Back to Top

ඇමති චම්පිකට මුස්ලිම් ජාතික පුරවැසියෙකුගෙන් විවෘත ලිපියක්

July 2, 2014  


 වෛරය ක්‍රෝධය වැපිරීම උදෙසා මුසාවාදය උපයෝගී කරගැනීම
 ---------

දශක තුනක කුරිරු යුද්ධය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාවාසී සැවොම නැවුම් හා ශුභවාදී හැඟීම් ඇතිකර ගත්හ. නමුත් සිදුවෙමින් පවතින්නේ නැවත වාරයක් වාර්ගික හා ආගමික වෛරය වැපිරීමේ ඉතාම පහත් අන්තවාදී ව්‍යාපෘති කිහිපයකි. මෙරට අති මහත් බහුතරයක් වූ සිංහල බෞද්ධ යහ මිනිසුන්ගේ සිත් තුළ මුස්ලිම් පිළිකුලක් හා මුස්ලිම් භීතිකාවක් ඇති කිරීම අරමුණු කොට ගත් බුදු දහමේ හා සිංහල ජාතියේ ආරක්ෂිකයින් ලෙස පෙනී සිටිමින් කටයුතු කරන්නට විවිධ අන්තවාදී සංවිධාන ක්‍රියාත්මක විය.


මෙම සංවිධාන රටේ නීතියේ ආධිපත්‍යය බිඳ දමමින් බොහෝ විට නීතිය ක්‍රියාත්මක කිරීමට මහජන මුදලින් වැටුප් ලබන නිලධාරීන්ගේ වක්‍ර ආශීර්වාදය ඇතිව ක්‍රියාත්මක වන්නට වුහ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් දර්ගා නගරය, අලුත්ගම සහ බේරුවල යන ප්‍රදේශවල මිනිස් ඝාතන මංකොල්ලකෑම් නිවාස හා ව්‍යාපාර ස්ථාන ගිනිබත් කොට විනාශ කිරීමේ සංවිධානාත්මක ම්ලේච්ඡ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක විය. මෙම ම්ලේච්ඡත්වය සාධාරණීය කිරීමටත් එය මුස්ලිම් වරුන්ගේ ගිණුමට බැර කිරීමටත් ගෙන යන ප්‍රචාරයේ මුලිකත්වය ගරු පාඨලී චම්පික ගරු ඇමතිතුමා භාරගෙන ඇති බව මාධ්‍ය තොරතුරු මගින් පෙනෙන්නට ඇත. එනිසා එතුමා ඉදිරිපත් කරන චෝදනා කිහිපයක් පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් පහතින් දක්වා ඇත්තෙමු.

 

ගරු චම්පික ඇමතිතුමනි,

 

ඔබතුමා උගතෙක් හා සමාජ වගකීමක් දරන ඇමතිවරයෙක් හා දේශපානඥයෙකු ලෙස අපි පිළිගන්නෙමු. නමුත් අවාසනාවට මුස්ලිම් පිළිකුලක් හා මුස්ලිම් භීතිකාවක් ඇති කිරීම උදෙසා සත්‍යයෙන් බැහැරවූ පහත සඳහන් ඔබතුමාගේ ප්‍රකාශන ඔබතුමාගේ ගෞරවයට, කීර්තියට හා බෞද්ධකමට කිසිසේත්ම සුදුසු නැතැයි විශ්වාස කරන්නෙමු. 



1.    “දර්ගා නගරයෙන් බෝම්බ පනස් පහක් සොයාගෙන ඇත. අල් කයිඩා තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මුස්ලිම් අන්තවාදයක් මුස්ලිම් ත්‍රස්තවාදයක් හා ජිහාද් සංවිධාන රටේ ක්‍රියාත්මක වෙමින් පවතී”. ගරු ඇමතිතුමනි, මෙම පෙට්‍රල් බෝම්බ පනස් පහ සොයා ගනු ලැබුවේ අලුත්ගම මායිමේ පිහිටි කළුවාමෝදර ප්‍රදේශයේ ඇති සිරිපති පාරේ බෝක්කුවක් යට තිබීය. කළුවාමෝදර මුස්ලිම් ජනයා ජීවත්වන ප්‍රදේශයක් නොවේ. මෙය සිංහල ජනයා රැස්කර තැබූ බෝම්බ බවට නිශ්චිත මතයක් ප්‍රකාශ කරන්නට තරම් මෝඩ මුසාවාදයක් උපයෝගී කර ගැනීමට අප සුදානම් නැත. මේ පිළිබඳව පොලිස් පරීක්ෂණ සිදුවෙමින් තිබෙන තත්ත්වයේ මෙය මුස්ලිම් වරුන්ගේ ක්‍රියාවක් ලෙස හුවා දැක්වීමට ඉදිරිපත් වීම සහතික වශයෙන්ම ඔබතුමාගේ ගෞරවයට, කීර්තියට හා බෞද්ධකමට නුසුදුසු දෙයක් ලෙස අපි දකින්නෙමු. එසේ ප්‍රකාශ කිරීම සත්‍යය වශයෙන්ම මුසාවාදයකි.

 

විභංග පාලියෙහි දක්වා ඇති පරිදි සම්මා වාචා යනු:

 

“තත්ථ කතමා සම්මා වාචා?

මුසාවාදා වේරමණී,

පිසුනා වාචා වේරමණී,

ඵරුසාවාචා වේරමණී,

සම්ඵප්පලාපා වේරමණී,

අයං වුච්චති සම්මා වාචා”

 

මෙහි අර්ථය: සම්මා වාචා කවරේද යත්, මුසාවාදයෙන් වැළකීමය, පිසුනාවාචයෙන් වැළකීමය, ඵරුසා වාචාවෙන් වැළකීමය,සම්ඵප්‍රලාපයේන් වැළකීමය යන මේවා සම්මා වාචා නම්වේ.         

 

බෞද්ධ ඉගැන්වීම් අනුව මුසාවාදයේ ආනිශංස පහතින් උපුටා දක්වා ඇත්තෙමු.        

අන්‍යයන් මුලාවට පත් කරන වාචික අකුසල කර්මය මුසාවාදයයි. යම් පුද්ගලයෙක් මුසාවාදය පුරුදු පුහුණු කරන ලද්දේද හෙතෙම මරණින් මතු නිරයෙහි උපදී, තිරිසන් යෝනියෙහි උපදී, ප්‍රේත ලෝකයෙහි උපදී, එයින් චුතව මනුෂ්‍ය ලෝකයෙහි උපන් කළ අන්‍යයන්ගේ නින්දා අපහාස ආදියට ලක්වේ. එසේම දුගඳ මුඛයක් ඇත්තෙක් වෙයි. අඥානයෙක් වෙයි, ගොළුවෙක් වෙයි. අප්‍රිය සිරුරක් ඇත්තෙක් වෙයි.

 

ගරු ඇමතිතුමනි,


 මෙම කරුණු ඉතා භයානකය. අප ප්‍රකාශ කරන කරුණු පිළිබඳව කෙතරම් ප්‍රවේශම් විය යුතු ද යන්න මෙයින් පැහැදිලිවනු ඇතැයි විශ්වාස කරන්නෙමු. ඔබතුමා අල් කයිඩා හා මුස්ලිම් ත්‍රස්තවාදයක් පිළිබඳව කරුණු දක්වා ඇත. මෙය ඉහත ප්‍රකාශනයට දෙවැනි නොවන ප්‍රකාශනයකි. ගරු ආරක්ෂක ලේකම්තුමාගෙන් එතුමාගේ කාර්යාලයේදී මුස්ලිම් ත්‍රස්තවාදයක් මෙරටේ ක්‍රියාත්මක වන්නේද කියා අප සෘජුව ප්‍රශ්න කළෙමු. එවැන්නක් ශ්‍රී ලංකාවේ නොමැති බව එතුමා පැහැදිලිව අප වෙත දන්වා සිටින ලදී. මෙම සාකච්ඡාව බුද්ධි අංශ ප්‍රධානීන් සියල්ලන්ගේම පාහේ සහභාගීත්වයෙන් පවත්වන ලද්දකි. අවශ්‍ය නම් මේ පිළිබඳව සාක්ෂි ඔබතුමා වෙත ඉදිරිපත් කරන්නට අපි සුදානම් ව සිටින්නෙමු. කරුණාකර ගරු ආරක්ෂක ලේකම්තුමාගෙන්ම මෙහි සත්‍යතාව විමසා බලන්න. මෙයට අමතරව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසේකර මහතා විසින් 2014 ජුනි 24 වැනි දින ‘සන්ඩේ ලීඩර්’ පුවත් පතට කරුණු දක්වමින් ශ්‍රී ලංකාවේ ජිහාද් සංවිධාන හෝ මුස්ලිම් ත්‍රස්තවාදයක් නොමැත බවට සහතික කොට ඇත. ගරු ඇමතිතුමනි, කරුණාකර මෙම මුසාවාදය රට ඉදරියේ තබමින් මුස්ලිම් භීතිකාවක් ගොඩ නැගීමට කටයුතු කරන්නේ නැතිව ඔබතුමාගේ මෙම ප්‍රශ්නය ගරු ආරක්ෂක ලේකම්තුමා හා  හමුදා මාධ්‍ය ප්‍රකාශකතුමා වෙත යොමු කරන්න. උගතෙකුවූ ඔබතුමා මෙසේ හැසිරීම පිළිබඳව අප බලවත් කනස්සල්ලකට හා අපේක්ෂා භංගත්වයට පත්කර වන්නකි. මෙවන් හැසිරීම් ඔබතුමාගේ ගෞරවයට, කීර්තියට හා බෞද්ධකමට කිස්සේත්ම ඔබින්නක් නොවේ.

 

2.    “මෙරටේ මුස්ලිම්වරුන් ඔවුන්ටම වූ වෙනත් නීතියක් ක්‍රියාත්මක කරන්නට කටයුතු කරමින් සිටිති”. මේ පිළිබඳව ඉදිරිපත් කරන තර්ක උගතෙකුට කෙසේ වෙතත් හෝඩියේ පන්තියේ ඉගෙන ගන්නෙකුට වුවද සුදුසු එකක් නොවේ. කාත්තන්කුඩි ප්‍රදේශයේ මුස්ලිම්වරු හෙල්මට් පළඳින්නේ නැතිව යතුරු පැදියේ යෑම ඉදිරිපත් කර ඇති එක් තර්කයකි. හෙල්මට් පළඳින්නේ නැතිව යතුරුපැදියේ ගමන් කරන්නන් මා පදිංචිව සිටින කිරිබත්ගොඩ ප්‍රදේශයෙන් ඔබතුමාට දැක ගැනීමට අවශ්‍ය සියලු කටයුතු සුනාම් කර දෙන්නට අපට හැකිය. මෙය ඉතාම ලාබාල හා බොළඳ කරුණු ඉදිරිපත් කිරීමක් බව අකමැත්තෙන් වුවද ප්‍රකාශ කල යුතු ව ඇත. මෙය රට ඉදිරයේ තබා මුස්ලිම් භීතිකාවක් හදන්නට ලාබාල උත්සාහයක යෙදෙන්නේ නැතිව කරුණාකර පොලිපතිතුමා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට තත්ත්වය නිවැරදි කරන්නට කටයුතු කරන්න. ආගම්වාදී හා ජාතිවාදී දේශපාලන පක්ෂ වලට තමන්ගේ පැවැත්ම සහතික කරගැනීම පිණිස බොහෝවිට ‘මුසාවාදය’ අවශ්‍ය වන බව පෙනෙන්නට ඇත. කරුණාකර මෙයින් වැළකී කටයුතු කරන්නට උත්සාහ කරන්න. එය ඔබතුමාට වඩාත් සුදුසුය.

 


පශ්චාත් යුධ සමාජයක් අපට අප ගැන නැවත සිතා බලන්නට අවස්ථාව සලස්වයි. අතීතයේ අප කළ වැරදි නිවැරදි කර ගනු වස් එය ඉතා අගනා අවස්ථාවකි. ජීවිතය නැවත අලුතින් නිර්මාණය කළ යුතුව ඇත.  වෛරය ක්‍රෝධය ඉවතලා සැමට සතුටින් සාමයෙන් ජීවත්වියහැකි සමාජයක් ස්ථාපිත කරන්නට වහාම අවශ්‍ය පියවර ගන්නට ඉදිරිපත් වෙමු. නිෂේධනීය ලක්ෂණ ඉවතලා සාධනීය ලක්ෂණ රකිමින් හා පෝෂණය කරමින් ඉදිරි ගමනක් අරඹමු. විසංවාදී නොවී සංවාදී සමාජයක් තුල සියළු කරුණු සාමකාමීව විසඳා ගැනීමට අධිෂ්ඨාන ශීලීව ක්‍රියා කරන්නට ලක් මවගේ සියළු දරුවන් එකට අත් වැල් බැඳ ගනිමු. සෞභාග්‍යයෙන් පිරි සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩ නගන්නට අපගේ පුර්ණ දායකත්වය ලබා දෙමු.     

 

 සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්තා ....

 

- මොහමඩ් දහලන්,
නාතුඩුව - කැලණිය.



MOST VIEWED VIDEO STORIES

MORE >>