Back to Top

අපිට නම් පේන්නේ රනිල් බොරුවක් කරනවා වගේ කියලා

July 11, 2014  




තිනක්කුරල් පුවත්පත විසින් සංවිධානය කරන ලද නෝම්බි ඇල්ලීමේ ඉෆ්තාර් උත්සවයක් සඳහා ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් සහ රාමලිංගම් චන්ද්‍රසේකර් සහභාගි වූහ. එය පැවැත්වුණේ පසුගිය නමවෙනිදාය. රාමලිංගම් සහ විජිත හේරත් තිනක්කුරල් කාර්යාලය වෙත යන විට මනෝ ගනේෂන්, හසන් අලී, රිසාද් බදුර්දීන්, ඒ.එච්.එම්. ෆවුසි ඇතුළු දේශපාලනඥයින්ද දෙමළ පුවත්පත් නියෝජනය කරමින් මාධ්‍යවේදීහු රැසක්ද පැමිණ සිටියහ. සියලූ දෙනා ඉෆ්තාර් මේසය වටේ රැස්වූණු අතර සවස 6.30ට පමණ උත්සවය ආරම්භ විය. තිනක්කුරල් පුවත්පතේ කළමනාකරු සහ ප‍්‍රධාන කර්තෘතුමන්ගේ ආරාධනාවෙන් සියලූ දෙනා සංග‍්‍රහයන් භුක්ති විඳිමින් සාමීචියේ යෙදුණහ.


මේ අතර එළඹෙන ජනාධිපතිවරණය පිළිබඳවද කතාබහක් ඇතිවිය.


“ඒක නෙවෙයි මන්ත‍්‍රීතුමා, ඔබතුමාලගේ පොදු අපේක්ෂකයා කවුද?” ඒ.එච්.එම්. ෆවුසි විජිත හේරත් දෙසට යොමු වෙමින් ඇසීය.

“දැන් ඉතිං පොදු අපේක්ෂක කතා නැහැනේ, රනිල් යූ.එන්.පී එකෙන් ඉල්ලනවනේ” විජිත හේරත් පිළිතුරු දුන්නේය.


“අපිට නම් පේන්නේ රනිල් බොරුවක් කරනවා වගේ කියලා. මොකද රනිල් මේ විදියට රඟපෑමක් කරලා පස්සේ වෙන කෙනෙක් දායි ඡන්දෙට.” ෆවුසි ඇමතිවරයා කියා සිටියේය.


“එතුමාට ඇවිත් දිනන්න බැහැ. ඒක එතුමට තේරෙන්නේ නැහැ” මාධ්‍යවේදියෙක් කතාවට මැදිහත් වෙමින් කියා සිටියේය.

“අපි  ඕන වෙලාවට හොඳම කෙනා එළියට දාන්නම්.” විජිත හේරත් කියා සිටියේය.


මේ අතර හසන් අලී විසින් රට තුළ මුස්ලිම් අන්තවාදයක් කි‍්‍රයාත්මක වෙන බවට තවත් සංවිධාන විසින් කරන චෝදනාවලට පිළිතුරු වශයෙන් සකස් කළ වාර්තාවක් එම අවස්ථාවේදී අනෙක් දේශපාලඥයින්ගේ අවධානය පිණිස ඉදිරිපත් කළේය. එම ලියවිල්ලට ෆවුසි ඇමතිවරයාත්, රිසාද් බදියුදීන් ඇමතිවරයාත් අත්සන් තැබූහ.


“ඔබතුමාලා මුස්ලිම් අන්තවාදයක් නැහැ කියලා ලියුම් අත්සන් කරන්නේ පුවත්පත් කාර්යාලයක. හැබැයි නිවුස් යයිද දන්නේ නැහැ මුස්ලිම් අන්තවාදයේ ආරම්භය පුවත්පත් කන්තෝරුවකින් කියලා” විජිත හේරත් කියූ කතාවට සියලූ දෙනාම සිනාසුනහ.



අපිට තවමත් හැඳුනුම්පත් නැහැ... උතුරේ ජනතාවගෙන් දුක්ගැනවිල්ලක්


ලබන 19වෙනිදා වවුනියාවේදී පැවැත්වීමට නියමිත අපේ දැක්ම ප‍්‍රතිපත්ති මාලාව පිළිබඳ සම්න්ත‍්‍රණයට පූර්ව සූදානම් කටයුතු කිරීම සඳහා ජවිපෙ ජාතික සංවිධායක බිමල් රත්නායක වවුනියාවට ගියේ පසුගිය 7වෙනිදාය.


ඔහු දින දෙකක පමණ කාලයක් එහි රැඳී සිටිමින් එහි කටයුතු සඳහා මැදිහත් විය. මේ සඳහා ජවිපෙ හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයෙකු වන මරුගන් මෝගන්ද සහභාගි විය. මේ අතර ඔහු කිලිනොච්චි මුලතිව් ප‍්‍රදේශවලද සංචාරය කරමින් එම ප‍්‍රදේශවල ජීවත් වන ජනතාව සමග මුහුණ දෙන ගැටලූ සම්බන්ධයෙන් කතාබහ කිරීමටද කටයුතු කළේය.

“මන්ත‍්‍රීතුමා අපිට ලොකු ප‍්‍රශ්නයක් වෙලා තිබෙන්නේ අපේ හැඳුනුම්පත් හදාගන්න බැරිවීම. යුද්දේ කාලේ අපේ උප්පැන්න සහතික නැතිවුණා. ඒ නිසා අපිට හැඳුනුම්පත් හදාගන්න විදියක් නැහැ.” එක් අයෙක් කියා සිටියේය.


”අපි මේවා කරගන්න ආණ්ඩුවේ කන්තෝරුවලට ගියාම ඒ අය කියනවා කොළඹ ගිහින් බලන්න කියලා. සමහර අය ඉපදිලා තියෙන්නේ ගාල්ලේ, තවත් සමහරු මස්කෙළියේ. ඉතිං ඒ අයට කියනවා එහෙට ගිහින් බලන්න කියලා.” තවත් ප‍්‍රදේශවාසියෙක් කියා සිටියේය.

“යුද්දේ ඉවර වෙලා අවුරුදු පහක් වෙනකල් ආණ්ඩුවට තවම බැරිවුණා මිනිස්සුන්ගේ අවම අවශ්‍යතා ටිකවත් සපුරලා දෙන්න. අපි මේ ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්නම්. හොඳම දේ මේ ගැන පාර්ලිමේන්තුවේදී අවධානය ගන්න එකයි.” බිමල් රත්නායක කියා සිටියේය.


මේ අතර උතුරු පළාතේ ඇතිවෙන නව දේශපාලන ප‍්‍රවණතාවයක් ගැනද බිමල් රත්නායකගේ අවධානය යොමු කිරීමට ජවිපෙ සාමාජිකයෙක් කටයුතු කළේය.


“මේ පළාතේ අලූත් සංවිධානයක් හදන්න යනවා වතු දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීමේ සංවිධානයක් කියලා. ඒකට හේතුව උතුරු පළාතේ ටී.එන්.ඒ සංවිධානය වතු දෙමළ ජනතාවගේ ප‍්‍රශ්න ගැන අවධානය යොමු කරන්නේ නැහැ කියන එකයි. උතුරු පළාතේ දෙමළ දේශපාලන පක්ෂ දැන් යාපනය දෙමළ, වන්නි දෙමළ සහ වතු දෙමළ විදියට ජනතාව තවදුරටත් බෙදන්න කටයුතු කරමින් ඉන්නවා” ඔහු බිමල් රත්නායකට කරුණු පැහැදිලි කළේය.


“ආණ්ඩුව දකුණේ කරන වැඩේ දෙමළ පක්ෂ උතුරේ කරනවා. ජනතාව කුඩා කණ්ඩායම්වලට බෙදලා සංවිධාන හැදුවට දෙමළ ජනතාවගේ ප‍්‍රශ්න විසඳෙන්නේ නැහැ.” බිමල් රත්නායක කියා සිටියා.


මේ අතර මුලතිව්හි ධීවරයින් පිරිසක් හමුවී ඔවුන්ගේ ධීවර ගැටලූ පිළිබඳව සාකච්ඡා කිරීමට බිමල් රත්නායක කටයුතු කර තිබිණ.


ආණ්ඩුවේම දෙබිඩි ප‍්‍රතිපත්ති ආණ්ඩුව උගුලක හිරකරලා...


මේ අතර රමපෝසාගේ පැමිණීම සම්බන්ධයෙන්ද ජවිපෙ නායකයින් අතර කතා බහක් ඇතිවිය.

“ලංකාවේ ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් මැදිහත් වෙන්න සිරිල් රමපෝසාට ආරාධනා කළේ ආණ්ඩුවෙන්. ඒක දැන් පැහැදිලියි. නිමල් සිරිපාල කටුනායකට ගිහින් පිළිගත්තේ ඒක නිසානේ.” සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය.

“මානව හිමිකම් කොමිසමේ ලංකාවට එරෙහි යෝජනාවට දකුණු අප‍්‍රිකාව, ඉන්දියාව ඡන්දය දීමෙන් වැළකී හිටියා. එවැනි රටක් ලංකාවේ ජාතික ප‍්‍රශ්නය විසඳන්න පාර්ශවකරුවෙක් කරගන්න ලංකාවට පුළුවන්ද? ආණ්ඩුවේ දෙබිඩි විදේශ ප‍්‍රතිපත්ති නිසා ආණ්ඩුව රාජතාන්ත‍්‍රික උගුලක හිරවෙලා ඉන්නේ.” විජිත හේරත් කීය.


“ආණ්ඩුවේ සමහරු කියනවා රමපෝසා ආවේ කි‍්‍රකට් මැච් බලන්න, සිගිරිය බලන්න වගේ දේවල්වලට කියලා. අපි මේ ගැන පාර්ලිමේන්තුවේ විශේෂ ප‍්‍රකාශයක් කරමු. ආණ්ඩුව මේ ගැන රටට නිශ්චිත ප‍්‍රකාශයක් කළ යුතුයි.” අනුර දිසානායක යෝජනා කළේය.


දකුණු අප‍්‍රිකානු උප ජනාධිපති සිරිල් රමපෝසා මහතා මෙරටට පැමිණියේ ශ‍්‍රී ලංකා රජයේ ආරාධනාවකට අනුවද? අපි‍්‍රකානු උප ජනාධිපතිවරයා වන සිරිල් රමෆෝසා ලංකාවට පැමිණියේ හුදු සංචාරයක් සඳහාද නැතහොත් කිසියම් දේශපාලන කාර්යයක් වෙනුවෙන්ද? එසේ නම් ඔහුට පැවරෙන කාර්යභාරය කවරේද? ඔහු හෝ දකුණු අප‍්‍රිකානු ආණ්ඩුව ඉදිරියේදී ලංකාවේ ජාතික ප‍්‍රශ්නය විසඳීමේහිලා ජාත්‍යන්තර මැදිහත්කරුවෙකු ලෙස යොදවා ගැනීමට රජය අපේක්ෂා කරන්නේද? ඔහුගේ මෙම සංචාරයේ දී හමුවූ පුද්ගලයින් හා සංවිධාන කවරේද? යන ප‍්‍රශ්න ආණ්ඩුවෙන් පිළිතුරු අපේක්ෂාවෙන් අනුර දිසානායක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.


MOST VIEWED VIDEO STORIES

MORE >>