Back to Top

මම සුදු අයටනම් කැමති නෑ.....

May 1, 2014  

මම සුදු අයටනම් කැමති නෑ.....

අද ආලින්දයට අපි ආරධනා කළේ වැදි පරාම්පරාවෙන් පැවති එන එක්කෙනෙකුට. කොටින්ම කිව්වොත් ඇය කාලයක් වනගත වෙලා හිටියා. ඒ කවුද කියලා දැනගන්න අපි ආලින්දයට ආරාධනා කළා. “වරිගපොජ්ජ” චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකින් ප්‍රේක්ෂක ජනතාව‍ගේ සිත් දිනා ගෙන සිටින ඇය නමින් නදීෂානී නිලුක්ෂි.... අද ආලින්දයට හැඬගන්වන්නේ ඇයයි.

* ඉතින් නිලුක්ෂි කොහොමද වැදි ජීවිතය?


කැලෑවේ හිටියනම් හොඳයි කියලා හිතෙනවා. මං හිතනවා  අලි කොටි සත්තුත් එක්ක ජීවත්වෙන එක  හොඳයි කියලා.  මොකද කැලෑව ඒ තරම් සුන්දරයි. මිනිසුන්ට වඩා මං හිතනවා සත්තුත් එක්ක වැඩ කරපු කාලය ඉතාමත් සුන්දරයි කියලා. ඇත්තටම මාර සැහැල්ලුයි හිතටත් කැලෑවේ වැඩ කරපුවාම. නාගරික ජීවිතයට වඩා මං හිතනවා කැලෑ ජීවිතය සුන්දරයි කියලා.





* මේ දවස්වල ටිකක් කාර්ය බහුලයි කියලා අපිට ආරංචි වුණා?

මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. මොකද එළඹෙන මාසයේ ආරම්භ වීමට නියමිත  නාලක විතාන මහතාගේ චිත්‍රපටියක් පටන් ගන්නවා. ඉතින් ඒකට  ෂූටින් තියෙනවා ඉදිරයේදී. මගේ චිත්‍රපටය තිරගතවීමත් සමඟ ගොඩක් ආරාධනා ලැබෙනවා රංගන ජීවිතයටම. මං ඒ වුණාට රංගන ජීවිතය පැත්තෙන් විතරක් නොවෙයි. වෙන වෙන ක්ෂේත්‍ර වලිනුත් ඉදිරියට යන්න තමයි අදහස. ඉතින් ඉස්සරහට ඒ දේවලුත් කතා කරමු.

*  ඔබ රංගනයට ප්‍රවිෂ්ට වුණේ  “වරිගපොජ්ජ” චිත්‍රපටය හරහා නොවෙයි?  ඊට පෙරත් ඔබ ක්ෂේත්‍රයේ හිටියා ඒ ගැනත් මතක් කරමු?

ඇත්තටම මං ක්ෂේත්‍රයට පැමිණෙන්නේ නිරූපිකාවක් විදියට. ඊට පස්සේ නිවේදන කටයුතු වල නියැලිලා හිටියා. ඒ වගේම තව ආරාධනා කිහිපයක් ලැබිලා තියෙනවා ඒ ක්ෂේත්‍රයෙන් ඉහළට යන්නත්. ඇත්තටම මේ චිත්‍රපටයනම් මට ලැබුණේ අහම්බෙන් වගේ. මුලින්ම මට කතා කළේ රංග කියලා එක්කෙනෙක්.  මට කිව්වා  “ නංගි මෙහෙම චිත්‍රපටයක් ඇවිත් තියෙනවා. ඔයා කැමතිනම් යන්න කියලා. හැබැයි ඔයා හිතනවාට වැඩිය පොඩ්ඩක් විතර අසිරූ වෙයි.“ කියලා.  ඉතින් මං කිව්වා  මං යන්නම් කියලා. ඉතින් ඊට පස්සේ මං ගියා.ගියාට පස්සේ එතන කුෂාර තෙන්නකෝන් මහතාව හම්බ වුණා. ඒ කියන්නේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා.  ඉතින් ඒ වෙලාවේ ඔහු කිව්වා. මෙහෙම ච්ත්‍රපටයක් තියෙනවා “වරිගපොජ්ජ“ කියලා සහභාගී වෙන්න පුළුවන් ඉස්සල්ලා අපි බලමු ඔයාගේ හැකියාව කොහොමද කියලා .  ඊට පස්සේ කිව්වා එයාලා මට “ මගේ තියෙන රූපයට වඩා  හාත්පසින්ම වෙනස් රූපයක් තමයි  මුහුණ දෙන්න වෙන්නේ.   මේකප් වලින්, අඳින ඇඳුම් වලින්, කතා කරන විලාසය හාත්පසින්ම වෙනස් කියලා.   එයාලා කිව්වා මට  පුළුවන් වෙයි කියලා.   ඉතින් එදා ඒ දේවල් වලට මුහුණ දුන්නා. ඊට පස්සේ කිව්වා එයාලා මට කොල් එකක් දෙන්නම් කියලා. චිත්‍රපටයට තෝරාගෙන තියෙනවානම්. මමත් එතනට ඇවිත් හිටිය අනිත් ගෑණු ළමයි වගේ පුංචි බලාපොරොත්තුවක් තියාගෙන ගෙදර ගියා. ඉතින් දැන් ඒ හීනය හැබෑ වුණා. ඒ හීනය සැබෑ වුණා කියන්නේ මගේ චිත්‍රපට ක්ෂේත්‍රයේ පළමුවැනි පියවර මේක.  මොකද තව දෙයක් මතක් කරන්න ඕන මං කලින් රංගනය පිළිබඳව හදාරලා තිබුණේ නෑ. ඉතින් ඒක තමයි තියෙන විශේෂත්වය. මං හිතුවේ නෑ මෙච්චර ප්‍රේක්ෂකයින්ගේ ආදරයක් ලැබෙයි කියලා.


* කොහොමද චිත්‍රපටය හරහා ඔබට ලැබෙන ප්‍රතිචාර?

මෙහෙමයි 100% ක් මම කියන්නේ නෑ මගේ නිරූපණය සාර්ථකයි කියලා. මොකද එක එක්කෙනා එක එක දේවල් කියන්න පුළුවන්. මොකද මගේ කනට ඇහුණ දේවල් අනුව ගොඩක් අය කිව්වේ “ නදීෂා ඔයාගේ ප්‍රථම රංගනය මේක , ඔයා ඒක හොඳ ආකාරයට කළා කියලා. ඒ වගේම මේක වෙනස්ම චිත්‍රපටයක් . ප්‍රේක්ෂකයින්  නරඹනකොට මේක තේරෙනවා. මොකද ලංකාවේ නොදුටු ගොඩාක් විශේෂ තැන් මේ චිත්‍රපටයේන් තෝරාගත්තා. චිත්‍රපටයේ අධ්‍යන්ෂකවරයාව අපි මතක් කරන්න ඕන මේ වෙලාවේ තුෂාර  තෙන්නකෝන් මහතාව මොකද එතුමා සෑහෙන්න වෙහෙසක් දැරුවා අපිව පෙර පුහුණුවීම් කරවන්න, මොකද වැදි චරිතයක් නිසා ප්‍රේක්ෂකයින්ටත් තේරෙනවා මේක කියනවාට වඩා. මොනවගේ චරිතයක්ද  කියලා.

* කොච්චර කාලයක්  ඒ කැලෑවේ රූපගත කිරීම් කලාද?


ඇත්තටම අපි කැලේ මාසයක් වැනි කාලයක් හිටියා. එක එක අත්දැකීම් වලට මුහුණ දුන්නා මේ කාලය තුළ. බෙලිහුල් ඔය, සිංහරාජ, දුවිලි ඇල්ල, ඒ වගේ ගොඩක් තැන් අපි තෝරා ගත්තා ලොකේෂන් විදියට. අපි පාන්දර 2.00 ට විතර නැගිටලා තමයි  මේකප් කරන්න යන්නේ. මේකප් වලින් අපිට සහයෝගය දැක්වුයේ ජයන්ත රණවක මහතා සහ ඔහුගේ පුතුයි.  ඒ වගේ කිහිප දෙනෙක් හිටියා මේකප් ආර්ටිස්ලා විදියට. ඉතින් ඇත්තටම ලොකු සහයෝගයක් ලැබුණා. මුලින්ම ජයන්ත සර් නම් කිව්වා තුෂාර අයියට “  මට මේ දුවව නම් ගන්න බෑ. මොකද මෙයාගේ  ස්කින් ටෝන් එකයි, කොණ්ඩයේ තියෙන ස්ට්‍රේට් එකත් එක්ක මට වැදි චරිතයකට ගන්න අමාරුයි කියලා.  එතකොට මොඩන් වැද්දෙක් තමයි එන්නේ කියලා“. ඇත්තටම මට මාර සහයෝගයක් දුන්නා. ඒත් මං මට බය වුණා එයා එහෙම කිව්වාම මොකද චිත්‍රපටයට මාව තේරෙන එකකුත් නෑ කියලා. මොකද එතුමා ගොඩක් ප්‍රවිණ එක්කෙනෙක්.  ඇත්තටම අපි කැලේ යනකොට දැක්ක අලියෝ එහෙම. හවසටත්  දකිනවා. මගේ හිතේ ඇත්තටම බයකුත් දැණුනා ඒ වෙලාවේ. එක මතක් වෙද්දි දැනුත් මට බයක් දැනෙනවා හිතට. විසිකුරු  සර්පයෝ එහෙම ඉන්නවා. ඇත්තටම කැලෑවට අපි යන්න ඉස්සල්ලා පුජා පවත්වලා. ඒ වලින් ආරක්ෂා වෙලා තමයි අපි අපේ ලොකේෂන් වලට ගියේ.




* අමතක නොවන සිදුවීම් රාශීයක් ඇති මේ සුවිශේෂී රූපගත කිරීමේ තලය තුළ. ඒ ගැනත් මතක් කරමු?


අමතක නොවන අත්දැකීම් කිව්වොත්, ඇත්තටම කූඩැල්ලන්නම් මට අමතක වුණේම නෑ. මං තමයි ගොඩක් බය වුණේ. හැබැයි මගේ ඇගේ නම් එකෙක්වත්  එල්ලුණේ නෑ. හැබැයි තුෂාර අයියා නම් කිව්වා ඇඟේ ලේ  විෂවෙන්න  පුළුවන් කියලා කූඩැල්ලන්ට ඒකලු එල්ලුණේ නැත්තේ. ඒ වගේම චිත්‍රපටයේ මගේ එකම සින්දුවයි තියෙන්නේ. රූප රාමු බැලුවොත් තේරෙනවා. දූවිලි ඇල්ලේ තමයි මගේ සිංදුව කරලා තියෙන්නේ. ඉතින් එකේ  නැටුම පවා කරද්දි ඒ ගල්වල දිය සෙවල එහෙම තියෙනවා. කකුලක් හරි ලිස්සලා ගියොත්  අනිවාර්යෙන් බිම තමයි. ජීවිතයත් මරණයත් අතර තමයි මං ඒ  සිංදු කළේ.   ඉතින් ඒකටත් ස්තූති වෙන්න ඕන තුෂාර අයියාට. මොකද එතුමා තමයි මට හැම මොහොතේම  හැම දෙයක්ම කියලා දුන්නේ.

* කොහොමද ප්‍රවීණ ශිල්පින්ගෙන් ලැබුණු  සහයෝගය?


අනිවාර්යෙන්ම ප්‍රවීණයන්ට මුල් තැන දෙන්න ඕන. මොකද මේක මගේ පළමුවන චිත්‍රපටය වුණාට  මගේ අවසාන පියවර මේක වෙන්නේ නෑ. මොකද මං පියවරෙන් පියවර තමයි ඉස්සරහට යන්න කැමතියි.   ඇත්තටම මේ චිත්‍රපට‍යේ  ජගත් අයියා තමයි මගේ සහෝදරයා ලෙස රඟපෑවේ.  ඉතින් ජගත් අයියත් වේදිකාව හරහා මේ ක්ෂේත්‍රයට ඇවිත් හොඳ චිත්‍රපට හරහා ඉදිරියට පැමිණි එක්කෙනෙක්.  ඉතින් එයත් ඇත්තටම මට ගොඩක් සහයෝගය දුන්නා. සමහරක් අවස්ථාවලදී මනු අයියා මට බැන්නා. නංගි මේක මෙහෙම නොවෙයි, මේක මෙහෙම කරලා හරියන්නේ නෑ, ඔහොම කරලා ඉදිරියට යන්න බෑ කියලා.  ඒ කියන්නේ වචන   එහෙම  මට පැටලෙන අවස්ථා තියෙනවා  එකයි.  ඒ වගේම සෝමවීර අයියා, නයනා අක්කා  වගේ කට්ටිය මතක් කරන්න ඕන මොකද ඒ හැමෝගෙම  උත්සහය කැපවීම තියෙන්න ඕන අපි හරි නිර්මාණයක් එළියට ගේන්න ඕන නම්.  අනිවාර්යෙන් මං ඒ හැම දේනාටම ගොඩාක් ස්තූතිවන්ත වෙන්න ඕන මොකද එයාලා ගොඩාක් මට උදව් කළා මගෙන් හරි චරිතයක් එළියට ගන්න.




* කලා ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්නද අදහස තියෙන්නේ?

ඇත්තටම මම කැමතියි නිවේදන ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න. ඊට අමතරව මම රංගනයටත් ඉතාමත් ආදරෙයි. ඒ ආදරයත් එක්ක තමයි ක්ෂේත්‍රයට පළවෙනි පියවර තිබ්බේ.   ඉතින් මට ප්‍රවීණ අධ්‍යක්ෂකවරුන්ගෙන් ආරාධනා ලැබුණා.  ඉස්සරහට ඒ දේවල් වලින් මාව දැක ගන්න පුළුවන්. තව ටෙලි නාට්‍යය වලින්, රූප රචනා වලින්, වෙළඳ දැන්වීම් වලින්,  චිත්‍රපයි වලින්.  මං හිතනවා  ඒ හැම දෙයක්ම එකතු කරගෙන ඉස්සරහට යනවා කියලා.

* ඉදිරියේදී ලැබෙන ඕනෑම චිත්‍රපටයක්  බාරගන්නවාද? එසේ නොමැතිනම් තෝරා බේරාගෙනද රංගනයේ යෙදෙන්නේ?


නෑ. මං එහෙම හැම දෙයක්ම බාර ගන්නේ නෑ.  ඒ කියන්නේ මට ගැලපෙන දෙයක් තියෙනවානේ. ඒ ගැලපෙන දේ  මං හඳුනාගෙන, මගේ අම්මාගේ නුත් තාත්තාගෙනුත් සහ මට අයියලා තුන් දෙනෙක් ඉන්නවා  එයාලගෙනුත් අහලා. මොකද මං මේතාක් පැමිණි ගමනත් එයාලගේ අනුදැනුම මත තමයි කළේ. ඉතින් ඉස්සරාහටත් එයාලගෙන් අහලා මං මේ ගමන යනවා. මොකද   මට නොපෙනෙන ගොඩක් දේවල් මගේ අම්මට පේනවා.  එයා තමයි මට කියන්නේ පුතේ ඔයා මේ දේ කළෝත් ඔයාට ඉදිරියට යන්න පුළුවන් කියලා.  මොකද මගේ ප්‍රථම චිත්‍රපටයේ මම  වගේම මගේ අම්මත් කඳු  නැග්ගා.  ඒ කැලේ හැම දෙයක්ම එයත් වින්දා.  ඇත්තටම මතක් කරන්න ඕන මගේ අම්මාව එයා මට ලොකු  රුකුලක් වුණා මේ හැමදේටම.  ජනප්‍රියතාවය විතරක් නොවෙයි  දක්ෂතාවය වගේ හැමදෙයක්ම තියෙන්න ඕන ඉස්සරහට යන්න නම්.

* ඉදිරියේදී ඔබට තිර පිටපත් ලැබුණොත්  එහි ඇති ගුණාත්මකතාවයද බලන්නේ එසේ නොමැතිනම්  මුදලේ ඇති වටිනාකමද?


මෙහෙමයි ඇත්තටම අපිට මුදල් කියන දේත් අවශ්‍ය වෙනවා. මොකද   අපි අනිවාර්යෙන් තිර පිටපතක් ගත්තොත් ඒක නිර්මාණය වෙලා තියෙන්නේ මොන විදියටද කියලා  මුලින්ම අපේ මනසට දාගන්න ඕන. මොකද  ඕනම පිටපතක ඕනම චරිතයක් තියෙන්න පුළුවන්. ඕනම දෙයක් තියෙන්න පුළුවන්. ඉතින් ඒක තමන්ගේ කැමැත්ත අනුව තමයි තීරණය වෙන්නේ. මොකද අපිට අධ්‍යක්ෂකවරුන් කියන්නේ නෑ  මේ චරිතය කරන්න ඕනමයි කියලා.  මං හිතනවා මුදල් සහ පිටපත් මත ඒක තීරණය වෙන්නේ නෑ. තමන්ගේ කැමැත්ත අනුව තමයි ඒ දේවල් වෙන්නේ.  ඉතින් ඒ දේවල් ප්‍රකාශ කරන්න පුළුවන් බය නැතුව.  මොකද අපිත් එක, එක රාමුවකට කොටු වෙන්න ඕන නෑ. මං වැදි චරිතයක් කළා කියලා ඉදිරියටත් වැදි චරිතයක් කරන්න ඕන කියලා එකක් නෑ.



* ඉදිරියේදී ආයෙමත් වැදි චරිතයක් ලැබුණොත් බාරගන්නවාද?

ඇත්තටම මං මුලින්ම ආවේත් වැදි චරිතයකින්නේ ඉතින් ඒක නිසා ඒක බාරගත්තත් ඒ තරම් වැරැද්දක් නෑ කියලා මං හිතනවා.  මොකද ආපු මුල අමතක කරන්න නරකයි.

* ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න අත්‍යවශ්‍ය වෙන්නේ මොනවද කියලා ඔබ හිතන්නේ?


ඇත්තටම  ප්‍රේක්ෂකයින්ගේ ආදරය ලැබෙන්න ඕන මුලින්ම. මොකද අපි කොච්චර මොනවා කළාත් ප්‍රේක්ෂකයින් නාට්‍යයක් බැලුවේ නැත්නම් වැඩක් නැහැනේ.  ඒ වගේම අපිට ගැලපෙන දේ මොනවාද කියලා බලන්න ඕන. ඒ වගේම හොඳ අධ්‍යක්ෂකවරුන් යටතේ වැඩ කරන්න ඕන.  අපේ නිර්මාණ හරි විදියට එළියට එන්න. මොකද  අධ්‍යක්ෂකවරයෙක් හරි විදියට ඒ දේවල් කළේ නැත්නම් අපේ නම යන්නෙත් ඒ විදියට.  ඉතින් ඒක නිසා මං හිතනවා අපි හරි අධ්‍යක්ෂකවරයෙක් තෝරා ගන්න ඕන කියලා. මොකද අපේ නිරිමාණ හොඳ විදියට ඉදිරියට යන්න ඕන නම්.



* මේ  වෙනකොට ඇතැම් නවක නිළියන් ක්ෂේත්‍රයේ සිටින අනෙකුත් නළු නිළියන් සමඟ ප්‍රශ්න ඇති කර ගන්නවා? ඔබ දකින්නේ ඒ ඇයි එහෙම වෙන්නේ?

ඇත්තටම  අර කතාවක් තියෙන්නේ හැම දේටම කලින් කට පරිස්සම් කර ගන්න ඕන කියලා. ඉතින් ඇත්තටම අපි තැනකට ගියාම අපේ කටින් පිට වෙන දේවල් එක්ක තමයි අනිත් අයත් අපි ගැන වැරදි විදියට බලන්නේ සහ අපිත් එක්ක  පැටලෙන්න බලන්නේ.  අපි නිතරම අපේ කටින් පිටවන වචන අනෙක් කෙනාගේ හිත රිදවීමක් නොවෙන විදියට කතා කරන්න ඕන. එහෙම වුණොත් අපිට හැමෝගෙන්ම ආදරය ලබා ගන්න පුළුවන් කියලා මං හිතනවා.   ඉතින් මේ වෙනකොට ඒ හැම දෙනාගෙන්ම වගේ මට ප්‍රසාදය හිමවෙනවා සහ ආදරය ලැබෙනවා. ඉතින් සමහරක් අයට කටකතා යනවා මටත් එහෙම යනවා ඇති හැබැයි මගේ කනට ඇහිලා නෑ එහෙම කතාවක් මේ වෙනකොට. ඉතින්  ඒකත් මගේ වාසනාවක් . මොකද මං එහෙම අනුන්ගේ දේවල් හොයන්න යන්නේ නෑ. මට එහෙම හොයන්න වෙලාවකුත් නෑ.ඉතින් හැමෝගෙම ආදරය ප්‍රසාදය මට ලැබිලා තියෙනවා.  ඉතින් අනිවාර්යෙන් ගල් මුල් ප්‍රහාර ඇතැම්විට ඉදිරියේදී එයි කියලා මං හිතනවා. මොකද පණ ඇති ගහටනේ ගල් ගහන්නේ. බලමු ඉදිරියට.

* මේතාක් පැමිණි දුර ගැන නදීෂා සෑහීමකට පත්වෙනවාද?

ඒ කියන්නේ  මගේ චිත්‍රපටිය බලද්දි මට මගේ අඩුපාඩුව පේනවා. ඒක මං කියන්න ඕන. ඒකයි මං කිව්වේ මට ඒ චිත්‍රපටය නැවත හම්බ වුණානම් මට ඒක නැවත හොඳ විදියට කරන්න තිබුණා කියලා.

 * මේ ඇත්තට සුවඳින් ආදර පොජ්ජා මන්දු කරපු  කවුරුත් එහෙම නැද්ද මේ වෙනකොට?

දැනට නම්  සහකරුවෙක් නෑ. අම්මිලට බාර දෙනවා ඒ දේ කරගෙන යන්න කියලා. හැබැයි මෙහෙමයි අම්මලා බැලුවට මටත් ඒ දේවල් ගැලපෙන්න ඕන. ඇත්තටම ආදර යෝජනා නම් මේ වෙද්දි එනවා. අම්මනම් කියනවා සිකුරා ලබලාද දන්නේ නෑ කියලා.



* එහෙනම් කියන්නකෝ බලන්න ඔබ කැමති මොන වගේ සහකරුවෙක්ටද කියලා?

මං බලාපොරොත්තු වෙන කෙනාව  ලොකු ලස්සනක් තිබිය යුතු නෑ. හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න පුළුවන්, තේරුම් ගැනීම, විශ්වාසය, සැකයක් නැතුව මට ආදරයෙන් ඉන්න පුළුවන් නම්, මාව තේරුම් ගන්න පුළුවන් නම්. සාමන්‍ය උස ගානට තියෙන්න ඕන. සුදු අයටනම් මං කැමති නෑ. තලෙලු එක්කෙනෙක්. ඉතින් ඒ වගේ හොඳ එක්කෙනෙක් ලැබෙයි අනිවාර්යෙන් මට. ඉතින් හිමිකාරයා එනකන්  මං බලන් ඉන්නවා .

අනිවාර්යෙන් තව දෙයක් තියෙනවා. අපි හිතනවානේ අපි ආදරය කරන කෙනා අපි අනිවාර්යෙන් කසාද බඳින්න ඕන කියලා. මං ඒකට එකඟ නෑ. මොකද දෙන්නෙක්ගේ අදහස් ගැලපෙන්නේ නැත්නම්. හොඳම දේ මුලින් කතා වෙලා දෙන්නම අයින් වෙන එක තමයි.  නැත්නම් ඒක තවදුරටත් කරගෙන ගියොත් එහෙම අපි දෙන්නටම දුකක් දැනෙනවා හැමදාම. ඉතින් ඒක නිසා මං හිතනවා කතාබහ කරළා ඒකෙන් අයින් වෙන එක තමයි හොඳම දේ කියලා. හැබැයි සමහරක් වෙලාවට ආදරයේදී ආත්මාර්ථකාමී වෙන්න සිද්ද වෙනවා. මොකද හිතමු අපි මගේ සහකරුවෙක් මට ආදරය කරනවා නම්  ඒ අතරේදී තවත්  ගෑණු ළමයෙක් එයා අතරට එනවා නම් මට එතනදී පොඩි ආත්මාර්ථකාමී බවක් එනවා.

*  පවුලේ විස්තර ගැනත් මේ  වේලාවේ මතක් කරමු?

මම ඉන්නේ පානදුර. මට ඉන්නවා අම්මයි තාත්තයි අයියලා  තුන්දෙනයි. තව දෙන්නෙක් ඉන්නවා.තව  බල්ලෝ දෙන්නෙක් ඉන්නවා.

* කොහොමද පාසල් කාලය හා ඒ සම්බන්ධ අතීතය?

පාසල් කාලයනම් මට මාර ආස කාලයක්. ස්කූල් යුනිෆෝම් එකක් ඇඳලා බෑග් එකක් දාගෙන අයෙමත් ස්කෝලේ යන්න තියෙනවා නම් නියමයි.  ඉතින් ඒ තරමට මාර සුන්දර කාලයක් ඒක.  ඒ කාලයේ මං කළේ නර්තනය පැත්ත. දැනුත් ඒ පැත්ත සමහරක් අවස්ථාවලදී කරනවා.  මගේ පාසල ඇවිත් පානදුර සෙන් ජෝසප් විද්‍යාලය. ඉතින් ඒ කාලයෙත් සුන්දරයි. ඒ දවස්වලත් මං වේදිකා නාට්‍යය වලට සහභාගී වෙලා තියෙනවා. ඉතින් ගොඩක්ම මං ක්‍රීඩා පැත්තටත් යොමු වෙලා තිබුණා. ඉතින් ඒ කාලයෙත් ගොඩක් සුන්දරයි.
 



*   අනාගත බලාපොරොත්තු මොනවාද?

මගේ අනාගත බලාපොරොත්තු නම් මං සමහරක් විට විලාසිතා නිර්මාණ පැත්තට යොමු වෙන්න පුළුවන් . ඉතින් ඒ පිළිබඳව අධ්‍යාපණය ලබන්න පිටරටකට යන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ කියන්නේ මගේ මේ වැඩ ටිකක් කරලා ඉවර වුණාට පස්සේ. විලාසිතා නිර්මාණ පැත්තට තමයි මගේ වැඩිපුරම කැමැත්ත සහ ආසාව තියෙන්නේ. මං ඒ අධ්‍යාපනයට කැමතියි. මොකද ලංකාවේ ගොඩක් අය දන්නේ නෑ විලාසිතාවක් කියන්නේ මොකක්ද කියලා. එයාලා හිතන්නේ විලාසිතාවක් කියන්නේ තමන් අඳින අඳුම විතරයි කියලා. නමුත් විලාසිතාවක් සම්පූර්ණ වෙන්නේ අපේ ඇඳුම අපි පළඳින ආයිත්තම්  වගේ ඒ හැම දේම . ඒ වගේම මේකප් එක වගේ දේවල් වලින් තමයි අපේ විලාසිතාව සම්පූර්ණ වෙන්නේ. ඉතින් මේ වන විට අන්තර්ජාලය හරහා මෙන්ම මෝස්තර නිරූපණය පිළිබඳව ඉගෙන ගන්න පන්ති පවා තියෙනවා ඒක නිසා ගැහැණු ළමයින්ට මෙන්ම, පිරිමි ළමයින්ටත් ඉදිරියට යන්න අවස්ථාව වැඩියි. මං හිතනවා මේ දිනවල ගැහැණු ළමයින්ට වඩා පිරිමි ළමයින් ඇඳුම් සම්බන්ධයෙන් ගොඩක් දේවල් හිතනවා. මං හිතනවා ඇඳුම් ගෙන්වලා හොඳ සාප්පුවක් දාගන්න වගේ. ඉතින් බලමු ඉස්සරහාට. 




* ස්තුති කරන්න පිරිස ඇති මේතාක් පැමිණි දුර සම්බන්ධයේන්?

විශේෂයෙන් මතක් කරන්න ඕන මගේ අම්මා සහ තාත්තා. මගේ අයියලා තුන්දෙනා. ඊට අමතරව මගේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා. තුෂාර තෙන්නකොන් අයියා. ඒ වගේම කැමරා පැත්තෙන් සහය වුණා විශ්ව  විජිත් කරණාරත්න අයියා. ඒ වගේම  තව ප්‍රවීණයෝ ගොඩක් අය ඉන්නවා මේ වෙලාවේ මතක් කරන්න බෑ ඒ ඔක්කොම.  ඒ සියලුම දෙනාට මං ස්තුතිවන්ත වෙනවා මාව මේ ක්ෂේත්‍රයෙන් ඉහළට ගෙනාවට.  ඉතින් මං මේ වෙලාවේ කියන්න කැමතියි ඒ හැමෝටම ගොඩාක් ස්තූතියි කියලා.



MOST VIEWED VIDEO STORIES

MORE >>