Back to Top

කැබිනට්ටුවේදී ජනපතිට කේන්ති යයි

July 21, 2014  




කොළඹ නිදහස් චතුරස‍්‍රය අභියස ඉදිවූ  ‘‘ඉන්ඩිපෙන්ඩන් ආකේඞ්’’ සුපිරි සාප්පු සංකීර්ණය ඉදිකළේ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන්. පසුගිය ඉරිදා රාති‍්‍රයේ මේ ස්ථානය ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කළා.


විවෘත කිරීමේ උත්සවයට ආපු තිලංග සුමතිපාල මන්තී‍්‍රවරයා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග කොළඹ නගරයේ සිදුවන සංවර්ධනයේ ප‍්‍රගතිය ගැන කතාකරමින් සිටියා.

‘‘ඒක නෙමෙයි ආරක්ෂක ලේකම්තුමා, මේවා දකිනකොට පොඩි ඊර්ෂ්‍යාවක් දැනෙනවා.’’

‘‘මොකද ඒ’’ කියමින් ආරක්ෂක ලේකම් තිලංගගේ යටි අදහස හාරන්න ගත්තා.

‘‘ඇත්තම කිව්වොත් ආරක්ෂක ලේකම්තුමා මට හිතෙනවා තව අවුරුදු 20කට කලින් ඉපදුනා නම් හොදයි කියලා.මොකද මේ තැන්වල කොල්ලෝ කෙල්ලෝ විනෝදවෙන විදියට ඒ කාලේ අපිට විනෝදවෙන්න තැනක් තිබුණේ නෑනේ.’’

‘‘මං හිතන්නේ තිලංග මන්තී‍්‍රතුමාට බැරිකමක් නෑ අවුරුදු 20 කට කලින් කරගන්න බැරිවුණ ටික මෙතන ඇවිත් කරන්න. මොකද තවම ඒ හැටි වයසකුත් නැති නිසා.’’

තිලංග කළ විහිළුවට ආරක්‍ෂක ලේකම් විහිළුවෙන්ම උත්තර දුන්නා.



පසුගියදා පැවති කැබිනට් රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත්තේ අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන ඉදිරිපත් කළ යෝජනාවක් හේතුවෙන්.

ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගන්න ළමයින්ට මෙරට උසස්පෙළ කිරීමේ අවස්ථාවක් ලබා නොදිය යුතු බවට බන්දුල යෝජනා කරද්දී එය චම්පික රණවක, මෛත‍්‍රීපාල සිරිසේන වගේ ඇමතිවරුනුත් අනුමත කළා.

නමුත් මේ යෝජනාවට විමල් වීරවංශ, සරත් අමුණුගම, කෙහෙළිය රඹුක්වැල්ල වගේම ජනාධිපතිවරයාත් දැඩිව විරුද්ධ වුණා.

‘‘මේ වගේ යෝජනාවලින් ක‍්‍රියාත්මක කළොත් වෙන්නේ මගේ ජන්ද ටික නැති වෙන එක විතරයි. මම ජනතාවට හානිවෙන කිසිම යෝජනාවකට අනුමැතිය දෙන්නේ නෑ. ඇතැම් ඇමතිවරු හිතාගෙන ඉන්නවා එයාලා නැතිව මට කරගන්න බෑ කියලා. කවුරු නැති වුණත් මගෙත් එක්ක ජනතාව ඉන්නවා. ඒක මතක තියාගන්න’’

ජනාධිපතිවරයා කේන්තියෙන් කතා කරද්දි කැබිනට් මණ්ඩලයට තුෂ්ණිම්භූත වුණා.



ඌවේ ජන්දය ගැන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රබලයෝ කිහිපදෙනෙක් පසුගියදා කොළඹදී හමුවී සාකච්ජා කළා.

එක්සත් ජාතික පක්‍ෂයේ හරීන් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා ඌවේ මහඇමති සටනට ඒම ඔවුන්ගේ අවධානයට ලක් වුණා.

‘‘හරීන් නිසා අපට තරුණ ඡන්ද විශාල විදියට නැතිවෙනවා. මේ අභියෝගය අපිට විතරක් නෙමෙයි අනිකුත් පක්‍ෂ වලටත් අදාළයි’’

ආණ්ඩුවේ ප‍්‍රබලයෙක් ඒ විදියට කතාවට මුල පුරද්දී තවත් ප‍්‍රබලයෙක් බදුල්ලේ ජන්දදායකයාගේ මානුෂිකත්වය පැහැදිලි කළා.

‘‘බදුල්ලේ මිනිස්සු අපේ ශෂීන්ද්‍ර රාජපෂ මහඇමති තුමාත් එක්ක හිත අමනාපෙන් ඉන්නේ. පසුගිය කාලයේ ඔහුව හමුවෙන්න ජනතාවට අවස්ථාව ලැබුණේ නෑ. ජනතාවට විතරක් නෙමෙයි බදුල්ලේ පළාත් පාලන මන්ත‍්‍රීවරුන්ටත් ඔහුව හමුවෙන්න අවස්ථාව දුන්නේ නෑ. එහෙව් මහඇමති කෙනෙක් ගොඩදාන්න මොණරාගල අය වැඩකළත් බදුල්ලේ අය වැඩ කරන පාටක් නෑ.

ආණ්ඩුවේ ප‍්‍රබලයෙක් එහෙම කියද්දී තවත් ප‍්‍රබලයෙක් මේ අභියෝගය ජය ගැනීමට කළයුතු දේ කිව්වා.

“මේ ජන්දය ඇනගත්තොත් ඒක ජනාධිපතිවරණයට බලපානවා. මම කියන්නේ ජනාධිපතිතුමා බදුල්ලේ නැවතිලා මේ ජන්දය මෙහෙයුවොත් ගොඩදාගන්න පුළුවන්.’’

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රබලයෙකු ඉදිරිපත් කළ යෝජනාව එතන හිටපු සියලු දෙනාම අනුමත කළා.





MOST VIEWED VIDEO STORIES

MORE >>