Back to Top

මට ගොඩාක් ආදරය කරන්න ඕනෑ

July 9, 2014  

මට ගොඩාක් ආදරය කරන්න ඕනෑ

අද අපි දෙරණ අලින්දයට ආරාධනා කරලා තියෙන්නේ දේදුන්නකට,දෙදුන්න කිවුවාම බලන ඇති මොකක්ද මේ කියලා.   ටී.වී. දෙරණ නාලිකාවේ මේ දිනවල විකාශය වන  නවතම ටෙලි නාට්යය තමයි දේදුණු කියන්නේ. ඉතින්  දේදුන්නත් එක්ක ක්ෂේත්‍රයට නවතම තාරකාවක් පායලා තියෙනවා. ඇය නමින් තරුෂි.  නවක රංගන ශිල්පිණියක් වන ඇයටයි අද ආලින්දයට අපි ආරාධනා කළේ.

 


*  ඉතින් තරුෂි කොහොමද ජීවිතේ ?

 

මේ දවස්වල සතුටින් ජීවිතය ගත වෙනවා. මට අලුත් අත්දැකීමක්. මගේ පළමු ටෙලි නාට්‍යය තමයි මේක දිනපතා දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වෙනවා. ඉතින් ඒ හම්බවෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරත් එක්ක මං ගොඩක් සතුටින් ජීවත් වෙනවා.

 



* මේ දවස්වල මොනවාගේ ප්‍රතිචාරද ඔබට ලැබෙන්නේ?

                         

ගොඩක් අය නම් කිව්වේ රඟපානවා හොඳයි කියලා. මගේ පළමු ටෙලි නාට්‍යය නිසා හදාගන්න තැන තියෙනවා එවා හදාගන්න කියලා.  ඉස්සරහටත් රඟපානවා බලන්න ඕන කියලා එයාලා කියනවා.  මට 90% වගේ හොඳ ප්‍රතිචාර ලැබුණා කියලා මට හිතෙනවා.

 

*  ඇත්තටම “දෙදුණු“ ටෙලි නාට්‍යයේ දේදුණුගේ චරිතය ඔබට ලැබෙන්නේ කොහොමද?

 

එක්තරා නාලිකාවකින් සංවිධානය කරන ලද අවුරුදු උත්සවයකට සහභාගී වුණා. ඊට පස්සේ මට කාන්තා පුවත්පතක මුල් කවරයේ ඡායා රූපයකට පෙනී සිටින්න අවස්ථාව ලැබුණා.  ඒ නිකුත් වුණ  මුල් කවරය දැකලා එක්තරා නිෂ්පාදන ආයකනයක් විසින් ඔවුන් නිශ්පාදනය කරන “දේදුණු“ ටෙලි නාට්‍යයේ දේදුණුගේ චරිතයට රඟපාන්න ආරාධනා ලැබුණා.   ඒ හරහා තමයි  මම මේ ටෙලි නාට්‍යයේ අවසථාව ලැබුණේ.

 

* මුලින්ම චරිතයක් රඟපාන්න යද්දි ඔබට මොනවගේ හැඟීමක්ද දැනුණේ?

 

පළමුවෙනි රූගත කිරීම කරන්න සුදානම් වෙද්දි මට ලොකු අභියෝගයක් වුණා ඒක.  මම ඊට  කලින් කිසිම රූගත කිරීමට සම්බන්ධවෙලා හිටියේ නෑ.  නමුත් පාසලේ නාට්‍යය තරඟ වගේ දේවල් වලට සහභාගී වෙලා තිබුණ නිසා ඒවායේ පෙරහුරුව තිබුණා. නමුත් මේ වගේ  විශාල දේයකට මම සහභාගී වෙලා තිබුණේ නෑ.  පළවෙනි රූගත කිරීමේ සිට මං ගොඩාක් චකිතයකින් තමයි ඒකට මුහුණ දුන්නේ.  එත් ඉතින් කාලයත් එක්ක මං හිතනවා මං ඒ දේවල් හදා ගත්තා කියලා හරියට.

 

 

 

* මේ ටෙලි නාට්‍යයේ  රඟපානකොට ඔබට නොයෙකුත් විදියේ  අත්දැකීම්වලට මුහුණ දෙන්න සිදුවෙන්න ඇති. ඒ ගැනත් මතක් කරමු?

 

 

මං හිතන්නේ ටෙලි නාට්‍ය යේ රූගත කිරීම කරන්න පටන් ගත්ත මුල් දවසේ සිට ගෙවුණු හැම දවසක්ම හැම තප්පරයක් මට අත්දැකීමක් ලැබුණා කියලා. මොකද මගේ පළවෙනි අත්දැකීම කියලා. එතනින් ලබාගන්න මට ගොඩාක් අත්දැකීම් තිබුණා.

 

*  ටෙලි නාට්‍යය තුළ අමතක නොවනම සිදුවීම මොකක්ද?

 

මේ ටෙලි නාට්‍යය ගොඩාක් සුන්දරව ගලාගෙන යන ආදර කතාවක් නිසා ටෙලි නාට්‍යය තුළ ගොඩාක් අමතක නොවන සිදුවීම් තිබෙනවා.  එකක් කියලා කියන්නත් බෑ ඉතින් . ටෙලි නාට්‍යය තුළ මං මගේ පෙම්වතාව ප්‍රතික්ෂේප කරන චරිතයක් නිසා ඒක සුන්දරව නිරූපණය කරන්න වන අවස්ථාත් තිබුණා. ඊට අමතරව ගොඩාක් තරහෙන්   නිරූපණය කරන්න අවස්ථාත් හම්බවුණා.

 

* කොහොම වුණත් ඔබ අධ්‍යාපනය හදාරණ ගමන්ද කලා ක්ෂේත්‍රයේ වැඩ කටයතු කරන්නේ.

 

ඔව්, මම පාරම්පරික ආයුර්වේද පරම්පරාවකින් එන කෙනෙක්. මගේ සියා සහ පියා යන දෙදෙනාම අයුර්වේද වෛද්‍යවරු.  ඉතින් මමත් ඒ අඩිපාරෙම තමයි යන්නේ.  දැනට මම ආයුර්වේද වෛද්‍යවරියක් වීමට යක්කල ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ තුන්වන වසරේ ඉගෙන ගන්න ශිෂ්‍යාවක්. ඒ අතරතුරේ තමයි මම රංගන කටයුතු වලට දායක වෙන්නේ. 

  

* ඔබ වෘත්තීමය වශයෙන් රංගනය තෝරා ගන්නවාද?

 

 මං හිතන්නේ මං පොඩි කාලේ දැකපු දේවලුත් එක්ක සහ මම පියාගේ අඩිපාරේ යන එක්කෙනෙක් විදියට.  මං හිතන්නේ මගේ පුර්ණ කාලීන වෘත්තීය වෙන්නේ ආයුර්වේද වෛද්‍යවරියක් වීම.  ඒත් මම රංගනය වගේම කලාවට ආදරෙයි.  ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන්න ආසයි. ඒ දේවලුත් එක්ක මගේ වෘත්තීයත් සමබරව කරගෙන යන්න අදහසක් තියෙනවා.

 

 

 

*අපේ රටේ ගොඩනැගිලා තිබෙන සංස්කෘතික පසුබිමත් එක්ක තරුණියක් කලා ක්ෂේත්රයට පිවිසීම යම් මට්ටමක අභියෝගයක්. කටකතා ගැන මොකද හිතෙන්නේ?

 

මෙහෙමයි කටකතා කියන දේවල් කලා ක්ෂේත්‍රයේ  විතරක් නෙවෙයි  ඕනෑම ක්ෂේ ත්‍රයක අයට හැදෙනවා.  නමුත් කලා ක්ෂේත්‍ර යේ ඉන්න පුද්ගලයින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු වෙනවා වැඩියි.  නමුත් තමන් තමන්ගේ සීමාව දැනගෙන තමන් පැමිණියේ මොකටද කියලා දැනගෙන තමන්ගේ කාරණය හරියම සිදුකරනවානම් සහ ඒ විදියට හැසිරෙනවා නම් මං හිතන්නේ නෑ එතන කතාවක් හැදෙන්න පුළුවන් ඉඩ ප්‍රස්ථාව තියෙයි කියලා. මං හිතෙන විදියට ඒක පදනම් වෙන්නේ තමන් මතම තමයි.

 

 

* කලා ශිල්පිණියක් ලෙස ඔබේ අරමුණ කුමක්ද?

 

ඇත්තටම මම මේක කරන්නේ ආසාවට මගේ වෘත්තීය නෙවෙයි මේක.  ඉස්සර ඉඳන්ම කලා කටයුතු වලට දායක වෙන්න ආසාවෙන් හිටියේ. ගොඩාක්ම මගේ විනෝදය  සඳහා තමයි මම මේක කරන්නේ.

 

 * මින් ඉදිරියට ඔබේ කලා ජීවිතයට,ඔබ දායකත්වය ලබාදෙන නිර්මාණ වලට ඔබ විසින්   පනවාගත් යම් සීමා මායිම් තිබෙනවාද?

 

නෑ. මම හැම වෙලාවෙම හිතාගෙන ඉන්නේ මම ආයුර්වේද වෛද්‍යවරියක් කියන එක.  ඒ පදනමත් එක්ක මට කොච්චර මුදල් ලැබුණත්.  කොයිතරම් නම් ප්‍රසිද්ධියක් ලබා දෙනවා කියලා කිව්වත් මං මගේ සීමාවන් ඉක්මවලා කටයුතු කරන්නේ නෑ කියන තීරණයේ මම ඉන්නවා.

 

 

* අපි හිතමු ඔබට ලැබෙනවා චරිතයක් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට වඩා බටහිර වෛද්‍ය විද්‍යාව හෙඳයි කියාලා කරන්න යම්කිසි චරිතයක් එතකොට ඔබ මොකද කරන්නේ.

 

ආයුර්වේද වෛද්‍යවරියක් තමයි මං එකේ අගය දන්නවා.  මොකද මම පාරම්පරික වෛද්‍යවරික වෛද්‍යවරියක් නිසාම.  නමුත් මට ලැබෙන චරිතය ඒක නිසා මං ඒ වෙලාවට කුමන තීරණයක් ගනීද දන්නේ නෑ.

 

 

*කලා ශිල්පිණියක් විදිහට විලාසිතා සම්බන්ධව ඔබ දරන අදහස මොනවගේද?

 

ඕනෑම තරුණියක් රංගන ශිල්පිණියක් වෙන්න ඕනම නෑ විලාසිතා කරන්න. තමන්ට ගැලපෙන අවස්ථාවට උචිත  තමාව ලස්සනට පේන අනිත් අයගේ ආකර්ෂණය ගන්න පුළුවන් විලාසිතාවක් කාරට වරදක් නෑ කියලා තමයි මටනම් හැඟෙන්නේ.

 

 

* හරි දැන් ආදරය ගැන ඔබට මොකද හිතෙන්නේ?

 

 

ආදරය සුන්දරයි. හැමෝටම ආදරය ඕන.  ආදරය නිසා තමයි මේ ලෝකේ ලස්සන වෙලා තියෙන්නේ.

 

* මේ වෙනකොට ඔබට පෙම්වතෙක්  ඉන්නවා ඇති නේද?

  

නෑ. මම තාම අධ්‍යාපන කටයුතු වල නිරත වෙලා ඉන්නේ.  ඉතින් මට ගොඩක් අරමුණු තියෙන  මේ ක්ෂේත්‍රයේ වගේම මගේ වෘත්තීයත් ස්ථාවරත්වයකට ගේන්න ඕන.  ඉතින් ඒ දේවලුත් එක්ක මං හිතනවා ආදරය දැන්මම බාධාවක් කරගන්න ඕන නෑ කියලා.

 

* ඔබ බලාපොරොත්තු වන සහකරුවා මොන වගේ පුද්ගලයෙකු විය යුතුයි කියලද හිතන්නේ?

 

 

ගොඩක් වෙලාවට මාව තේරුම් ගැනීම තමයි වැදගත් වෙන්නේ.  දෙන්න අතර අවබෝධය තියෙන්න  ඕන.   ඉතින් මට ගොඩාක් ආදරය කරන්න ඕන. විශ්වාසය තියෙන්න ඕන. මොකද මේ ක්ෂේත්‍ර යට පිවිසෙනවත් එක්කම ගෑණු ළමයි ගැන  තියෙන විශ්වාසය ඇත්තටම ගොඩාක් අඩුයි.  ඉතින් ඒ විදියේ කෙනෙක් තමයි මං බලාපොරොත්තු වෙන්නේ.

 

 

 

*  ආදර සම්බන්ධතාවයක් අනිවාර්යෙන් කසාදයකින් කෙලවර විය යුතුයි කියා ඔබ සිතනවාද?

 

ආදර සම්බන්ධතාවයක් විවාහයකින්ම කෙළවර විය යුතුයි කියලා මං හිතන්නේ නෑ. මොකද  අපි කොච්චර ආදරය කළත් අනිත් පාර්ශවයෙන් එන  පිළිතුරු හරි නැත්නම් එ සම්බන්ධතාවට තිත තියෙන එක හෙඳයි කියාල මං හිතනවා. මොකද තවදුරටත් ඒක අරගෙන ගිහින් තවත් දුකකට අරගෙන යනවාට වඩා.

 


* ඔබ මොනවාගේ චරිතයක්ද?

 

මම ගොඩාක් ආදරණීය චරිතයක්, මම ගොඩක් මිත්‍රශීලි මගෙත් එක්ක වැඩ කරන අයත් එක්ක. ඉතින් මම හිතන්නේ මම දේදුණු වුණොත්  ඒ තරම් මගේ පෙම්වතාව ප්‍රතික්ෂේප කරයි කියලා මං හිතන්නේ නෑ.

 

*  ඔබේ පවුලේ සාමාජිකයින් ගැන කතා කළොත්?

 

මගේ පවුලේ ඉන්නේ  මමයි, අම්මයි, තාත්තයි, මගේ මල්ලියි. මගේ තාත්තා ආයුර්වේද වෛද්‍යවරයෙන්, අම්මා ගෘහණියක්. මගේ  සීයාත් ආයුර්වේද වෛද්‍යවරයෙක්  ඉතින් තාත්තාගෛන් අම්මාගෙන් ලැබෙන සහයෝගය කියලා නිම කරන්න බෑ. 

 

 

   * ඔබ තවමත් ක්ෂේත්‍රයට අදුණිකයි කෙසේ වෙතත්  මේතාක් පැමිණි ගමන ගැන සෑහීමකට පත්වෙනවාද?

 

මම ඒ තරම් ලොකු දුරක් තවමත් ඇවිල්ලා නෑ.  මොකද ටෙලි නාට්‍යයත් විකාශය වුණේ කොටස්  පහක් වගේ.  ඉතින් ඒ දේවලුත් එක්ක ඉස්සරහට හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර හම්බවෙයි.  නමුත් මේ වන විට විකාශය වු කොටස් දැක්කම මට හිතෙනවා මං නරූපණය කරපු සමහරක් දේවල් තවත් හොඳට කරන්න තිබුණා කියලා.  ඉතින් තව ඉස්සරහට ඒ දේවල් ප්‍රගුණ කරගෙන තව ඉස්සරහට ගමනක් යන්න තමයි බලාපොරොත්තුව. 

 

 

* අවසාන වශයෙන් ඔබගේ මේ ගමනට සහයෝගය පළ කරපු විශාල පිරිසක් ඇති එයාලාට  ස්තූතිය පුද කරමු මේ වේලාවේ?


    ඒක මං කොනක ඉඳලාම කියන්න ඕන. ඉස්සල්ලාම මං මගේ අම්මයි තාත්තයි මල්ලියි සහ මගේ ඥාතීන් පිරිස, ඒ වගේම අසල්වාසීන් මගේ මිත්‍රයින්. මට මේ ගමන එන්න උදව් කළේ ඉස්සල්ලාම මං කලින් සඳහන් කරපු කාන්තා පුවත්පතේ කතෘතුමාට. එතුමාත් ඒ වෙලාවේ ආදරයෙන් මතක් කරන්න ඕන. ඊට පස්සේ ඒ පත්තරේ මුල් පිටකවරය සඳහා ඡායා රූපය ගත් ඒ ඡායාරූප ශිල්පි අයියාව. ඊට පස්සේ මේ ටෙලි නාට්‍යය සඳහා මාව සම්බන්ධ කර ගත් නිෂ්පාදන ආයතනයට.  මේ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කරන සඳුන් රාජකරුණා අයියා. එතකොට මේ නවකතාව  ලිව්ව සුජීව ප්‍රසන්න ආරච්චි අයියා. ඔවුන් හැමදෙනාම   මේ වෙලාවේ ආදරයෙන් සිහිපත් කරනවා. 

MOST VIEWED VIDEO STORIES

MORE >>