Back to Top

මම බයිලාකාරයෙක් නෙවෙයි

August 4, 2014  

මම බයිලාකාරයෙක් නෙවෙයි

මෙවර අපි දෙරණ ආලින්දයට ආරාධනා කරලා තියෙන්නේ කවුරුත් දන්න කියන පුද්ගලයෙක්.  දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 5 තරඟයේ කිරුළ හිමි ඔහුටයි.  ඒ එම්.ජී. ධනුෂ්කදෙරණ ආලින්දයට සාදරයෙන් පිළිගන්නවා.  

 

 

කොහොමද මේ දිනවල වැඩ කටයුතු? ටිකක් කාර්යය බහුලයි කියලා ආරංචි වුණා? 

 

කියලා නිම කරන්න බැරි සතුටක් තියෙනවා මේ දවස් වල.  එක අතකින් ටිකක් කාර්යබහුලයි. දවසකට දුරකථනයට එන ඇමතුම් බැලුවත්, ගෙදරට එන ලිපි බැලුවත්, ප්‍රසංග වේදිකාව අතින් ගත්තත්. ගොඩාක් කාර්යය බහුලයි. වෙලාවට කෑමක් නෑ. වෙලාවට නින්දක් නෑ. දෙරණත් එහෙමයි මමත් එහෙමයි. ගොඩාක් කාර්යය බහුලවෙලා ඉන්නේ.

 

සිහින තරුව ඔබ වෙයි කියල හිතුවද?

 

 

නෑ. හිතුණේ නෑ.  හැබැයි මෙහෙමයි. මම මාව එක තැනකදි මාකට් කර ගත්තා.  මම ගීත ගායනා කළේ ලංකාවේ ජීවිත්වන සමාන්‍ය ජනතාවට. මම ආව තැන හරියට ආවා. ඒක නිසා මිනිස්සු මාව වැළඳගත්ත කියලා මං හිතනවා. මං හිතුවේ නෑ ඩ්‍රීම් ස්ටාර්  වෙයි කියලා. ගොඩාක් දක්ෂ අය හිටියා මේ සීසන් එකේ. දෙරණ ඩ්‍රීම් ස්ටාර් ඇත්තටම මේ සීසන් එක මාරයි. 

 

කොහොම හරි අවසාන 12 දෙනාට ඒමේ බලාපොරොත්තුවක් මගේ හිතේ තිබුණේ. වටෙන් වටේ ඔහොම ඉස්සරහාට එනකොට මට විශ්වාසයක් ඇති වුණා. මිනිස්සුත් මාව වැළඳගත්තා ටික ටික ඒ වෙනකොට.  කොහොම හරි අවසාන තුන් දෙනාගෙන්  තුන්වෙනියා මෙන්න මෙයා කියලා කිව්වාම පස්සේ මට ව්ශ්වාසයක් ඇති වුණා.  ඉතින්  එතනින් පස්සේ මම හිතාගත්තා අනිවාර්යෙන්ම මම දිනනවා කියලා.  

 

 

ඔබ කියනවා ඔබ එක තැනකදී මාකට් කර කියලා. ඔබ දුක මාකට් කරාද එසේ නැතිනම් ඔබ දුක මාකට් කරගන්න ප්‍ර යෝගයක් යෙදුවාද? 

 

 

මම කිව්වේ දුක මාකට් කර ගැනීමක් ගැන නෙවෙයි.  මම කියන්නේ මගේ ගීත ගැන. මම කවදාවත් දුක කියලා නෑ. මට අරක නෑ මේක නෑ කියලා කියලා නෑ. මට දැන් කියන්න පුළුවන් බය නැතුව ඒ ගැන. මං අවසාන 12 වෙනකන් ඇන්දේ එකම ඩෙනිම. මම ඒකත් කියන්නේ අද නමුත් කවදාවත් ඒ ගැන කියලා නෑ. 

 

මට එකම කලුපාට ඩෙනිම් එකක් තිබුණා ඒක තමයි මං ඇන්දේ දිගටම. අනිත් එක මාත් එක්ක තරඟ කරපු එක්කෙනෙක්  හිටියා දිනුෂ දිසානායක කියලා. එයාගෙන් ඉල්ල ගත්ත කලිසමක් තිබුණා. නමුත් මම එහෙම කවත්දාවත් කියලා නෑ මට අඳින්න ඇඳුම් නෑ කියලා. නමුත් මම අරයගෙන් කෑල්ලයි මෙයාගෙන් කෑල්ලයි අරගෙන කොහෙම හරි කිට් එක සාම්පූර්ණ කර ගන්නවා. ප්‍රසිද්ධියේ කවදාවත් කියලා නෑ මට ඇඳුම් නෑ කියලා.  අඩු තරමින් මං දෙරණේ ඉන්න අයටවත් කියලා නෑ මට ඇඳුම් නෑ  කියලා. යාළුවෝ දන්නවා මං කොහොමද ආවේ කියලා. මං ඒක නෙවෙයි මාකට් කළේ. මං ගායනා කරපු ගීතවල විදිය.  අපි කියමු ෆන් එකක් වගේ.  මං සාමාන්‍ය මිනිස්සුන්ට තමයි ගීත ගායනා කළේ. මං මිනිස්සුන්ට විඳින්න පුළුවන් ගීත ටිකක් ගායනා කළා ඒකයි මං කිව්වේ. 

 

 

 

බයිල ගීත ගායනා කරල ලංකාව තුළ ඒ වගේ රැල්ලක් හදන්නද ඔබ හදන්නේ? 

 

බයිලා කලාව ගැන කියන්න ගත්තොත් ඒ  සම්බන්ධයෙන් ලොකු ඉතිහාසයක් තියෙනවා.  මොන දේ ගත්තාත් අපි ඉවර කරන්නේ මොකෙන්ද අනිවාර්යෙන් බයිලා ගීතයකින්නේ.  බයිලා කියන දේ නැතුව බෑ. බයිලා කියන්නේ නිකන් ෆන් එකට වගේ කියන දේකුත් නෙවෙයි. ඒකේ ඇවිල්ලා ලොකු දෙයක් තියෙනවා. 

 

ඒක ඉතින් අපි තේරුම් ගන්න ඕන.  මේ දවස්වල ඒක නැති වේගෙන යන නිසාත්, මම බයිලා කාරයෙක් නෙවෙයි. මට ඕන ගීතයක්  ගායනනා කරන්න පුළුවන්.  ආදර ගීතයක්ද හින්දි ගීතයක්ද දෙමළ ගීතයක්ද හැම දෙයක්ම ගායනා කරන්න පුළුවන්.  තරඟය ජයග්‍රහණය කරන්න යොදා ගත්තේ බයිලා ගීතයක්. මොකද තරඟයක් යද්දී අපි අපේ දැක්මක් තියා ගන්න ඕන.  හරියටම ගීත හඳුනාගත්තේ මේ  තරඟයෙන්.  

 

 

ගීත ගායනා කරනවා වගේම ඔබටම ආවේණික වු නර්තන හැකියාවකුත්  තියෙනවා? 

 

මං සංගීත කණ්ඩායම්වල ඉඳළා. පාරේ නිදාගෙන ඉඳළා. කට්ට කාපු ලොකු ඉතිහාසයක් තියෙනවා මට.  මම සංගීත කණ්ඩායමේ නිවේදකයෙක්.  මම ගායකයෙක් නෙවෙයි.  අපේ ප්‍ර දේශයෙත් ප්‍රසිද්ධ වෙලා හිටියේ සංගීත කණ්ඩායමක නිත්‍ය නියෝජිතයෙක්  හැටියට. මම තමයි සංගීත කණ්ඩායමේ අවසාන කොටස කරන්නේ. සංදර්ශනයකට ගියාම පස්සේ  අවසාන දේ මම තමයි බාරගන්නේ. මිනිස්සුන්ව නටවන්නේ මම තමයි. මම දන්නේ නෑ මම මොන ගීතය ගායනා කරත් මට නර්තනය නිකන් ඇඟට එනවා.  එම්. එස්. ප්‍රනාන්දු මහතාගේ ඇඟේ තියෙන නර්තනය මං ළඟ නෑ.  මට තියෙන්නේ වෙන එකක්.  

 

 

ඔබ ඇඹිලිපිටියේ  එම්.ජී. නොවී කොළඹ එම්.ජී. කෙනෙක් වුණානම් ඔබට රටේ ප්‍රේක්ෂක ජනතාව කැමැත්ත ප්‍රකාශ කරයි කියලා ඔබ හිතනවාද? 

 

ඇත්තටම කියනවානම් තමන්ගේ වැඩේ හරියටම කරගෙන ජීවත් වුණානම් ලෝකයේ කොහේ    හිටියත් තමන්ට ලැබෙනවානම් දෙයක් ලැබෙනවා අනිවාර්යෙන්ම.   

 

අවසාන තරඟයේ ඔබට කිරුළ හිමියි කියලා ප්‍රකාශ වුණාම ඔබට මොනවගේ හැඟීමක්ද දැණුනේ? 

 

 

මං කලින් කිව්වා වගේ. මමත් දුෂ්කරතාවයන් මැද ජීවත් වෙච්ච කාලයක් තිබුණා. අවසාන මොහොතේ නම  කියන්න තප්පර ගානකට ඉස්සල්ලා මට නිකන් මැවිලා පෙනුනා අපිව මිනිස්සු එලවලා දාපු හැටි. අපිව පැත්තකට දාපු හැටි.   අපිව ගණන් ගන්නේ නැතුව දුක් විඳිපු හැටි. ඒ හැම දේම  මට මැවෙන්න ගත්තා.  ඉතින් ඒ හැමදේම මතක් වෙනකොට මං දිනුවා ඇත්තටම.  පුතෙක් විදයට දෙමාපියන්ගේ  බලාපොරොත්තු ඉෂ්ඨ කළා . ඒක ගැන ගොඩක් ආඩම්බරයි.  අනිත් එක මිනිස්සු  මට ගොඩක් ආදරය කරපු නිසා මං හිතනවා ශ්‍රී ලාංකික ජනතාවගේ බලාපොරොත්තුවක් ඉෂ්ඨ කළා කියලා. ඒක තවත් පිණක්. අනිත් එක තමයි මගේ කරපිට ලොකූ වගකීමක් පැටවුණා කියන එක හිතෙනවා. මම දැන් මට කැමති අයට මොනවද කරන්නේ.  දැන් හරියට වැඩ කරන්න ඕන කියන දේ මට ලෝකුවට හිතෙනවා.  

 

 

 

ඔබ කොයිතරම් නම් කැප කිරීමක් කළාද මේ තරඟයට?   

 

ඇත්තටම දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරඟයට එන්න කලින් මං වෙන වෙන තරඟවලට ගියා. එතකොට මට සංගීතය ගැන මහලොකු දැනුමක් තිබුණේ නෑ. මහලොකු දැනුමක් නෙවෙයි. කොහොමවත් දැනුමක් තිබුණේ නෑ.   ඇත්තම කිව්වොත් ඉතින්. ආසාවට එනවා.  සමහරක් ඒවලට ගිහින් බයට සිංදු කියන්නේ නැතුව ගෙදර ගිහින් තාත්තට කියනවා මාව තේරුණේ නෑ කියලා.    ඒත් මං සිංදු කියලා නෑ.  ඊට පස්සේ තමයි ඩ්‍රීම් ස්ටාර් තරඟයට අයඳුම්පත් යොමු කළේ. ඊට පස්සේ ආවා සීසන් 2 එකට. එකේදී මුල් හරියේදීම මට යන්න වුණා.  ඉතින් ඊට පස්සේ ආයේ සංගීත වුණ. කොහොම හරි සංගීත කණ්ඩායමකට හරි යන්න ඕන.   කොහොම හරි සංගීත කණ්ඩායමකටත් එකතු වුණා. කොහොම හරී ඒ බෑන්ඩ් එකෙනුත් ටිකින් ටික ඉදිරියට ඇවිත්  ආයෙත් දැම්මා අයදුම්පත්.   ඒත් තේරුණේ නෑ.  ඊට පස්සේ අයෙත් දැම්මා. එතකොට මට සසිඳුව හම්බවෙනවා.  එතනත් ලොකු කතන්දර ටිකක් තියෙනවා. එයත් එක්කත් හෙඳටම කට්ට කළා තිබුණු කාලයක් තිබුණා.   එතකොට මං අවසාන 24 දෙනාට වෙනකන් ආවා. එකෙනුත් ඉවත් වෙන්න සිද්ධ වුණා.  කොහොමහරි සසිඳු ඉදිරියට ගියා.  කොහොමහරි අර සංගීත කණ්ඩායම නිසා ඇඹිලිපිටියේ හොඳ නමක් හැදිලා තිබුණා.    කොහොම හරි ඔහොම ඉන්නකොට අපේ ගෙදරින් ආයෙමත් අයඳුම්පතක් දාලා.  ඊට පස්සේ මං ගියා. රත්නපුර තානායමේ තමයි තිබ්බේ.  තාත්තා මට  කිව්වා යන්න කියලා. අවසාන 24 දෙනාට ආපු එකේ අවසාන 12 දෙනාටවත් එයි කියලා එයා කිව්වා.   ඊට පස්සේ කොහොම හරි තාත්තගේ ඉල්ලීම නිසා මං ආවා.

 

මං හොඳටම බය වෙච්ච අවස්ථා තියෙනවා. මොකද එක එක විදියේ අයනේ එන්නේ. කොණ්ඩේ වවපු අය එනවා .  කරාබු දාලා. ගිටාර් එහෙන් ගහනවා මෙහෙන් ගහනවා.   ඉතින් ඇත්තටම බය වුණු අවස්ථා තිබුණා.  මෙයාලත් එක්ක කොහොමද මං මේ ගමන යන්නේ කියලා.   එතනදි තමයි මට හර්ෂ ,  රමේෂ් වගේ අය මුණ ගැහැන්නේ.  හර්ෂ එහෙම මාව මාර විදියට දිරිමත් කළා.  මමයි හර්ෂයි තමයි තරඟයේ අවසාන 12 දෙනා වෙනකන් එකටම හිටියේ.  මේ තරඟයේදී  පුදුමාකාර සහෝදරයේ ටිකක් හම්බ වුණා.

 

ජීවිතයට යම් යම් වටිනා දේවල් ලැබුණාම මිනිස්සුන්ට මුල අමතක වෙනවා කියලා සමාජයේ මතයක් තියෙනවා. ඔබටත් එහෙම වෙයිද? 

 

මට ඒකට දෙන්න තියෙන හොඳම උදාහරණය තමයි මේක නෙවෙයි ජීවිතේ කියන එක.  ඊට වඩා ලොකුවට හිතලා මේක තමයි ජීවිතය. මේක තමයි සතුට. හැමදේම තියෙනවා කියලා හිතලා  වෙනස් වෙන්න ඕන නෑ.  අපි සාමාන්‍ය විදියට ජීවත් වෙනවා. මම ගෙදර ගියත්    අදත් ඇළට ගිහින් නාන්නේ.  ඉතින් ගමේ මිනිස්සුන්ට පුදුමයි මම තාමත් ඇළට ගිහින් නානව කියලා.  එහෙම තමයි ඉතින් ඉන්න ඕන.  ජීවිතය හරියට හදාගෙන. හරියට වැඩක් කරගෙන  මැරුණත් මරු කියන තැනක තමයි මම ඉන්නේ.  

 

 

දැන් ඔබට ජනතාවගේ ආදරය ඕනවාටත් වඩා ලැබෙනවා. ඔබේ පෙම්වතියගේ ආදරය එහෙම කොහොමද?   

 

ඒක දැන් හැම කෙනාටම ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.  මෙහෙමයි පෙම්වතියක් නෑ කියන්න ඕන නෑ. ඕක නෑ කිව්වොත් මං බොරුකාරය වෙනවා.  පෙම්වතියක් ඉන්නවා හොඳ සහයෝගයක් ලැබෙනවා එයාගෙන් මට.  හැමදේම හොඳට කරගෙන යනවා. හොඳට තේරුම් අරගෙන ඉන්නවා එයා මාව. කිසි ප්‍රශ්නයක් නෑ.  මෙහෙමයි මතයක් තියෙනවා කලාකරුවන්ගේ පවුල් අවුල් කියලා. හැබැයි මට පුළුවන් වෙයි ඕක වෙනස් කරන්න.  

 

 

ඔබට ස්තූති කරන්න විශාල පිරිසක් අනිවාර්යෙන්ම ඇති. එයාලවත් මේ වෙලාවේ මතක් කරමු? 

 

මම හැමදාම කියනවා වගේ මේ ජයග්‍රහණය මගේ තාත්තා ඇතුළු මුළු ශ්‍රී ලාංකික ජනතාවගේමයි. මුලින්ම ස්තූති කරන්න ඕන ඇඹිලිපිටයේ ජනතාවට. ඒ වගේම මට ගොඩාක් විශේෂයෙන්ම උදව් කරපු කට්ටියක් ඉන්නවා. එයලවත් මතක් කරනවා. මට එයාලගේ නම් කියන්නේ නෑ. මොකද එයාලා ඒක දන්නවා. මේකට මට කැමැත්තෙන් උදව් කරපු මුළු මහත් ශ්‍රී ලාංකිකයිට මෙන්ම පිටරට මට උදව්කරපු හැමෝටම මං ස්තූතිවන්ත වෙනවා. 

 

 

MOST VIEWED VIDEO STORIES

MORE >>