Back to Top

මේ ප‍්‍රකාශනය හැදුවේ පක්ෂයද? නැතිනම් ඔබවහන්නේද?

July 11, 2014  




 ‘පිවිතුරු හෙටක්’ ජාතික සභාව විසින් කළ ආරාධනාවකට අනුව ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත සහ අතුරලියේ රතන හිමියන් අතර හමුවක් පසුගිය 09වෙනිදා ජවිපෙ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. රතන හිමියන් සමග ජාතික සභාවේ නියෝජිතයින් කිහිපදෙනෙක්ද එම සාකච්ඡාවට සහභාගි වී සිටියහ. පැයකට වැඩි කාලයක් පැවති එම සාකච්ඡාව අතරතුරදී අතුරලියේ රතන හිමියන් විසින් සම්පාදනය කළ රට ගත යුතු මග නම් වැඩපිළිවෙල ජවිපෙ ලේකම්වරයාට සහ ලාල්කාන්තට පිළිගැන්වනු ලැබිණි. විධායක ජනාධිපති බලතල සීමාවන ව්‍යවස්ථාවක්, වංචා දූෂණ වැළැක්වීම, ආගමික සහජීවනය, ඖෂධ ප‍්‍රතිපත්තිය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ අතුරලියේ රතන හිමියෝ කරුණු ඉදිරිපත් කළහ.


“අපේ ප‍්‍රතිපත්තිය වන්නේ විධායක ජනාධිපති ධූරය සම්පූර්ණයෙන් අහෝසි කිරීමයි. ඒ විතරක් නෙවෙයි ඉන් එහාට ගොස් සමාජ සාධාරණත්වය, ජනතාවාදී පාලනයක් ගොඩනැගීම අරමුණු කරගනිමින් පුළුල් සමාජ පරිවර්තනයක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් යොදාගත හැකි කරුණු සම්බන්ධයෙන් අපිට සාකච්ඡාවක් ගොඩනගාගන්න පුළුවන්” ටිල්වින් සිල්වා අදහස් දක්වමින් කියා සිටියේය.


”මේ ප‍්‍රකාශනය හැදුවේ පක්ෂය නියෝජනය කරමින්ද? නැතිනම් ඔබවහන්නේ විසින්ද?” ටිල්වින් සිල්වා විමසා සිටියේය.

“මේක හැදුවේ මම. පිවිතුරු හෙටක් ජාතික සභාව වෙනුවෙන් තමයි මේක කළේ. නමුත් අපේ පක්ෂය මේකට එකඟයි. අපි සාකච්ඡාව පවත්වන්නේ ජාතික හෙළ උරුමය විදියට නෙවෙයි පිවිතුරු හෙටක් සංවිධානය වෙනුවෙන්” අතුරලියේ හිමියන් මාධ්‍ය වෙත අදහස් දැක්වීය. එසේම දෙපාර්ශවයෙන්ම ප‍්‍රකාශ වුණේ, එකඟවිය හැකි කරුණු මෙන්ම එකඟවිය නොහැකි කරුණු මෙම ප‍්‍රකාශනය තුළ තිබෙන බවත් එකඟ විය හැකි කරුණු සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා ඉදිරියට ගෙන යා හැකි බවත්ය. 


MOST VIEWED VIDEO STORIES

MORE >>