දෙරණ සිටී ඔෆ් ඩාන්ස් පසුගිය දා නිමා කළේ තවත් නර්තන තරුවක් බිහිකරමින්.ඒම වැඩසටහනේ නර්තන ජයග්‍රාහකයා වුණේ ඔබ කවුරුත් හොඳින් දන්නා හඳුනන ලංකාවේ ජනප්‍රිය කලාකරුවෙකුගේ පුත්‍රයෙකු වන ජැක්සන් ඇන්තනි මහතාගේ බාල පුතුයි.ඒ සජිත අනුත්තර, අද ආලින්දය හැඩගන්වන්නයි පැමිණ සිටින්නේ.
*ඉතින් සජිත කොහොමද ජීවිතේ?දෙරණ සිටී ඔෆ් ඩාන්ස් අත්දැකීමෙන් පසුව දැන් මගේ අධ්‍යාපනික පැත්තට නැවත වතාවක් යොමු වෙලා ඉන්නේ. මම උසස් පෙළ කරලා විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබෙනකන් ඒ කාල පරිඡේදය තමයි මං යොමු වුණේ දෙරණ සිටී ඔෆ් ඩාන්ස් තරඟයට. ඉතින් සිටි ඔෆ් ඩාන්ස් තරඟාවලිය අති සාර්ථක ලෙස නිමා කරලා එය ජයග්‍රහණය කරලා ගෙදර එනකොට විශ්ව විද්‍යාල ගමනටත් ජයග්‍රහණය ලැබිලා කියලා ආරංචි වුණා. පොඩි ලියුම් කඩදාසියක් ඇවිත් තිබුණා ගෙදරට. ඒ වෙලාවේ මට විශාල සතුටක් ලැබුණා. මම සහ මගේ දෙමාපියෝ මගේ ජීවිතයේ සැලසුම් කරලා තිබුණු විදියටම වෙනවා කියන එක සම්බන්ධයෙන් මට සහ ගෙදර අයට ඉතා විශාල සතුටක් දැණුනා.
*ඔබට තිබෙන කර්යබහුලත්වයත් සමඟ ගෙදරින් ලැබුණු සහය මොන වගේද?මං හිතන්නේ මට මගේ ගෙදරින් ලැබෙන සහයෝගය නිසා තමයි මට මේ දේවල් සාර්ථකව නිමා කර ගන්න පුළුවන් වෙන්නේ . ගෙදර ඉන්න හතර දෙනාගෙන් විවිධ වූ උදවු තමයි ලැබෙන්නේ. මට මගේ අධ්‍යාපනයට මුදල් ලැබෙන්නේ වැඩිපුරම අක්කගෙන්.දෙරණ සිටී ඔෆ් තරඟාවලිය ඇතුළු මගේ පෞද්ගලික ප්‍රශ්න වලට පවා මට උදවු කරන්නේ මගේ අයියා. ඒ වගේම මගේ කලා ජීවිතයට මට උදවු කරන්නේ මගේ අප්පච්චි. ඒ වගේම මගේ ගායන ජීවිතයේදී මට උදවු කරන්නේ මගේ අම්මා. ඉතින් ඒ වගේ මේ හතර දෙනාම මට කරණ උදවු නිසා තමයි මගේ අධ්‍යාපනය වගේම අනෙකුත් දේවල් මට කරගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් මං ස්තූති වන්ත වෙනවා එයාලගේ මග පෙන්වීම නිවැරදී නිසා තමයි මං මේ නිවැරදී ගමනක යන්නේ.
*ඔබ රංගනයට පිවිසුණේ කොහොමද?මං පෙර පාසල් යන කාලයේ ඉඳලා සහ පාසල් යන පොඩි දවස්වල පවා ඉඳලා රංගනය කියන දේට මං මාර ආසයි. අනිත් එක අපේ ගෙදර කලා පවුලක්. අප්පච්චි, අක්කා ,අම්මා එයාල කලා කාරයෝ. විශේෂයෙන්ම මගේ අප්පච්චි. අප්පචිචිගේ වේදිකා නාට්‍යය දැකලා මට ආසාව ඇති වුණා.මට මතකයි පුංචි කාලයේ අපේ අප්පච්චි "නෙයිනාගේ සූදූව" නටනවා. ඒ වෙලාව මං ඒ දිහා හොඳට බලන් ඉඳලා මං ඒක ගෙදර ඇවිත් කරණවා. ඒ වගේ අප්පච්චිගේ නාට්‍යය දැකලා මට කැසිල්ලක් තිබුණා මේ ක්ෂේත්රයට එන්න. ඒක අප්පච්චිගේ වචනයෙන් කියවයානම් "කැසිල්ල" කියලා කියන්නේ.මට ඒ සම්බන්ධයෙන් ආසාවක් තියනවා කියලා අම්මයි තාත්තයි දැනගෙන හිටියා. මං මුලින්ම මේ ක්ෂේත්රයට එන්නේ සුරිය අරණටත් කළින් off Road කියලා ජර්මන් චිත්‍රපටයකින් ඒක ලංකාවේ තිරගත වුණේ නැහැ. ජර්මන් චිත්‍රපටයක්, ඒ ජර්මන් අධ්‍යක්ෂකවරයා ලංකාවට ඇවිත් නළු නිළියෝ හොයනකොට පොඩි ළමයි තේරුව. ඒකට අප්පච්චි මාව යොමු කරා. පස්සේ මං ඒකට ගියා. එකේ තිබුණු පරීක්ෂණයකින් මං සමත් වුණා. ඊට පස්සේ තමයි සූරිය අරණ චිත්‍රපටයට මං යොමු වුණේ. සූරිය අරණ චිත්‍රපටයටත් මාව තොරගන්නේ මට අර රඟපෑමේ ආශාව තිබුණු බව අප්පච්චි දැගෙන හිටිය නිසයි . කොහොම හරි සෝමරත්න මාමා අප්පච්චිගෙන් මං ගැන අහලා තිබුණා. මට මතකයි ඒ අත්දැකීම ඒක හරිම අපූරු අත්දැකීමක්. දවසක් දා මං ගෙදර ඉන්නකොට අප්පච්චි මට කිව්වා පුතා පහළට එන්න සෝමරත්න මාමා ඇවිත් ඉන්නවා කියලා. මං ඒ වෙනකොට සෝමරත්න මාමාව දැනගෙන හිටියා සරෝජා චිත්‍රපටයේ අධ්‍යක්ෂකතුමා හැටියට. ඉතින් මං පහළට ගියාම සෝමරත්න මාමා මට කිව්වා පුතා කතාවක් කියන්න කියලා. විහිලු කතාවක් හරි මොකක් හරි කතාවක් කියන්න කියලා. මම කතා කියන්න හරිම රුසියා. සිටී ඔෆ් ඩාන්ස් එකේ ඉන්න අනිත් හැම තරඟකරුවෙකුගෙන් ඇහුවොත් කියයි මගේ කතා ගැන. ඉතින් ඒ වේලාවේ මම විහිළු කතාවක් කිව්වා ඉතින් ඒ කතාවට ඇත්තටම සෝමරත්න මාමාට හරියට හිනාගියා. ඒ කතාවෙන්ම අපි දෙන්න යාළුවෝ වුණා. ඉතින් ඒ දැවැනත්යා මගේ යාළුවෙක් බවට පත් වුණා එදා. ඊට පස්සේ සෝමරත්න මහතා මගෙන් නොයෙකුත් දේවල් අහුවා. මට පීනන්න පුළුවන්ද, මං දඟද එහෙම කියලා. කොහොම වුණත් එයාට අවශ්‍යවෙලා තිබුණේ ටිකක් දඟකාර චරිතයක්. ඉතින් ඊට පස්සේ මගෙන් නොයෙකුත් ප්‍රශ්න ඇහුවා. හැබැයි එදා මට හිතුණේ නැහැ මාව චිත්‍රපටයකට තොරගන්න එදා එහෙම කතා කළේ කියලා. ඊට පස්සේ මට කතා කළා. චිත්‍රපටයක ටේස්ට් එකකට එන්න කියලා.එදා ළමයි දහසක් විතර හිටියා ඇවිල්ලා. කොහොම හරි ඒ ආපු අයත් එක්කත් මම රඟපෑවා. ඔහොම තමයි ක්ෂේත්රයට ආවේ.
* කොහොම වුණත් මේ තාක් පැමිණි ගමන් මග ගැන ඔබ සතුටු වෙනවාද?අනිවාර්යෙන්ම මං සෑහීමකට පත්වෙනවා. මොකද මගේ ජීවිතයේ මං මවපු හීන තියනවා. මං පොඩි කාලයේ හිතුවේ කොහොම හරි මං මේ ක්ෂේත්රයට එනවා කියලා . ඒක කොහොම හරි සාර්ථක වුණා. ඊට පස්සේ ගායන ක්ෂේත්රය අතින් බැලුවොත් මං මාර කැමතියි මේ ක්ෂේත්රයට. මට ආසාවක් තිබුණා ගිටාර් එක ඒ වගේම පියානෝ එක වාදනය කරන්න ඉගෙන ගන්න. ඉතින් මං ඒ දේවල් ඉගෙන ගත්තා. ඊට පස්සේ කොළඹ ආනන්ද විද්‍යාලයට ගියාට පස්සේ කට්ටියත් එක්ක සංගීත කණ්ඩායම් හැදුවා. ඒ වගේ දේවල කළා. ඉතින් ඒ වගේ මගේ ගායන සිහිනයත් මං ඉෂ්ඨ කර ගත්තා. ඊට පස්සේ නර්තනය, නර්තනය කියනනෙත් මගේ ජීවිතයේ තිබුණු එක සිහිනයක්. පොඩි කාලේ බුදවත්ත සර්ගෙන් නර්තනය ඉගෙන ගත්තා. ඊට පස්සේ ඒ මහතාගේ නර්තන වලට එහෙන් මෙහෙන් සම්බන්ධ වුණා. මං හිතුවේ නෑ වේදිකාව මත රඟදක්වන නර්තන ශිල්පියෙකු වෙන්න පුළුවන් වෙයි කියලා. අවසානයේ ඒ හීනයත් හැබෑ වුණා. අවසානයේ මගේ අධ්‍යාපන හීනය ඒකත් සැබෑ වෙලා තියනවා.
* සිටී ඔෆ් ඩාන්ස් තරඟයේ අතීතය මොන වගේ මතකයක්ද තියෙන්නේ?සිටී ඔෆ් ඩාන්ස් තරඟයේ මට ඒ ලැබුණු කාලය මගේ ජීවිතයේ අමතක නොවන කාලයක්. මං තාවමත් ජීවත් වෙන්නේ ඒ කාලයත් එක්ක. ඇත්තටම කිව්වොත් මං ඒ තරඟයෙන් දින්නා කියන දේ නෙවෙයි මගේ මතකයේ තියෙන්නේ. ඒ ගත කරපු කාලය තමයි මගේ මතකයේ තියෙන්නේ. නර්තනය කියන දේ මං අඩියෙන් අඩිය ඉගෙන ගත්තා. සිටී ඔෆ් ඩාන්ස් තරඟයේ මං මුලින්ම නර්තනය ඉදිරිපත් කළ දවසේ. සූරිය අරණ චිත්‍රපටයේ ගීතයකින් තමයි මුලින්ම මං නර්තනයක් ඉදිරිපත් කළේ. අප්පච්චි මට කිව්වා මං ඔයාගේ කිසිම නර්තනයකට ඇඟිලි ගසන්නේ නෑ නමුත් ඔයා කරන මුල්ම නර්තනය සූරිය අරණ චිත්‍රපටයේ ඉරෙන් හඳෙන් ගීතයෙන් ප්‍රවිෂ්ඨ වෙන්න කියලා. එතකොට ඇත්තටම කියනවානම් මං ඒකට අකමැත්තෙන් කැමති වුණේ. ඊට පස්සේ ඉතින් මං ඒ දේට අප්පච්චිට කැමැත්ත ප්‍රකාශ කරලා ඒ නර්තනය කළා. කොහොම හරි ඒ නර්තනය කළාට පස්සේ ඉතා විශාල ප්‍රතිචාර ලැබුණා.
* ප්‍රසිද්ධ පුද්ගලයින්ට කටකතා හැදෙන ප්‍රවණතාවය වැඩියි. මේ සම්බන්ධයෙන් මොනවගේ අදහසක්ද ඔබට තියෙන්නේ?ඒක හොඳයි කියලයි මං කියන්නේ. මොකද කටකතා හැදිච්ච නැති කිසිම පුද්ගලයෙන් මේ ලෝකයේ ඉන්නවා කියලා මමනම් හිතන්නෙ නෑ. මොකද ඵල නැති රුකටනේ ගල් ගහන්නේ. මං කියන්නේ නෑ මං ඵල ඇති රුකක් කියලා ඒකෙන්. ඕනම රුක්ෂයක් ඵල දරාගෙන එනකොට තමයි ගල් ප්‍රහාර එල්ල කරන්නේ. ඉතින් මමත් තරුණ වයසේ ඉන්න රුක්ෂයක් විදියට පොඩි පොඩි ගල් ප්‍රහාර එල්ල වෙනවා. නමුත් මට තියන සතුට තමයි ඒ ලැබෙන කටකතාවකට දෙකකට ඇරෙන්න ඊට වඩා විශාල ජන ප්‍රසාදයක් මට ලැබෙනවා. මට ඒ ගැන හිතලා සතුටු වෙන්න පුළුවන් අර කටකතා ඔක්කෝම කැපිල යනවා ඒ ලැබෙන ජනප්‍රසාදයට.
* ආදරය ගැන මොකද හිතෙන්නේ?ජන මාධ්‍යයට තියන රසවත්ම කතාවබ තමයි ආදරය කියලා කියන්නේ.ආදරය කියන්නේ ආදරණීය දෙයක්. අපේ අප්පච්චි සහ අම්මා කවදාවත්ම මං ගෑණූ ළමයෙක් එක්ක යාලුයි කියලා බනින්නේ නැහැ. මොකද ඒකට කාරණා දෙකෙක් තියනවා. එකක් තමයි එයාලා ආදරය කරලා තියනවා. ඒක නිසා එයාලගෙන් ආදරයට කිසිදු තහංචියක් නෑ. දෙවන කාරණය තමයි එයාලා අපිව හදලා තියෙන විදියට අපි කවදාවත් වැරදි ආදරය පැටලෙන්නේ නෑ කියලා එයාලා දන්නවා. ඉතින් එයාලාගේ ඒ විශ්වාසයත් එක්කම තමයි මං අද වෙනතතුරුත් ප්‍රේම සම්බන්ධතාවයක නිරත වෙලා නැත්තේ. දැන් ඉතින් කල වයසත් හරි බලමු ඉස්සරහට.
* එතකොට ඔබට ලැබෙන සහකාරිය මොන වගේ චරිතයක් වෙන්න ඕන කියලද ඔබ හිතන්නේ?මං හොයක කෙනා මට හම්බ වුණෝත් ඒ කෙනා මගේම ගෑණු කෙනා වෙයි. එයා රංගපානව වෙන්න පුළුවන්, නර්තනය කරනවා වෙන්න පුළුවන් , ගීත ගායනා කරන, ලස්සන, ඉගෙන ගන්න මේ වගේ හැම දේම තියන කෙනෙක් මට හෙයා ගන්න පුළුවන්නම් සහ එහෙම කෙනෙක් මට කවදාහරි හම්බ වෙයි. මගේ හිතේ ඉන්න ප්‍රතිරූපය මගේ ඉස්සරහට එයා අවෝත් මං කොහොම හරි යහළුකර ගන්නවා.
* එතකොට දැන් සජිත මොන වගේ චරිතයක්?මං මෙහෙම කියන්නම් මගේ තියන දුර්වල ලක්ෂණ ගැන. හැබැයි මේ දුරුවල ලක්ෂණ හැමෝටම තියනවා. ක්ෂණික කෝපය වගේ දේවල්. ඒ කියන්නේ මට එහෙම හැම වේලේම කෙන්ති යන්නේ නෑ. නමුත් සමහර වේලාවට ඒක තියනවා. අපි හිතමු මං වගේම කෙනෙක් මට හම්බ වුණා කියලා. එතකොට මටත් කෙන්ති යනවා එයාටත් කේන්ති යනවා. එතකොට එතන අසාර්ථක ප්‍රේම සම්බන්ධතාවයක් තියෙන්නේ. මම කැමතියි සරලව කියනවානම් හරිම කූල් කෙනෙකුට. මම නම් හරිම කූල් චරිතයක්. මම සිටී ඔෆ් ඩාන්ස් එකේ ඉන්නකොටත් එහෙමයි. ඒකේ හිටපු තරු පවා මට කියන්නේ මම නම් හරිම කූල් කියලා. මොකද එයාලගෙත් මොකක් හරි ප්‍රශ්නයක් තිබුණෝත් ඒවත් මම තමයි විසඳන්නේ. මම හැම වෙලේම හිනා වෙලා ඉන්නේ සහ විහිළු කතා කියමින් ඉන්නේ. තව කෙනෙකුගේ සතුට මගේ සතුට බවට පත්වෙනවා. ඉතින් ඒ වගේ අනුන්ගේ සතුටක් තමන්ගේ සතුටක් බවට පත් වෙන කෙනෙක් ඉන්නවානම් සහ සෞන්දර්යාත්මක කෙනෙක් ඉන්නවානම් මම එයාට කැමතියි.
* සජිත හිතන්නේ ඔබ ජනප්‍රියයිද? එහෙම නැත්නම් ප්‍රසිද්ධයිද?
මේ ජනප්‍රියත්වය සහ ප්‍රසිද්ධත්වය කියන දේ ගොඩක් අය හඳුනනවා අඩුයි. මොකද ගොඩක් අය හිතනවා මේ දෙකම එකක් කියලා. ප්‍රසිද්ධ වෙනවා කියන එක ඕනම කෙනෙකුට වෙන්න පුළුවන්නේ. මේ ලෝකයේ ඉන්න ලොකුම හොරෙක්ට වුණත් වෙන්න පුළුවන්නේ ප්‍රසිද්ධත්වය. ප්‍රසිද්ධයි කියලා කියන්නේ බොහෝ දෙනා දන්නවා කියන එකනේ. එතකොට ජනප්‍රියයි කියලා කියන්නේ ජනතාව ප්‍රිය කරනවා කියන එක. ඉතින් අපි හුඟක් වාසනා කරන්න ඕන ජනප්‍රිය පුද්ගලයෙකු වෙන්න. හැබැයි ටික දෙනෙක් අතර ජනප්‍රිය වෙලා වැඩකුත් නෑ. ප්‍රසිද්ධ ජනප්‍රිය පුද්ගලයෙක් වෙනවානම් ඒක තමයි මගේ හීනය. ඉතින් දැනට ලැබෙන ප්‍රතිචාරත් එක්ක ඒ කියන්නේ අපේ රටේ ඉන්න ප්‍රවීණ කලාශිල්පීන් එක්ක නෙවෙයි, නමුත් තරුණ ශිල්පීන් අතර යම්තාක් දුරකට ජනප්‍රියයි මං. ඒ අය අතර ප්‍රසිද්ධයි මං. මං කැමති වැඩි දෙනා අතර ප්‍රසිද්ධ සහ වැඩි දෙනා අතර ජනප්‍රිය චරිතයක් වෙන්න.
* එතකොට ජනප්‍රිය වෙන්න බලපාන්නේ වාසනාවද? එහෙමත් නැත්නම් දක්ෂතාවයද?මගේ අප්පච්චි පොඩි කාලයේ ඉඳලාම වාසනා ගුණය කියන දේ අපිට පුරුදු කළේ නෑ. අපේ අප්පච්චි අපිට තරවටු කරනවා හරිම අඩුයි. වැඩි හරියක්ම බනින එක් තමයි කරන්නේ. මොකද අප්පච්චි අපිට කියලා තියනවා පුතා වාසනා ගුණය කියන දේ විශ්වාස කරන්න එපා මොකද ඒක හරිම අවසියි කියලා. කෙනෙක්ට වාසනාව ලැබෙනවා තවත් කෙනෙක්ට අවාසනාව ලැබෙනවා. අවාසනාවන්ත පුද්ගලයින්ට කරන අසාධාරණයක් තමයි අපි වාසනාවන්ත වෙනවා කියන දේ. අපේ අප්පච්චි කියන්නේ වාසනාව අපි ඇති කරගන්න ඕන කියලා. අපි යම්කිසි ඉලක්කයකට යනවානම් අනිවාර්යෙන් කැප කිරීමක් කරන්න ඕන මහන්සි වෙන්න ඕන. පිනට ලැබෙනකන් බලන්න ඉන්න එපා කවදාවත් කියන එක. ඒක නිසා මං වාසනා ගුණය කියන දේ බලාගෙන ඉන්නේ නෑ. මං උපරිම මහන්සි වෙනවා මගේ දක්ෂතා වර්ධනය කර ගන්න මගේ කලා හැකියාවන් සහ මගේ අධ්‍යාපනයන් දියුණු කර ගන්න. ඒ දේවල් භාවිතා කරලා මං ප්රතිලාභ ලබනවා. ඒ වාසනා ගුණයෙන් නෙවෙයි මගේ මහන්සියෙන් වෙන දේවල්මත.
* එතකොට රංගනයේදී ඔබ බලන්නේ මුදල් කියන වටිනාකමද එසේත් නොමැතිනම් චරිතයේ තියන ගුණාත්මක තත්ත්වයද?
ඇත්තටම කියනවානම් චරිතයේ ගුණාත්මකභාවය තමයි මං අනිවාර්යෙන් බලන්නේ. කදිම උදාහරණය තමයි අපේ අප්පච්චි. අපේ අප්පච්චිගේ සමකාලිනයෝ එක්ක බැලුවාම අප්පච්චි කරලා තියෙන්නේ චිත්‍රපට 10 ක් විතර. ඊට වඩා කරලා නෑ. අප්පච්චිගේ සමකාලිනයෝ ඉන්නවා චිත්‍රපට 100, 150 කරපු අය. නමුත් මොකක්ද මේ අප්පච්චිගේ වෙනස. වෙනස තමයි අප්පච්චි ඉදිරිපත් වුණේ ගුණාත්මක දේවල් වලට විතරයි. මුළු අවුරුද්දටම චිත්‍රපට 10ක් කරනවාට වඩා එක හොඳ චිත්‍රපටයක් කළෝත් ඒ චිත්‍රපටි 10 ම වඩා අර හොඳ චිත්‍රපටිය මිනිසුන් අතර පවතිනවා. අපේ අප්පච්චි චිත්‍රපටි 10ක් කළා කියලා කියමුකෝ ඒ චිත්‍රපටි වලින් 8 ට 9 ට විතර හොඳම සම්මාන ලැබිලා තියනවා. ඉතින් ඒක නිසා ගුණාත්මක දේවල් තමයි අලේ අප්පච්චි අගය කළේ. ඉතින් ඒක නිසා මමත් එහෙමයි ගුණාත්මක දේවල් තමයි කරන්නේ.
* පාසල් කාලය ගැනත් මතක් කරමු? මං මුලින්ම ගියේ ශාන්ත ජෝසප් විද්‍යාලයට. මං සාමාන්‍ය පෙළ දක්වා ඉලෙන ගත්තේ ඒ පාසලේ. ඊට පස්සේ මං කොළඹ ආනන්ද විද්‍යාලයට ගියා. ඉතින් පාසල් කාලය කියන්නේ කවදාවත්ම අමතක වෙන්නේ නැති දේයක්. ඉතින් හරිම දුකක් ඇති වෙනවා අනේ ඒ කාලය ඉවරයි නේද කියලා. මගේ පාසල් කාලයත් ඒ වගේම තමයි හරිම සුන්දර කාලයක්. කටුක අවස්ථාත් තිබුණා. හැබැයි ඉතින් සුන්දර කාල තමයි වැඩියි.
* මේතාක් පැමිණි දුර තුළ ස්තූති කරන්න අය ඇති ඒ ගැනත් මතක් කරමු?මගේ ජීවිතයේ මට ලැබිලා තියන උදවු මට කටින් කියලා ඉවර කරන්න බෑ. මට සිටී ඔෆ් ඩාන්ස් තරඟයේදී ජයග්‍රහණය ලැබුණානේ. ඒ වෙලාවේ වෙච්ච එකම අඩුව තමයි මට මගේ ස්තූති කතාව ඉවර කරන්න ලැබුණේ නෑ. මොකද මං මගේ ස්තූති කතාව කරගෙන යනකොට ලැබිච්ච කාල සීමාව ඉවර වුණා. ඒක නිසා මට හැමෝටම ස්තූති කරන්න හම්බ වුනේ නෑ. ජීවිතයේදී ගත්තෝත් විශාල පිරිසක් ඉන්නවා මට උදවු කරපු. ඉතින් ඒක නිසා දැන් මම නම් වශයෙන් කිව්වෝත් අයිත් වරදිනවා. ඒක නිසා මං මේහෙම කියන්නම්. මං මේ ඉන්න තැනට එන්න මට ගොඩක් අය උදවු කරලා තියනවා. මගේ අම්මා, අප්පච්චි, අයියා, අක්කා ප්රමුඛ මගේ යහළුවෝ පිරිස ඒ වගේම මගේ ගුරුවරු. හැමදේනාම. මං හැම දෙනාටම ස්තූති වන්ත වෙනවා. මොකද එයාලා නිසා තමයි මං අද මේ ආලින්දයේ මේ තැන ඉන්නේ. ඉතින් ඒ මට කරපු උදවු වලට අනිවාර්යෙන් මං ප්‍රති උපකාරයක් කරනවා සහ ප්‍රති ගෞරවයක් කරනවා.ඒ මං හොඳ කලාකාරයෙක් වෙලා.ඒ නිසා හැම දෙනාටම ස්තූතිවන්ත වෙනවා මට උදවු කරපු.