Back to Top

තොටුපළට ගිහින් ධීවරයින් හමුවෙන්න ජන අරගල කණ්ඩායම තීරණය කරයි

March 4, 2012  


ඉන්ධන මිල ඉහළ යාමට සහ හලාවතදී සිදු වූ ධීවර ඝාතනයට එරෙහිව බොහෝ දෙනා විරෝධතා ව්‍යාපාර සිදු කරද්දී ජන අරගල ව්‍යාපාරය ධීවරයින් අතරට යාමට තීරණය කළා. පෙබරවාරි 23 වැනිදා රැස් වූ ජන අරගල ව්‍යාපාරයේ ජාතික මෙහෙයුම් කමිටුව තීරණය කළේ රට පුරා සියලූ ධීවරයින් සංවිධානය කළ යුතු බවයි.

චමීර කොස්වත්ත මහතා-
ඇති වෙලා තිබෙන තත්ත්වයට විරුද්ධව විරෝධතා ව්‍යාපාර පවත්වන්නත්  ඕන. ඒත් වැඩියෙන්ම වැදගත් වෙන්නේ ගැටලූවට මුහුණ දීලා ඉන්න බලවේග සංවිධානය කිරීම. ධීවරයින් විවිධ ප‍්‍රදේශවල වෙන වෙනම සංවිධානය වෙලා තිබෙනවා. ඒත් ඒ සියලූ දෙනා ඒකාබද්ධ කරපු වැඩපිළිවෙළක් නැහැ. දැන් එවැනි අවශ්‍යතාවක් මතු වෙලා තිබෙන නිසා අපට පුළුවන් ඊට මැදිහත් වෙන්න.

පුබුදු ජයගොඩ මහතා-
ධීවරයින් තමන්ගේ වෘත්තීය ප‍්‍රශ්න වෙනුවෙන්, ඉල්ලීම් දිනා ගන්න සංවිධානය කරන්න පුළුවන්ව. ඒ අතරේ අපි ඔවුන්ට දේශපාලන දැනුම ගෙන යන්න  ඕන. මේ සටනින් ඉන්ධන සහන දිනා ගත්තත් ප‍්‍රශ්නය කෙළවර වෙන්නේ නැහැ. ප‍්‍රශ්නය වෙනත් මුහුණුවරකින් නැවත එනවා. ඒ යථාර්ථය ධීවරයාට කියා දෙන්න  ඕන.

වරුණ රාජපක්ෂ මහතා-
ඔව්! ධීවරයා විතරක් නොවෙයි, ධීවරයාගේ ප‍්‍රශ්නය සමග අනෙකුත් බලවේගවල ප‍්‍රශ්නත් එකතු කරන්න  ඕන. එතකොට තමයි හැමෝම තේරුම් ගන්නේ මේක තමන්ට විතරක් තියෙන ප‍්‍රශ්නයක් නෙවෙයි, තමන්ගේ ක්ෂේත‍්‍රය ඇතුළේ විතරක් මේ ප‍්‍රශ්නවලට උත්තර සොයන්න බැහැ, ප‍්‍රශ්නය තිබෙන්නේ පවතින සමාජ ක‍්‍රමයේ කියලා.
පළමු පියවර ලෙස ධීවරයින් හමුවී සාකච්ඡා කරන්නත්, ඒ සාකච්ඡාව සඳහා දේශපාලන පක්ෂ නියෝජිතයින්ද සහභාගි කර ගන්නත් තීරණය කළා. ජන අරගල ව්‍යාපාරය ඒ වන විටත් ධීවරයින් අතර වැඩ කරමින් සිටි නිසා ඉක්මනින්ම සාකච්ඡාව සූදානම් කර ගැනීමට හැකි වුණා. ඒ අනුව 26 වැනිදා මීගමුව"දිනිඳු"ගාඞ්න්හිදී සාකච්ඡාව පැවතුණා.


අජිත් කුමාර මහතා
ආණ්ඩුව වෙඩි තියලා මරා දාපු ඇන්ටනී සහෝදරයාට සාධාරණයක් ඉටු කරන්න පුළුවන් වෙන්නේ මේ සටන අතර මග නතර නොකර ජයග‍්‍රහණය දක්වා ගෙන යනවා නම් විතරයි. ඉන්ධන ප‍්‍රශ්නය දැනෙන්නේ ධීවරයාට
විතරක් නොවෙයි, ඉන්ධන මිල වැඩි නිසා බස් ගාස්තු ඉහළ දැම්මාම ඒක මගියාටත් දැනෙනවා. ඒ නිසා මේක එක පිරිසකගේ ප‍්‍රශ්නයක් නොවෙයි, සියලූ දෙනාගේම ප‍්‍රශ්නයක්. ඒ නිසා සියලූ බලවේග මෙතනට ඒකරාශී කරන්න  ඕන.

සුරේන්ද්‍ර අජිත් මහතා-
ජනතාව පීඩාව දරා ගන්න බැරිව උද්ඝෝෂණ කරන කොට ආණ්ඩුව මිලිටරි බලය යොදවනවා. ඊට විරුද්ධවත් අරගල කරන්න  ඕන.

වරදාස් මහතා-
උතුරු නැගෙනහිර ධීවරයින්ට විශේෂ ප‍්‍රශ්න තිබෙනවා. ඉන්දියාවේ ධීවරයින් ඇවිත් මාළු අල්ලගෙන යනවා, ආණ්ඩුව මොනවත් කරන්නේ නැහැ. ඒ නිසා අපි මේ වගේ සාකච්ඡා ඒ පළාත්වල සියලූම ධීවර සමිති එකතු කර ගෙන කරන්න  ඕන. අපි උතුරු පළාතේත්, නැගෙනහිර පළාතේත් මේ වගේ සාකච්ඡා කරන්න  ඕන.

ලොයෙල් පීරිස් මහතා-
හැමෝම උද්ඝෝෂණ කරනවා. ඒත් ඔය ගොල්ලෝ විතරයි මෙහෙම ධීවරයින් අතරට ඇවිත් ධීවරයින් සංවිධානය කරන්න ඉදිරිපත් වුණේ. අපි හැම තොටුපළක් ගානේම ගිහින් ධීවරයින් දැනුවත් කරන්න  ඕන.
සාකච්ඡාව අවසන් කළේ, රට පුරා සියලූම ධීවර වරායන් හා තොටුපළවල්වල ධීවරයින් දැනුවත් කිරීම සඳහා පත‍්‍රිකාවක් බෙදීමටත්, කටුනායකදී රොෂේන් චානක ඝාතනය කිරීමට විරුද්ධව මාර්තු 1 හා හලාවතදී ඇන්ටනී ඝාතනය කිරීමට එරෙහිව මාර්තු 15 වැනිදා සත්‍යග‍්‍රහ පැවැත්වීමටත් එමෙන්ම ධීවර නියෝජිතයින් හා අනෙකුත් ක්ෂේත‍්‍රවල නියෝජිතයින් අතර පොදු සාකච්ඡා පැවැත්වීමටත් තීරණ ගනිමින්.

MOST VIEWED VIDEO STORIES

MORE >>