Back to Top

ඩලස් විමල් රහස් සාකච්ඡාවක්

August 11, 2014  


ජාතික නිදහස් පෙරමුණ ඌව පළාත් සඳහා වෙනම නාමයෝජනා පත‍්‍ර සකස් කළා. එම නාමයෝජනා බාරදීම සඳහා බදුල්ල සහ මොණරාගල බලා පසුගිය සඳුදා කණ්ඩායම් දෙකක් කොළඹින් පිටත් වුණා.


කණ්ඩායම් දෙක පිටත් කර හැරිය පක්ෂ නායක අමාත්‍ය විමල් වීරවිංශ සිය නිල නිවසේ දහවල් රැඳී සිටියදී ඔහුගේ ජංගම දුරකථනයට නියෝජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න ගෙන් දුරකථන ඇමතුමක් ආවා.


‘‘ඔබතුමාලා ඌවට වෙනම තරඟ කරන්න ගත්ත තීරණය ආණ්ඩුවේ ගමනට එතරම් හොඳ තීරණයක් නෙමෙයි.’’

‘‘කරන්න දෙයක් නෑ, ආණ්ඩුව අපේ මේ යෝජනා නොසලකා වැඩකරනවනම් අපිට මේ තීරණය ගන්න වෙනවා.’’

විමල්ගේ ප‍්‍රතිචාරය එය වූ බැවින් වහාම ලසන්ත අලගියවන්න ඇමති ඩලස් අලහප්පෙරුම සමග විනාඩි කිහිපයකින් විමල්ගේ නිල නිවසට ආවා.

පැයකට ආසන්න කාලයක් ඇමති විමල් සමග සාකච්ඡා කළ ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා විමල්ගේ නිල නිවසෙන් පිටත් වුණේ පක්ෂයේ මහලේකම් මෛත‍්‍රීපාල සහ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ යන ඇමතිවරු හමුවීමේ අරමුණින්.

මෛත‍්‍රීපාල සහ බැසිල් රාජපක්ෂ සමග යෝජනා 12 ගැන සාකච්ඡා කළා. ඩලස් පැය 2 ක් ඇතුළත යළිත් විමල්ගේ නිල නිවසට ආවා.

එතැන් සිට රාත‍්‍රී 12 වනතුරු ඩලස් සහ විමල් සාකච්ඡා කළේ ජාතික නිදහස් පෙරමුණේ යෝජනා ගැනයි.


‘‘යෝජනා 12 න් හතරක් දැනටමත් අපි පිළිගත්ත කරුණු. ඉතිරි යෝජනා 8 ක‍්‍රියාත්මක කරන බවට අපි සහතික වෙනවා. හෙට පක්ෂය වෙනුවෙන් මමත් මහලේකම්වරයාත් ජාතික සංවිධායකත් අත්සන් කරලා ලිපියක් බාර දෙන්නම්. අපිව විශ්වාස කරලා නාමයෝජනා බාරදෙන එක නවත්වන්න.’’


‘‘අපි නාමයෝජනා වෙනම බාරදෙන්න තීරණය කළේ පක්ෂයක් විදිහට, මම හෙට දේශපාලන මණ්ඩලය රැස්කරලා තීරණය දැනුම් දෙන්නම්’’ ඇමති විමල් වීරවංශ පොරොන්දු වුණා.



වීරවංශ ඇමතිවරයා පොරොන්දු වූ පරිදි පස්වනදා උදෑසන දේශපාලන මණ්ඩලය රැස්කර මේ ගැන සාකච්ඡා කළා.


දීර්ඝ වාද විවාද හේතුවෙන් දේශපාලන මණ්ඩලය තුළ එකඟත්වයකට ඒම දුෂ්කර කාර්යයක් වුණා.


කොටසක් ඌවට තනිව තරග කළයුතුයි කියද්දී බහුතරයක් දෙනා සිටියේ සන්ධානය සමග තරග කළයුතුයි යන ස්ථාවරයේ.


අවසානයේදී බහුතර මතයට අනුව යමින් සන්ධානය සමග තරඟ කරන්න තීරණය වුණත් ඒ වනවිට යොදාගත් නැකතට බදුල්ලේ නාමයෝජනා පත‍්‍රය බාරදී තිබුණා.

වහාම මොණරාගල නාමයෝජනා බාරදීම නතර කළ ඇමති වීරවංශ තම  සාමාජිකයින්ට සන්ධානයේ නාමයෝජනා පත‍්‍රයට අත්සන් කරන ලෙස උපදෙස් දුන්නා.

අවසානයේදී විමල් වීරවංශ මහතාගේ ඉල්ලීම පරිදි ජාතික නිදහස් පෙරමුණෙන් ඉවත් වී පසුගියදා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වූ උදය කුමාරට නාමයෝජනා ලබා නොදීමට තීරණය කෙරුණා.


MOST VIEWED VIDEO STORIES

MORE >>