Back to Top

දැන් හතර දෙනෙකුගේ පවුලේ වියදම 50,260යි

July 4, 2014  




පසුගිය ජුනි 30 වැනි දින සවස ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී රැස්විය. ඒ රට තුළ වර්ධනය වන දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡාවකටය.

කෙසේ වුවද ජ.වි.පෙ. නායක අනුර දිසානායක මෙයට එක්ව සිටියේ නැත. ඒ ඔහු  ඕස්ටේ‍්‍රලියාවේ සංචාරයකට එක්ව සිටි නිසාය. මෙහිදී සුනිල් හඳුන්නෙත්ති අනුර දිසානායකගේ ඔස්ටේ‍්‍රලියානු සංචාරයේ තොරතුරු කෙසේදැයි විමසා සිටියේය.

“අනුර සහෝදරයා සිඩ්නි, මෙල්බර්න්, බි‍්‍රස්බේන්, පර්ත්, කැන්බරා වගේ නගර ගණනාවක සම්මන්ත‍්‍රණ කළා. විශාල සෙනඟක් ඇවිත් තිබුණා. හොඳ ප‍්‍රතිචාර ලැබිලා. දැන් එන ගමන් සිංගප්පූරුවේත් සම්මන්ත‍්‍රණයක් කරාවි.” සෝමවංශ අමරසිංහ පිළිතුරු දුන්නේය.

පවුලක ජීවන වියදම දෙගුණ වෙලා

කතාවට සම්බන්ධ වූ ලාල්කාන්ත වර්ධනය වන අර්ථික අර්බුදය පිළිබඳව අවධානය යොමු කළේය.

“ජීවන අංකය ඉහළ ගිහින්. කලින් හතරදෙනෙක් ඉන්න පවුලක මාසෙ වියදම වුණේ රුපියල් 49,420යි. දැන් ඒක 50,260කට වැඩිවෙලා. 2005දී ඒ වියදම තිබුණේ 25,344කට. ඒ කියන්නෙ දැන් වියදම දෙගුණයක් වෙලා.” ඔහු පැවසීය.

“ඇත්තටම ආණ්ඩුව කිසිම ප‍්‍රශ්නයක් නෑ වගේ ඉන්නවා. මිනිස්සුන්ට තමන්ගෙ ජීවන වියදම් ප‍්‍රශ්නෙ අමතක කරන්න ආණ්ඩුව ජාතිවාදයයි ආගම්වාදයයි අවුළවනවා.” විජිත හේරත් පෙන්වා දුන්නේය.

“ඒත් මිනිස්සුන්ට ගෙදර කුස්සියෙ ප‍්‍රශ්නෙ අමතක කරලා යන්න බැහැ. වියදමට හරියන්න පඩි වැඩිවීමක් ඉල්ලන්න  ඕනෑ. දැන් එල්ලල තියෙන දීමනා පඩියට එකතු කරන්න කියලා බලකරන්න  ඕනෑ. පැන්ෂන් එක හැදෙන්නෙ මූලික පඩියට නිසා පෙන්ෂන් යන අය ලොකු අමාරුවකට වැටෙනවා. විශ‍්‍රාම පාරිතෝෂිකය කප්පාදු කරන්න හැදුව එක අපි මුල් වෙලා හදපු විරෝධය හින්ද ආණ්ඩුවට පස්සට ගන්න වුණා. දැන් කියනවා සල්ලි වෙන් කරනවා කියලා. ඒත් තාම හිඟ මුදල් ගෙවන්න පටන් අරන් නැහැ.” ලාල්කාන්ත කියා සිටියේය.

මේ අතර සුනිල් හඳුන්නෙත්ති ලාල්කාන්තගෙන් විමසුවේ සෞඛ්‍ය සේවයේ අර්බුදය පිළිබඳව පක්ෂයේ වෘත්තීය සමිතිවල ස්ථාවරය කුමක්ද යන්නය.


“ආණ්ඩුවට ප‍්‍රශ්නෙ විසඳන්න  ඕනැකමක් නැහැ.  ඕනේ ප‍්‍රශ්නෙ පාවිච්චි කරලා වෙන වැඩ කරගන්න. ආණ්ඩුවට  ඕනෙ පළමුවෙනි දේ නිදහස් සෞඛ්‍ය සේවය ගැන මිනිස්සුන්ගෙ විශ්වාසය බිඳවට්ටලා සෞඛ්‍ය සේවය ටික ටික මරාදාන එක. දෙවැනි එක අර්බුදේ පාවිච්චි කරලා මෛත‍්‍රීට ගහන එක. දැන් ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිති පාවිච්චි කරලා කරන්නෙ ඒක. ආණ්ඩුවෙ දේශපාලන ගේම් නිසා තැලෙන්නෙ අසරණ ලෙඩ්ඩු.” ඊට පිළිතුරු දෙමින් ලාල්කාන්ත පැවසීය.


චණ්ඩි කතා කිවුවට පරීක්ෂණේ යනවා


මේ අතර ටිල්වින් සිල්වා අවධානය යොමු කළේ ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණයන් පිළිබඳව පරීක්ෂණ ආරම්භ කළ ජාත්‍යන්තර කමිටුව පිළිබඳවය.”

ආණ්ඩුවට රටට එරෙහිව එන අනතුර ගැන හැඟීමක් නැහැ. ආණ්ඩුව වැල යන අතට මැස්ස ගහනවා වගේ කරපු වැඩවල ප‍්‍රතිඵල තමයි මේ එන්නේ. යුද්දෙ ඉවරවුණු ගමන් අප ඉදිරිපත් කරපු යෝජනා කි‍්‍රයාත්මක කළානම් මේ අර්බුදේ අද නැහැ. අනෙක අවම වශයෙන් අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු සංශෝධන පිළිඅරන් මානව හිමිකම් කඩවීම් ගැන අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කරන්න තිබුණා. එහෙම වුණානම් ජාත්‍යන්තර පරීක්ෂණයක අවශ්‍යතාව නැති කරන්න තිබුණා.


දැන් ඒ කමිටුවට රටට එන්න දෙන්නෙ නැහැ කියලා චණ්ඩිකතා කිවුවට පරීක්ෂණේ නතර වෙන්නෙ නැහැනෙ. රටට ආවේ නැති වුණාට පරීක්ෂණ කමිටුව වෙනත් රටවල ඉඳන් පරීක්ෂණ කරාවි. විදේශවල ජීවත්වන ලාංකිකයන්ගෙන් සාක්ෂි ගනිවි. ලංකාවෙ අයගෙන් දුරකථනවලින්, ඉන්ටනෙට් පහසුකම්වලින් සාක්ෂි ගනීවි. එයාලගෙ අවසාන වාර්තාව ලස්සනට හදාවි. ආණ්ඩුවට රටට තියෙන අනතුරෙන් වැඩක් නැහැ; එයාලට  ඕනෙ බොරු දේශපේ‍්‍රමිත්වයක් පෙන්නලා මේ වැඩෙන් දේශපාලන වාසි ගන්න විතරයි. ඇත්තම අනතුර අපේ රටටයි ජනතාවටයි.” ඔහු පෙන්වා දුන්නේය.


ජවිපෙ ඌවට බර තබයි.


”තාම ඌව විසුරෝලා නැති වුණාට රටේම අවධානෙ ඌවට. ඌවෙ ඡන්ද වැඩ කොහොමද?” සෝමවංශ අමරසිංහ විමසා සිටියේ විජිත හේරත්ගෙනි.

“බිමේ ලොකු උනන්දුවක් හැදෙමින් තියෙනවා. මිනිස්සුන්ට අපි ගැන තියෙන්නෙ ලොකු බලාපොරොත්තුවක්. සාම්ප‍්‍රදායික ශ‍්‍රී ලංකා යූඇන්පී පවුල්වල පිරිස් පවා දැන් අපි ගැන කතාකරනවා. ඇත්තම ගත්තොත් ආණ්ඩුවට තමන්ගෙ බැරිකම වහගන්න අමාරු තත්ත්වයක් තියෙන්නෙ. මොණරාගල ගත්තොත් කැබිනට් ඇමතිවරුම තුන්දෙනෙක්. ඒත් මහ ඇමතිගෙ දේශපාලනේට යටයි. පුෂ්පකුමාරලාට, සොයිසලාට කොන්ද පණ නැහැ; පවුලට බයයි. අවුරුදු ගාණක් බලයෙ ඉඳලා වැඩක් කරන්නෙ නැතුව දැන් තනි තනියෙන් බඩු බෙද බෙදා මිනිස්සුන්ගෙ ඡන්ද ගන්න හදනවා.” විජිත හේරත් ප‍්‍රකාශ කළේය.


“ඌව ඡන්දෙ කියන්නෙ මේ වටයේ තියෙන අන්තිම පළාත් සභාව. අනෙක ආණ්ඩුව තෙපර බබා ඉන්න ජනාධිපතිවරණයට කලින් තියෙන අන්තිම මැතිවරණය. ඒකෙදී අපි අපේ උපරිම බලය පෙන්නන්න  ඕනෑ. විශේෂයෙන්ම බස්නාහිර පළාතෙනුයි දකුණු පළාතෙනුයි අපි ගත්ත ජයග‍්‍රහණය ඉස්සරහට ගෙනියන්න  ඕනෑ. ආණ්ඩුවට තියෙන කළකිරීම මැතිවරණය ඇතුළෙ රටට පෙන්නන්නත්  ඕනෑ. මම හිතන්නෙ අපි ඌව පළාතෙ මැතිවරණ කටයුතු දේශපාලන මණ්ඩලේ අධීක්ෂණය යටතේ කරන එක හොඳයි. ටිල්වින් සහෝදරයටයි, විජිත සහෝදරයටයි ඌව ඡන්දෙ වගකීම් භාරදෙමු.” සෝමවංශ අමරසිංහ යෝජනා කළේය.


මේ සමග ටිල්වින් සිල්වා සැමගේ අවධානයට ලක් කළේ ආණ්ඩුවේ ජ.වි.පෙ.ට එරෙහි මඩ මෙහෙයුම පිළිබඳවය. ”ආණ්ඩුව අනුර සහෝදරයාටයි පක්ෂයටයි මඩ ගහන්න ව්‍යාපෘතියක් පටන් අරන්. දැන් මාධ්‍ය ආයතනවලට කියලා තියෙනවා, කරපු කතාවලින් අල්ල ගන්න කෑලි තියෙනවනම් දෙන්න කියලා. තාම මොකුත් හමුවෙලා නැහැ. ජවිපෙ තර්ජනය ආණ්ඩුවට දැනිලා. දැන් වෙන උත්තරයක් නැති නිසා මඩ කැම්පේන් එකකට ලෑස්ති වෙනවා. අනුර සහෝදරයා නොකියපු දෙයක් අල්ලගෙන මඩ ගහන්න හැදුවා. ඒත් ඥානසාර හාමුදුරුවන්ගේ කතාව නිසා ඒක ආණ්ඩුවටම පත්තුවුණා.” ඔහු අනතුරු අඟවා සිටියේය.



MOST VIEWED VIDEO STORIES

MORE >>