Back to Top

දිනේශ් වීරයාගේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය

March 6, 2012  

දිනේශ් වීරයාගේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය


අවසානයේ දී ජනහිතකාමී රජයක ප‍්‍රජාතන්ත‍්‍රවාදය යටතේ දෙවන කම්කරුවා ද සිය සගයන්ගේ කර මතින් නිහඬවම අවසන් ගමන් ගියේ ය. ඒ කටුනායක රොෂේන්ගේ අවමඟුල පරිදිම විවිධ ඍජු හා වක‍්‍ර බාධා පැනවෙද්දී ය. ඒ අතරේ ඊට ටික දිනකට පෙර එවැනිම බාධා මැද තවත් අවමඟුලක් පයාගල ප‍්‍රදේශයේ දී ද සිදු කෙරිණි. ඒ ප‍්‍රදේශයේ බලවත් දේශපාලකයකුගේ ඥාති පුත‍්‍රයකු විසින් පදවන ලදැයි චෝදනා එල්ල වූ වාහනයක ගැටී මියගිය අයකු වෙනුවෙනි. දැන් අපේ සුපිරිම සුපිරි ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහංචිය මත දිවෙන ප‍්‍රවණතාව කොයිතරම් දුරට දිවගොස් ඇත් දැයි කිවහොත් වැළලීමේ නිදහස ද අපට අහිමිව ගොසිනි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය යටතේ එහි පුරවැසියාට සිය අදහස් පළ කිරීමට විරෝධය දැක්වීමට ඇති ඉඩප‍්‍රස්තා සියලූම සමාජ සංස්ථාවන් ඉදිරියේ අහිමි වන විට අපි අත්විඳිනා ඊනියා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අලූත් නමක් සොයාගැනීමට අපට සිදුව තිබේ.
දැන් අප ඉදිරියේ ඇති පාලකයන් විසින් නිර්මිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය යටතේ ක‍්‍රියා කළ යුත්තේ කෙසේ දැයි රජයේම ප‍්‍රබලයෙක් අපූරු මාර්ගෝපදේශ සපයන අයුරක් පසුගිය 21 දා ලංකාදීප පුවත්පතේ දක්නට ලැබුණි. එය මෙපරිදි ය.
"ප්‍රජාතන්ත‍්‍රවාදීව, නීත්‍යානුකූලව විනයක් ඇති විරෝධතා කිසිවක් සමඟ ගැටෙන්නට බලාපොරොත්තුවක් ආණ්ඩුවට නෑ. කලබලකාරී තත්ත්වයක් ඇති කිරීමෙන් රජය අප‍්‍රසාදයට ලක් කිරීමට බලා සිටිනා අය ඉන්නවා. මේවායේ සිදුවන දේවල් රටට ලෝකයට කියන්නට ජනමාධ්‍ය නිදහස තියෙනවා. පාරට බහින්න අවස්ථාව තිබෙනවා.ඒවාට අනුගමනය කළ යුතු පිළිවෙතක් තියෙනවා. ඒ පිළිවෙත් අනුගමනය නොකළොත් රට අරාජික වෙනවා.
අරාජික රටකට සංචාරකයන් එන්නෙ නෑ. අරාජික රටක ආයෝජන කරන්නෙ නෑ. ගිය අවුරුද්දේ අහිමි වූ දේ දිනාගෙන ඉක්මනින් දියුණුවට ගමන් කළ හැකි මාර්ගයේ යාමේ වගකීම අප සතුව තියෙනවා. එකඟවෙන්න බැරි දේ ඇති. අපත් සමඟ එකඟතාවෙන් වැඩ කරන අය විපක්ෂයේ ඉන්නවා. එවැනි අර්බුධ විපක්ෂයටත් තියෙනවා. එහෙත් විනයකට ප‍්‍රජාතන්ත‍්‍රවාදීව කෙරෙන අදහස් දැක්වීමේ විරෝධතා ව්‍යාපාර අවිහිංසාවාදී ජනතා ව්‍යාපාරවලට ඉඩ තියෙනවා. ඒ ඉඩ තිබිය යුතුයි."

ඉහත දැක්වෙන්නේ 56 පෙරළියට (මේ 56 පෙරළියේ ප‍්‍රතිඵල දැන් අප භුක්ති විඳින ආකාරය වෙනම කළ යුතු කතාවකි.) අවුරුදු 56 ක් පිරීම නිමිත්තෙන් මහජන එක්සත් පෙරමුණේ නායක දිනේශ් ගුණවර්ධන නම් ජනතා නියෝජිතයා ආණ්ඩුවේ ප‍්‍රබලම නියෝජිතයකු ලෙස දක්වන ලද අදහස් ය. ඔහු මේ කතා කරන්නේ ද මැඩගස්කරයේ, අයිස්ලන්තයේ හෝ හිමාලයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ගැන නොව ශ‍්‍රී ලංකාවේ, අපේ දහම් දිවයිනේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව ය.

 එහෙත් ඔහුම මහ ඉහළින් වර්ණනා කරන පංචමහා බලවේගයෙන් එක් පෙරමුණක් වන සඟ බලවේගය නියෝජනය කරන ප‍්‍රබල හිමිනමක් වන බෙල්ලන්විල විමලරතන නා හිමියන් එම පුවත්පතේම ප‍්‍රකාශයක් පළ කරමින් වදාරනුයේ ජනතාව මත බර පැටවීම සඳහා රජය ගත් පියවර කෙරේ තමන් වහන්සේගේ අප‍්‍රසාදයයි.

අපේ දිනේශ් ගුණවර්ධන සුධීමතාගේ ප‍්‍රකාශ දකිනා සැම විටකම මගේ සිතේ ඇඳෙන අපූරු චිත‍්‍රයක් තිබේ. එය අයිති 87 වසරයට ය. දිනය වශයෙන් කිවහොත් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ දිනයට ය. ස්ථානය පිටකොටුවේ ඓතිහාසික බෝ ගසයි. මුළු පිටකොටුවම වැසෙන්නට ගලා ආ ජන ගඟ මැද බෝගස අසල සරසවි සිසුන් තරුණයන් සමඟ බිම හිඳ සිටින කිහිප දෙනෙකි. ඒ අතර සිරිමාවෝ මැතිනිය, අනුර බණ්ඩාරනායක මෙන්ම අපේ කතා නායක තෙමේ ද සිටියි. එදා සිදු වූ දේ ගැන මෙහි අමුතුවෙන් ලිවිය යුතු නැත. එසේම 87 මැයි පළමුවෙනිදා කම්කරු දිනය තහනම් කිරීමට එරෙහිව සංවිධානය කෙරුණු රැස්වීම පැවති අභයාරාමයේ ද ඔහු ඉදිරියෙන් ම සිටියේ ය.

ඒ කම්කරුවන්ට වෙඩි පහර එල්ල වූ දිනයයි. ඉදින් මෙදා එලෙසම වීදි බට කම්කරුවන් දෙදෙනකුට වෙඩි පහරින් ත්‍යාග දුන් රජයක ප‍්‍රබල සාමාජිකයකුව සිටිමින් අපට ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ විරෝධතා මාදිලි පිළිබඳව උපදේශනයන් සපයන්නේ එවන් අතීතයක් හිමි ජන නායකයෙකි. අහා! කාලය කෙතරම් සොඳුරුද!
අපේ ගරු දිනේශ් ඇමතිතුමා අපට අවිහිංසාවාදී ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙමින්
විරෝධතා ව්‍යාපාර පවත්වන ආකාරය පිළිබඳ උපදෙස් දෙයි. එහෙත් වීදියේ නොව පාර්ලිමේන්තුව තුළ පවා එවන් විරෝධතාවලට අයිති වෙන ඉරණම ගැන එතුමා නොදන්නා සෙයකි.

ආණ්ඩුවේ ආරක්ෂාව වෙනුවෙන් මයික් ඇඹරී යන තරමට සද්දෙන්
බෙරිහන් දෙන එතුමාගේ රුව අපට රූපවාහිනියෙන් දැක  පුරුදු ය. එතුමාලා සියලූ සෙල්ලම් පෙන්වන මැති සබය තුළ ජනතා නියෝජිතයන්ටම සලකන ලබන ආකාරය අපට දැක ගැනීමට ලැබී ඇත්තේ වරක් දෙවරක් නොවේ. ජනතා නියෝජිතයන්ට තිරශ්චින ලෙෂ පහර දුන්, ඔවුන්ගේ අංගෝපාංග සම්භාහනය කරන ලද අවස්ථා ගණන කෙතරම් ද! වරක් අපේ ගරු මන්ත‍්‍රී හිමිනමකට එවන් අතවරයක් විඳ රෝහල් ගත වන්නට වැඩ සැලසුණේ ද අපේ මැති සබය තුළදීම ය. එසේම දිනේශ් මැතිතුමා ද එම පාර්ලිමේන්තුවේ ප‍්‍රබලයෙක් ලෙස සිටියදීම ය. ඉදින් එවන් මැති සබයක් උරුම රටක, එළියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව කවර කතාද?

ඇමතිවරයා මෙහිදී තවත් වැදගත් දෙයක් පවසයි. ඒ අවිහිංසාවාදීව ප‍්‍රජාතන්ත‍්‍රවාදීව අරගල කරන විට රජය ඒ කෙරේ විරෝධයක් නොදක්වන බවයි. දැන් මෙහිදී අපට පැන නඟින ප‍්‍රශ්නය වනුයේ මේ අරගල වල ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අවිහිංසාවේ මාත‍්‍රාව තීරණය කරන්නේ කවුද යන්නයි. විරෝධතා පෙළපාලියක් පිළිබඳ අදහස එන විටම ඉන් ජන දිවියට බාධා පැමිණේ යැයි අධිකරනයට කරුණු ඉදිරිපත් කර වාරණ නියෝග ලබා ගන්නා පොලිසියක් ඉන්නා රටක එම පොලිසිය විසින්ම පුරවැසියන්ට විරෝධතාවල දී වෙඩි තබනු ලබන විටක, යුක්තිය ඉටු කිරීමේදී පක්ෂග‍්‍රාහී වන බව ඔවුනට චෝදනා එල්ලවන පසුබිමක, ඔවුන් ද ඇතුළු මර්ධන උපකරණ විවිධ ජනතා විරෝධතාවන් මැඩපවත්වත්දී ඇමතිතුමා කියන ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා අවිහිංසාව නැත්තේ කොයි පැත්තේ දැයි ආපසු හැරී බැලියයුත්තේ ඔහුම මිස අප නොවේ.

දිනේශ් ඇමතිතුමාගේ ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රියාත්මක වන අපූරුව පිළිබඳව අපට හොඳ අත්දැකීම් තිබේ. ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව තාර පාරට බසිනා විපක්ෂයට කඳුළු ගෑස්, බැටන් ප‍්‍රහාර එල්ල කරන රජය, තමන්ට සහය පළ කරමින් කිරිබත්ගොඩ දී තාර පාරටම බසිනා සිය පාක්ෂිකයන්ට එරෙහිව කිසිත් නොකරයි. රජයට එරෙහිව කෙරෙන උද්ඝෝෂණයට කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටට ඒමට නොදී තහනම් නියෝග ගන්නා රජය එදින එම වෙලාවටම තමුන්ගේ හෙංචයියලාට පාර බදු දෙයි. ඉදින් රජයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සුපිර බව වටහා ගැනීමට මේ උදාහරණ දෙකම නොසෑහෙයිද?
රජයට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ අහිංසක ලෙස විරෝධතා දක්වන මෙන් ජනතාවට උපෙදස් දීමට දිනේශ් ඇමතිට පමණක් නොව රජයේ සෑම කෙරුමෙකුටම අයිතියක් තිබේ. එහෙත් අප දන්නා දෙය වනුයේ දිනේශ් ඇමතිවරයාගේ මේ ප‍්‍රකාශය කෙසේවත් අවිහිංසාවාදී හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන බවයි. මැතිසබය තුළ විපක්ෂයෙන් අසනු ලබනා ප‍්‍රශ්නවලට අවශ්‍ය නම් අපට පිළිතුරු නොදී සිටිය හැකි යැයි ආණ්ඩුව පාර්ශ්වයෙන් වගාඩම්බරයෙන් පවසනු ලබන කලක එළියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කවර
කතාද? ආණ්ඩුවට එරෙහි විරෝධතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී විය යුතු බවට විවාදයක් නැත.

එහෙත් ඊට පෙර ආණ්ඩුවම ප‍්‍රජාතන්ත‍්‍රවාදී විය යුතු නැතිද? පසුගිය කාලය පුරාම ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පටහැනි ලෙස කටයුතු කළ අකාරය ගැන උදාහරණ බහුල ය.ඔවුන් දහඅටවැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා කටයුතු කළ ආකාරයම ඊට හොඳ නිදසුනකි. එසේම මහජන සේවකයන් ගස් බැඳීම, භාරත ලක්ෂ්මන් ඝාතනය ද අවශ්‍ය නම් සිහිපත් කර ගත හැකි ය. මේ කිසිම සිදුවීමක දී අපට දිනේශ් ඇමතිවරයාගේ සිහිනද අසන්නට ලැබුණේ නැත. ඔහු ඒ සෑම විටකම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස නිහඬව සිටීමේ පිළිවෙත අනුගමනය කළේ ය. දහ අටට හද බැතියෙන් අත එසවූයේ ය. එහෙත් අසූව දශකයේ ජේ.ආර්.-පේ‍්‍රමදාස පාලන සමයේ දී මේ හා සමාන සිද්ධිවල දී ඔහු උන්නේ අද විපක්ෂය ඉන්නා ස්ථානයේ ම ය. අහා! කාලය කෙතරම් නපුරුද!

දිනේශ් ඇමතිතුමා සිය සම්මුඛ සාකච්ඡුා තුළ තවත් වැදගත් ප‍්‍රකාශයක් කරයි."මේවාගේ සිදුවන දේවල් රටට ලෝකයට කියන්නට ජනමාධ්‍ය නිදහස තියෙනවා."ඔහුගේ ප‍්‍රකාශයට තෙවරක් හුරේ දමමින් අපට අසන්නට ප‍්‍රශ්නයක් තිබේ. ලසන්ත වික‍්‍රමතුංග ඇතුළු සිංහල හා දමිළ මාධ්‍යවේදීන් ගණනාවක් පරලොව ගියේ, පෝද්දල ජයන්ත ඇතුළු තවත් පිරිසක් පහර කා රට හැර ගියේ ඇමෙරිකාවේ හෝ තූත්තුකුඩියේ සිදුවන දේවල් වාර්තා කිරීමට, ඒවා ගැන විග‍්‍රහ ලිවීමට යාම නිසාද? සියලූ වරප‍්‍රසාද භූක්ති විඳිමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අයිතිය ගැන ප‍්‍රශස්ති ගැයීම ඉතා ලෙහෙසි ය.
එහෙත් අමාරු වන්නේ පවත්නා යථාර්ථයට මුහුණ දීමයි. විශේෂයෙන්ම තමන් ද එහි කොටස්කරුවකු වන විට.

ඉදින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගල මාදිලි පිළිබඳව ජනතාවට පාඩම් කියා දීමට සැරසෙන ගරු ඇමතිතුමාගෙන් අපට ඉල්ලා සිටීමට ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉල්ලා තමන් සටන්වැදි මෑත ඉතිහාසය දෙස විවේක බුද්ධියෙන් බලන ලෙසට ය. එම අවධියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා දියත් කෙරුණ සටන තුළ තමා උරුම කරගත් ප‍්‍රසාදය හා ගරුත්වය හරහා ළඟා කරගත් දේශපාලන බලය තුළ වර්තමානයේ තමන්ම පිහිටුවාගෙන ඉන්නා ස්ථානය ද එලෙසින්ම කල්පනා කර බලන ලෙසට ය. සියලූ දෑ මනාව පාලනය කර ගැනීමට සමත්ව ඉන්නා තාක් තම පාලනය ඉතා ජනතාවාදී යැයි කල්පනා කිරීමට පාලකයන්ට නිදහස තිබේ.

 එහෙත් ඒ සමඟ ම ඔවුන්ගේ පාලනය කෙරේ ජනතාව තුළ ගොඩනැගෙනා විරෝධය තේරුම් නොගැනීම හෝ ඊට වුවමනාවක් නොදැක්වීම මත
තමන්ට වරෙක හිමිව තිබූ කීර්තිය කෙලෙසා ගන්නේ නම් එය ද ඔවුන්ගේම වැඩකි.පාලකයා සැම විටම ජනතාව ඔවුන් දෙස බලා"ඔබේ සැප මගේ සතුටයි. මුතු බිහිකරලා අනුනට බෙදනා මුතු බෙල්ලකු සේ අද මා ඉන්නේ" යනුවෙන් ගයා පැවතිය යුතු යැයි සිතයි. එහෙත් බොරලූගොඩ සිංහ පරපුර ගැන අභිමානවත් වන එසේම වරෙක ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් සටන්වැදි දිනේශ් ඇමතිවරයාට නම් යළිත් කල්පනා කර බැලිය යුතු තවත් ගීතයක් තිබේ.
"කුසගිනි හැදුනට ඉඳුල් නොකව් තණ කොළ නුබුදිති සිංහ පැටව්"


-නුවන් උදය වික‍්‍රමසිංහ


MOST VIEWED VIDEO STORIES

MORE >>