Back to Top

බාලවියේ ත්‍රස්තවාදියා වැඩිවියේදී වීරයෙකු වූ වගයි..!

July 21, 2014  


ඇය නමින් සෙල්ඩා ලා ග්‍රේන්ජ්ය. ලෝකයට ආදර්ශයක් වුණු දැවැන්ත පරමාරදර්ශයක සෙවණැල්ල තුළ ඇයද සිටියාය. ඒ පරමාදර්ශීය චරිතය නෙල්සන් මැන්ඩෙලාය. සෙල්ඩා දශක දෙකකට ආසන්න කාලයක් ඔහුගේ ලේකම්වරිය ලෙස කටයුතු කළාය. ඇය ඔහු සෙවණේ ඇගේ ගමන්මග පිළිබඳ ලියා ඇති කෘතියක් කෙරෙහි මේවන විට ලෝකයේ අවධානය යොමුවී තිබේ."Khulu"නමින් නම්කර ඇති කෘතිය කෝෂු භාෂාවෙන් ලියා ඇති අතර එහි අර්ථය“සීයා“යන්නයි. වර්ණභේදවාදය නඩත්තු කළ සුදු අප්‍රිකානු දැරියක ලෙස ඇය හැදීවැඩුණාය.


“මම, පොදුවේ අපි වර්ණභේදයට සහයදුන්නා“ ඇය ලිවීම ආරම්භ කරමින් කියයි.
“අපේ යුගයේ සිටි විශිෂ්ඨතම පාලකයා විසින් තරුණ අප්‍රිකානු ගැහැනු ළමයෙකු ලෙස මගේ දැක්ම හා දෘෂ්ටිය වෙනස්කරනු ලැබුවා“

                                                                     වර්ණ‍භේදවාදයට ආදරය කළ කුඩා අවදියේ ඇය වරක් ‘ත්‍රස්තවාදියෙකු‘ලෙස හැඳින්වූ ඔහුගේ ඇසුර ඇය කෙතරම් වෙනස් කළාද යන්න මෙහිදී පැහැදිලි කරයි.



“නමුත් ඔහු මගේ හෘද සාක්ෂියට වඩා වැඩි කෙනෙක්. ඔහුට සැලකීමට මම ඉගෙන ගෙන තිබුණා. මොකද ඔහු මටද සැලකිල්ලක් දැක්වූවා. ඔහු මගේ සිතිවිලි වෙනස් කළා. හැඩකළා. ඔහුගේ පුද්ගලික සහායකවරිය ලෙස සේවය කිරීම සඳහා අප්‍රිකාන්ස් භාෂාව කතාකරන සුදු අප්‍රිකානු තරුණියක යොමුවීම අපූර්වත්වයක් පමණක් නොව නොඇදහිය හැකි කාරණයක්“ ඇය සඳහන් කරයි.
                                             
                                                           මෙම කෘතිය ප්‍රකාශයට පත්කිරීමේ වගකීම දරනු ලබන්නේ පෙන්ගුයින් පොත් සමාගම වෙනුවෙන් දකුණු අප්‍රිකානු කලාපයේ එකී පොත් සමාගමේ අප්‍රිකාන්ස් බලයපැවරීමේ  සංස්කාරක මෙල්ට් මයිබර්ග්ය. මෙමගින් ලොව පුරා අප්‍රිකන්ස් භාෂාව කතා කරන ජනතාවට නූතන දකුණු අප්‍රිකාව පිළිබඳ වැදගත් පණිවිඩයක් ලබාදී ඇති බව හෙතෙම පෙන්වාදෙයි.


“රටේ සිටින ඉංග්‍රීසි කතාකරන සුදු ජාතීන්ද, අති බහුතරයක් අප්‍රිකන්ස් කතාකරන උදවියටද නෙල්සන් මැන්ඩෙලා විසින් එළිපෙහෙළි කරදුන් මාවත පිළිබඳ සිහිකැඳවීමක් මෙන්ම දකුණු අප්‍රිකාවේ සියලුදෙනාටම තමන්ගේ තැන පිළිබඳ මතක් කරදීමක් මෙම කෘතියෙන් කරනවා“ මෙල්ට් මයිබර්ග් පවසයි.

                                                     1999 දී මැන්ඩෙලාගේ ජනාධිපතිධූර කාලය අවසන්වීමෙන් පසු ජීවිතය ගෙවුණු අයුරු පෙන්වාදීමට මෙම කෘතියේ ප්‍රධාන තැනක් හිමිව තිබේ. ලා ග්‍රෙන්ජ් විසින් දේශපාලනය හා පවුලේ අභ්‍යන්තර ගැටුම් පිළිබඳ පිළිකුල් සහගත චිත්‍රයක් මවාපාන බව එරට බලධාරීන්ගේ අදහසය. මැන්ඩෙලා පදනම නොහොත් රජය විසින් ඒ බව දන්වා මහජනයාට දැනටමත් නිවේදනයක් නිකුත් කර තිබේ. එහෙත්  මෙල්ට් මයිබර්ග් පවසා සිටින්නේ මෙම කෘතිය එවැනි බලාපොරොත්තුවකින් සංග්‍රහ කරන ලද යමක් නොව එක් ස්ත්‍රීයකගේ මතක ආවර්ජනයක් බවයි.



“මෙම කෘතියේ යම්තාක් දුරට විවාද සම්පන්න දේවල් හෝ සැබවින්ම එකී දේවල් තහවුරු කරන සමහර දේ අන්තර්ගතවෙනවා. එහෙත් මෙම කෘතිය නෙල්සන් මැන්ඩෙලා සමග ගතකෙරුණු සෙල්ඩාගේ ජීවිතය පිළිබඳ අවංක කරුණු දැක්වෙනවා“ මයිබර්ග් පෙන්වාදෙයි.


                                                         පවුලේ බල අරගලය හා දේශපාලන අභිප්‍රායන් පිළිබඳ සම්මුතීන් මැන්ඩෙලාගේ මනා ශරීර සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑ බවට ඇය මෙම කෘතිය තුළින් කරුණු දක්වා තිබේ.



                   මෙම නිබන්ධනයෙන් මැන්ඩෙලාගේ බිරිඳ වන ග්‍රේෂා මෂෙල් ස්වකීය සැමියා හැඟීම්බරව මානසික පීඩාවට පත්කරනු ලැබුවේ කෙසේද යන්න පිළිබඳවද විස්තර සඳහන්ය. එසේම ඔහුගේ දියණියක විසින් මැන්ඩෙලා සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා අවැදගත් කාර්යයක නිරතවීම පිළිබඳවද මෙහිලා කරුණු සාකච්ඡා කර තිබේ. පවුලේ ඇතැම් සාමාජිකයන් අතර පැවැති විරසකභාවයන් සමනය කර ගැනීමට මැන්ඩෙලාගේ සදානුස්මරණීය සේවය භාවිතා කිරීමට මැචෙල් විසින් කටයුතු කළ බවට කෘතියේ සාක්ෂි සහිතව කරුණු දක්වා තිබේ. එහෙත් පවත්නේ දෝෂ සහගත දේ පමණක් නොවන බවද කිව යුතුය.


සැබවින්ම වඩා යහපත් කාලයක් ද තිබිණි. ලා ග්‍රෙන්ජ්ගේ සුන්දර අත්දැකීම් අතර නෙල්සන් මැන්ඩෙලා සමග ලන්ඩන් සංචාරයේ යෙදී එළිසබෙත් මහ රැජින හමුවූ අවස්ථාව ඇය ගෞරවාන්විතව සිහිපත් කරයි.


“ මහ රැජිනට ඇයගේ මුල් නමින් අමතන ලෝකයේ ඉතාමත් ටික දෙනෙකු අතර ඔහු එක් අයෙක් බව මම හිතනවා. ඔහු ඇය ඇමතූ මොහොතේ ඇය ප්‍රීතියට පත්වුණා“ ලා ග්‍රෙන්ජ් ලියයි.


“දිනක් මෂෙල් මහත්මිය මේ ගැන ඔහුගෙන් ප්‍රශ්න කළා. එමෙන්ම මහ රැජිනට ඇයගේ  මුල් නමින් ආමන්ත්‍රණය කිරීම වඩා සුදුසු නොවන බව ඇය පෙන්වා දුන්නා. ඒත් ඔහුගේ ප්‍රතිචාරය වුණේ “ඇය මට අමතන්නේ නෙල්සන් කියලා“යන්නයි. ඒ වගේම තවත් දිනෙක මහ රැජින අමතමින් ඔහු මෙසේ කීවා. “ඔහ් එළිසබෙත්. ඔබේ බර අඩුවෙලා“එංගලන්තයේ මහ රැජිනට එවැන්නක් කියන කිසිවෙකු ලොව සිටිය නොහැකිය“ යනුවෙන්  ලා ග්‍රෙන්ජි සටහන් කරයි.


වර්ණභේදවාදයට එරෙහිව අප්‍රිකානු ජාතික කොංග්‍රසය අරගල කරන යුගයේ ඊට කොන්දේසි විරහිතව සහය දුන් අයෙකු වූයේ හිටපු ලිබියානු නායක මෙහොමඩ් ගඩාෆිය. ගඩාෆි සමග පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයක් පිළිබඳවද මෙම කෘතියේ උප තේමාවක් යටතේ සවිස්තරාත්මකව සටහන් කර තිබේ. කෘතිය පිළිබඳ විවධ අදහස් මතුව පැවතියද ඒ පිළිබඳ මධ්‍යස්ථ හා වැඩිදෙනෙකු දරන්නේ මෙවැනි අදහසකි.

“සාහිත්‍යමය වටිනාකමින් අග්‍ර කෘතියක් විය නොහැකි වුවද විශ්ව දැක්මක් සහිත වීරවරයෙකුගේ සමීපතමයෙකු විසින් කරන ලද සාධාරණ මානයකින් ලියැවුණු කෘතියකි.“.




Voice Of Amerioca - ඇසුරිණි.
ප්‍රියාන්


MOST VIEWED VIDEO STORIES

MORE >>