Back to Top

දෛවය හරස් කළ පූලාන් දේවියගේ ඝාතකයා 13 වසරකට පසු වැරදිකරුවෙයි

August 15, 2014  



ඇය අවිහිංසකය.සමාජයේ පහත් යයි සම්මත කුලයක උපත ලැබීම හේතුවෙන් අපමණ ගර්හාවට පත්වූවාය. දුක් කම්කටොළු වින්දාය.සමූහ දූෂණයට ලක්ව ජීවිතයත් මරණයත් අතර පීඩා වින්දාය.අවසන ඇය නැඟී සිටියාය. තමාට අකටයුතුකම් කළවුන්ට මරණයේ ආශිර්වාදය උදා කළාය. ඒ හේතුවෙන්ම සිරගත වූවාය. නිදහස ලැබූ ඇය  අරගලයට වෙනත් මානයක් එකතු කරමින් දේශපාලනයට පිවිස පාර්ලිමේන්තුව නියෝජනය කළාය.අවසන වෙඩි උණ්ඩයකින් ඇය නිහඬ වූවාය.වසර 13 ට පසු ඉකුත් සතියේ ඇයගේ ඝාතකයා වැරදිකරු බව තහවුරුවිය.ඇය අන් කිසිවෙකු නොව ලෝකයේම අවධානය දිනාගත් ඉන්දියාවේ පූලාන් දේවිය.ඝාතකයා ෂිර් ශින් රනාය.




                         ‘බැන්ඩිට් ක්වීන්‘ලෙස පසුව හැඳින්වූ පූලාන් දේවි උපත ලැබුවේ 1963 අගෝස්තු 10 දාය.ඒ විස්තෘත පවුල් ලෙස ජීවත්වන ඉන්දියාවේ පහත් පෙළ කුලයක් වන මල්ලාහ් කුලයේ දැරියක ලෙසිනි. ජාලුන් දිස්ත්‍රීක්කයට අයත් උත්තර ප්‍රදේශ් හි ‘ගොර්හා කා පූර්වා‘නමින් හැඳින්වෙන කුඩා ගමක ඉතා දිළිඳු අඹු-සැමි යුවළක් වූ දේවි දින් හා මූලා දෙදෙනාට දාව පවුලේ හතර දෙනෙකුගෙන් යුතු පවුලේ  බාල දරුවා ලෙසය. තරමක මුරණ්ඩු ගති පැවතුම් සහිතව කුඩා විය ගත කළ ඇය පවුලේ උදවියට බාහිරින් එල්ලවන තාඩන පීඩනවලදී මෙන්ම පවුල තුළ තමාගේ පුංචි පවුලට සිදුවන ගැහැටද (මව-පියා-සහෝදරී)නොඉවසන්නියක වූවාය.තමන් අයිති නිවස පැවතියද මුළුතැන්ගෙය,මිදුල,ඉඩම ආදී සියල්ල මහා පවුලේ වගකිව යුතු අය විසින් තීන්දු තීරණ ගන්නා දේවල් විය.ආච්චි සහ සීයා ජීවිතක්ෂයට පත්වූ පසු පවුලේ නායකත්වය ගන්නා ලද්දේ පූලාන්ගේ පියාගේ වැඩිමල් සහෝදරයාය.පවුලට අයිතිව පැවති විශාල දේපළක් බඳුවූ ගසක් කපා විකුණා ගැනීමට එකී මහප්පාද ඔහුගේ පුත්‍රයාද පිඹුරුපත් සැකසීය.පියා සුළු විරෝධයක් පා නිහඬ විය.


“ඔහෙට පුතාල නෑනේ. දුවල දෙන්නෙක් විතරනෙ ඉන්නේ? පවුලේ සෙසු ඥාතීන්ද පියාට එරෙහිව මහප්පලාගේ පැත්ත ගත් අයුරු ඇය බලා සිටියාය.
පූලාන් තම සහෝදරියද සමග එකී ගස පැවති ඉඩමේ වාඩිගෙන විරෝධය පෑහ. අවසානයේ පවුලේ සෙස්සවුන් පැමිණ ඔවුන් දෙදෙනා ඇදගෙන ගෙදරට ගෙනවිත් දමන ලදී.




                                                     මේ අයුරින් නොහොබිනාකම් නොඉවසූ පූලාන්, වරිගයේ ගති පැවතුම්වලට එහා ගිය මුරණ්ඩු ගතියකින් යුතු බව වැඩිහිටියන්ගේ අදහස විය.11වැනි වියේදී ඇයට බෙහෙවින් වැඩිමල් පුරුෂයෙකු වූ පුත්ති ලාල් නමැති අය සමග විවාහවීමට සිදුවූයේද පවුලේ ඥාති බලවන්තයෙකු වූ මායාදින්ගේ  බලපෑම උග්‍ර වූ හෙයිනි.ගස කපා විකුණාගෙන පියාගේ දේපළ කොල්ලකෑම හේතුවෙන්ද ඇය ඔහු හා බෙහෙවින් උරණ වී සිටියාය. බලහත්කාරයෙන් විවාහවීමට සිදුවූ නිසාම ඇය සැමියා ප්‍රතික්ෂේප කළාය. එහෙත් ඔහු බලහත්කරයෙන්ම ඇය දූෂ්‍ය කළේය.කෙසේ වෙතත් ඇතිකරගත් ගැටුම්කාරී තත්ත්වයෙහි ප්‍රතිඵලයක් ලෙස ඇය  මහේෂ්පූර්වල සැමියා අතහැර යළි නිවසට පැමිණියාය. පසුව යළි සැමියාට කෙරේ යැවීමට ඥාතීහු කටයුතු කළහ. ඇය යළිදු කළහ කොට ගෙදර පැමිණියාය.ඒ නිසාම විස්තෘත පවුලේ වැඩිහිටියන්ට ඇය හිසරදයක්ම විය.කෙසේ වෙතත් ඇය සිය පියා හා වැඩිමල් සහෝදරිය සමග එක්ව කුලී වැඩවල නිරත විය. තිදෙනා එක්ව ළී දඬු හා මැටි උපයෝගි කර ගනිමින් ගෙවල් සෑදීම කළහ.එහිදී ගණන් හිලව් තීරණය කිරීමේ බලය නිරන්තරයෙන් පූලාන්ට හිමිවිය. ඇය ගනුදෙනු වලදී හේට්ටු කිරීමට අකමැති තද ගති පැවතුම් ඇත්තියක ලෙස ප්‍රකටව සිටියාය. එක් පුද්ගලයෙකුට එවැනි පොරොන්දු මුදලකට ගෙයක් සාදාදීමෙන් පසු පොරොන්දුවූ මුදල ඒ අයුරින්ම ගෙවීමට ඔහු අකමැත්ත පළ ක‍ළේය. එදින රාත්‍රීයේ පූලාන් තනිව ගොස් එකී නිවස විනාශ කර දැම්මාය. වයස අවුරුදු 15 දී මව්පියන් ඉදිරිපිටදීම ඇය ගමේ ප්‍රභූන් විසින් දූෂණය කළාය. එම සිදුවීමෙන් ඉතා කෙටි කලක් ඇය නිහඬව සිටියාය. 16 හැවිරිදි වියේදී ඇයට වෛර කළ පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකුගේද මැදිහත්වීම මත පූලාන් දාමරිකයින් විසින් පැහැරගැනීමට ලක්විය. එයම ඇයගේ ජීවිතය වෙනස්කරලීමට සමත් සිදුවීම බවට පත්වෙයි.



             ඇය පැහැරගනු ලැබූ දාමරික කණ්ඩායමේ නායකයින් දෙදෙනෙක්  සිටියහ.සාමාන්‍යයෙන් එකල දාමරික කණ්ඩායම්වල විරුද්ධවාදීන් නොමග යැවීමේ උපක්‍රමයක් ලෙස නායකයින් දෙදෙනෙකු පත්කර ගැනීම නිතැතින් සිදුවිය. ඒ අනුව පූලාන් පැහැරගත්තවුන්ගේ නායකයින් දෙදෙනාම ඇයට එක සේ වශී වී සිටියහ.කෙසේ වෙතත් වික්‍රම් මල්ලාහ් නම් දාමරික නායකයා විසින් බැබූ නමින් හැඳින්වූ අනෙකා එක් අවස්ථාවකදී ඝාතනය කර දමයි.ඉන්පසු පූලාන් දේවිය ඔහුගේ එකම දාමරික බිරිඳ වූවාය.ඇයද ඔහුට බෙහෙවින් ආදරය කළාය.


“වහලෙකු හෝ මස් වැදැල්ලක් ලෙස නොව මනුෂ්‍යයෙකු ලෙස මට  සැලකුව පළමු පුද්ගලයා වික්‍රම්.“ පූලාන් ස්වකීය ජිවන චරිතාපදනානයේ ඔහු ගැන එසේ සටන් කිරීමට අමතක නොකළාය.
ටික කලකින් වික්‍රම් ප්‍රමුඛ දාමරික සේනාව පූලාන් දේවිය පෙරටු කොටගෙන ඇයගේ උපන් ගමට පෙරහැරකින් පැමිණියහ. ගමේ ගෞරවාදරය ඔවුහු දිනා දුන්හ.වසර කිහිපයකින් වෙනත් දාමරික කණ්ඩායමක් විසින් වික්‍රම් ඝාතනය කිරීමෙන් පසු එහි නායකත්වය නිතැතින්ම පූලාන් දේවිට හිමිවිය. ඇය දාමරික කණ්ඩායමේ නායකත්වය දැරූ වසර 5ක හෝ 6ක කාලය තුළ කුල හීන ජනයාට සිදුවන ගැහැට වලට එරෙහිව කුලීනයන්ට දඬුවම් කිරීමටද කිසි විටකෙත් නොපැකිළුණාය.



                                    2001 වසරේ ජූලි 25 වන දින රනා විසින් ඇය වෙඩිතබා ඝාතනය කරන ලදී. පොලීසිය කියා සිටියේ එය ඇයව නොරිස්සූ කුලීනයන්ගේ කුමන්ත්‍රණයක් කූටප්‍රාප්තියට පත්වූ අවස්ථාව බවයි.1981 පෙබරවාරි මස වැලන්ටයින් දිනයේ ඇයගේ නියෝග මත කුලීනයන් 22 දෙනෙකු ඝාතනයට ලක්වීමේ සිදුවීමට පලිගැනීමක් වශයෙන් මෙම ඝාතනය සිදුවිය. උතුරු ඉන්දියාවේ බෙහ්මයි ගමේදී මෙම සමූල ඝාතනය සිදුවිය. කෙසේ වෙතත් පූලාන් දේවි විසින් 81 වසරේ සුප්‍රසිද්ධ ඝාතනයන් සිදුකිරීමට තීන්දුවක් ගෙන තිබුණේ කලකට ඉහතදී ඇයව සමූහ දූෂණයට ලක් කිරීමේ පලිය ගන්නටය.තමා දූෂණයට ලක් කළ කුලීනයන්ගෙන් පලිගැනීමට ඇය එය අවස්ථාවක් කරගෙන තිබුණි. එහෙත් මෙම සිද්ධියේදී තමන් එකී ඝාතනයන්ට නායකත්වය දුන්නු බව ඇය අධිකරණයේදී ප්‍රතික්ෂේප කළාය. කෙසේ වෙතත් ඇයට ඒ වෙනුවෙන් නඩු විභාගයක් නොමැතිව වුවද ,11 ක් වසරක් සිරබත් කන්නට සිදුවිය.ඒ අනුව ඇය 1994දී නිදහස ලැබුවාය.ඉක්බිතිව වසර දෙකක් තුළ පාර්ලිමේන්තු මහමැතිවරණයට තරඟ කළ ජයග්‍රහණය කළ ඇයට 96 වසරේදී පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට වරම් ලද්දාය. යළි 98 වසරේදී ඇයට පාර්ලිමේන්තු අසුන අහිමිවන නමුත් 99 වසරේදී යළිත් එය ලබාගැනීමට ඇයට හැකිවිය.



                                                    කුඩා වියේ සිට අනේක විධ ගැහැට විඳ පසුව තුවක්කුවේද,ඡන්දයේද බලයෙන් සමාජයේ කැපී පෙනුණු පූලාන් දේවි,  දිල්ලියේ අශෝකා පාරේ ඇගේ නිවස ඉදිරිපිටදී දහතුන් වසරකට ඉහතදී මහ දවාලේ වෙඩිතබා ඝාතනය කරන ලදී. ප්‍රධාන සැකකරුවූයේ ෂිර් ශින් රනා වුවද ඔහු ඇතුළු 11 දෙනෙකුට ඝාතන චෝදනා එල්ලවී තිබුණි. ඒ අතර රනාගේ සහෝදරයා වූ විජෙයිද සිටියේය. එහෙත් විජෙයි ඇතුළු සෙසු චූදිතයින් 10 දෙනාම සාක්ෂිවල දුර්වලතා හේතුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය විසින් ඉකුත් සතියේ තීන්දු කරන ලදී.


“ෂිර් ශින් රනා හැර අන් සියලුදෙනාම අපරාධ නීතියේ 302 වගන්තිය යටතේ මනුෂ්‍ය ඝාතනය,307 වන වගන්තිය යටතේ ඝාතනයට සහය දැක්වීම,34 වගන්තිය යටතේ පොදු අභිප්‍රාය පිළිබඳ චෝදනාවන්ගෙන් නිදොස් කොට නිදහස් කරනවා“විනිසුරු ඉකුත් 12 වන දින විවෘත අධිකරණයේදී තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කියා සිටියේය.
චෝදනාවන්ට වරදකරු බැව් ප්‍රකාශවීමත් සමග රනා අධිකරණයේදී හඬා වැටුණේය.



“අනිත් හැමෝමත් සම්බන්ධවුණාම මට විතරක් දඬුවම් දෙන්නේ ඇයි? ඔහු ප්‍රසිද්ධියේ විමසා සිටියේය.


“මට දඬුවම් කළ හැක්කේ  ලැබෙන පූර්ව සාක්ෂිවලට අනුව පමණයි. ඔබට මහාධිකරණයට අභියාචනා කරන්නට පුළුවන්“අතුරු කාලයේදී විනිසුරු භරාත් පර්ෂාර් අවධාරණය කළේය.



ඒ අනුව අධිකරණය විසින් නිදහස් කරනු ලැබුවේ ධාන් ප්‍රකාශ්,ශෙකාර් සිං,විජෙයි සිං හෙවත් රාජු(රනාගේ සොහොයුරා),රාජේන්ද්‍ර සිං නොහොත් රවීන්දර් සිං,කේෂව් චූවාන්,ප්‍රවීන් මිත්තාල්,අමිත් රතී,සුරෙන්ද්‍ර සිං නේගි නොහොත් සූරි,ශර්වාන් කුමාර්ය.නඩුවේ 10 වෙනි චූදිතයා වූ ප්‍රදීප් සිං නඩුව විභාගවෙමින් පැවති වකවානුවේ 2013 වසරේ තිහාර් බන්ධනාගාරයේදී හෘදයාබාදයක් හේතුවෙන් හදිසියේම ජීවිතක්ෂයට පත්විය.13 වසරක් තිස්සේ විවිධ විනිසුරුවරුන් 12 දෙනෙකු විසින් මෙම නඩුව විභාග කළ අතර අධිකරණ ඉතිහාසයේ වාර්තාවක් තබමින් පැමිණිල්ල වෙනුවෙන් 171 දෙනෙකු වාචිකව සාක්ෂි ඉදිරිපත් කර තිබුණි.


 
පූලාන් දේවියගේ ජීවිතය සදානුස්මරණීය කරමින් ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වූ ෂෙකාර් කපූර් විසින් ඇයගේ ජීවිත කතාව අළලා ‘බැන්ඩිට් ක්වීන්‘නම් චිත්‍රපටය නිර්මාණය කළ අතර ඇයගේ අනුගාමිකයන් ‘නූතන ලෝකයේ රොබින්හුඩ්‘යන්නෙන් ඇයව හඳුනා ගන්නට වැඩි කැමැත්තක් දක්වයි. ඇයගේ මරණයට දඬුවම් හිමිවූ ප්‍රධාන චූදිතයා වන ෂිර් ශින් රනා 2001 ජූලි 27වන දින දෙහරදුන් වලදී අත්අඩංගුවට පත්වෙයි.වසර 3ට පසුව තිහාර් බන්ධනාගාරයෙන් පැන යාමට හෙතෙම සමත්වෙයි. බන්ධනාගාරයේ සිට අධිකරණය දක්වා කැටුව එමින් සිටියදී ආරක්ෂකයින් නොමග යවා මගදී පැනයාමට ඔහුට හැකිවිය.එහෙත් 2006 වසරේ කල්කටාවේදී හෙතෙම යළිත් අත්අඩංගුවට පත්විය. මේවන විට ඔහු නිශ්චිතව ඇයගේ ඝාතනයට වගකිව යුත්තා බවට ප්‍රකාශයට පත්ව ඇතත් එකී තීන්දුවට එරෙහිව මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමේ අයිතිය ඔහුට හිමිය. එබැවින් තවමත්  පූලාන්දේවියගේ මරණයට සාධාරණය ඉෂ්ඨවී ඇතැයි පැවසීම උගහටය.




The Indian Express ඇසුරිණි.

-ප්‍රියාන්


MOST VIEWED VIDEO STORIES

MORE >>