට එරෙහිව මුළු රටම සංවිධානය කිරීම සඳහා හැකි සියලූ පාර්ශව එක් කර ගනිමින් ප‍්‍රබල ව්‍යාපාරයක් ආරම්භ කිරීමයි.



අවසන් වශයෙන් වාසු අමාත්‍යවරයාට මෙය කිව යුතුය. ඔබ කියනා උපායශීලීත්වය යනු ගොරකා දඩමස් කිරීම යන පිරුළට පර්යාය යෙදුමක් පමණි. සුභ ගමන්.





- නුවනු උදය වික‍්‍රමසිංහ.


MOST VIEWED VIDEO STORIES

MORE >>