Back to Top

එහෙන් කියන එකමයි මෙහෙන් කියන්නේ..

March 4, 2012  


ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය 29 වෙනි දින පැලවත්ත කාර්යාලයේදී රැස්වූ අතර විශේෂයෙන් අවධානයට ගැනුණේ, ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් සැසිය පිළිබඳවත් ආණ්ඩුව විසින් ගෙන යන බොරු දේශපේ‍්‍රමී උද්ඝෝෂණ පිළිබඳවත්ය.

මුලින්ම සාකච්ඡාවට එකතු වුණේ ලාල්කාන්ත මහතාය-‘‘ආණ්ඩුවේ උද්ඝෝෂණවලට යොදා ගත්තේ රජයේ සේවකයෝ. සමෘද්ධි නිලධාරීන්, ග‍්‍රාම සේවකයින්, තෙල් සංස්ථාව, වරාය අධිකාරිය ඒ වගේම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රජයේ ආයතන සියල්ලම මේ බොරු දේශපේ‍්‍රමී උද්ඝෝෂණවලට යොදාගත්තා. ඒ වගේම තමයි ජනාධිපති ලේකම් කාර්යාලය මට්ටමින් දැනුම් දීලා විශේෂයෙන්ම අවධාරණය කරලා තිබුණා කියලා අපට වාර්තා වුණා. මෙම කි‍්‍රයාමාර්ගවලට එකතු වෙන්න කියලා. මේක එක පැත්තකින් රාජ්‍ය සේවකයන්ට කළ අනියම් බලපෑමක්."

"අනුර සේනානායක කියල තිබුණා ප‍්‍රධාන නගරවල ජනතාවට අපහසුවන ආකාරයෙන් උද්ඝෝෂණ, පෙළපාලි යන්න දෙන්න බෑ කියලා. නමුත් ආණ්ඩුව උද්ඝෝෂණ කරන කොට පොලිසියේ මහත්වරු යස අගේට ආරක්‍ෂාවත් දුන්නා." අනුර දිසානායක මහතා කියා සිටියා.

මේ අවස්ථාවේ කතාබහට එක් වූයේ ටිල්වින් සිල්වා ප‍්‍රධාන ලේකම්වරයායි. "විපක්‍ෂයට එක නීතියක්. ආණ්ඩුවට තවත් එකක්. ඒකයි අපි කියන්නේ නීතියේ ආධිපත්‍ය කඩා වැටිලා කියලා. ඉතිං ආණ්ඩුව ඒ දේවල් ලෝකයට ඔප්පු කරලා පෙන්නනවා. පස්සේ කෑ ගහනවා විදේශීය බලපෑම් කියලා. ආණ්ඩුවම තමයි ඒවට ඉඩ හදලා දෙන්නේ. ආණ්ඩුවේ පෙළපාලි ගියේ ඇමරිකාවට විරුද්ධව. නමුත් 27 වෙනිදා මහින්ද සමරසිංහ මහත්තයගේ කතාවෙදි කියනවා එල්.එල්.ආර්.සී නිර්දේශ ඔක්කොම කි‍්‍රයාත්මක කරනවා කියලා. දැනටමත් හමුදාවේ විමර්ශන අධිකරණයක් පටන්ගෙන තියෙන්නේ කියලා. ඒ නිසා ඇමරිකාවේ යෝජනාව ගේන්න අවශ්‍ය නැහැ කියලා."
 
මහින්ද සමරසිංහ මහතා මානව හිමිකම් සමුළුව අමතා කළ කතාවේ පිටපතක් සමගින් මෙම සාකච්ඡාවට කරුණු ඉදිරිපත් කළේ පක්‍ෂ නායක සෝමවංශ අමරසිංහ මහතායි."මහින්ද සමරසිංහගේ කතාවේ පිටපත තමයි මේ තියෙන්නේ. ඒ කටයුතු ඉදිරියට කරගෙන යන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහායත් ඉල්ලා තිබුණා. මෙහෙ පෙළපාලි යනවා අනවශ්‍ය බලපෑම් එපා කියලා. නමුත් මහින්ද සමරසිංහ එහෙදි ඉල්ලනවා මැදිහත් වෙන්න කියලා. මේක හතරබිහිරි කතාවක්. මේකේ පැහැදිලිව තියෙනවා එල්.එල්.ආර්.සී නිර්දේශ පිළිගන්නවා කියලා. ඉතිං ඒකේ තියෙනවා බලය බෙදන යෝජනාත්. ඒ කියන්නේ ආණ්ඩුව පැහැදිලිව පිළිගන්නවා බලය බෙදනවා කියන යෝජනාත්. ඇත්තටම ගත්තොත් ඇමරිකාව කියන කතාවත් මහින්ද සමරසිංහ කියන කතාවත් එක සමානයි. හරි පැහැදිලියි දොගොල්ල එහේ සහයෝගයෙන් වැඬේ කරනවා කියලා. මෙහෙ බොරුවට පෙළපාලි ගිහින් උද්ඝෝෂණ තියලා මිනිස්සු රවටනවා. මැදිහත්වෙන්න ආරාධනා කරනවා. මැදිහත් වෙන්න එපා කියලා උද්ඝෝෂණ කරනවා. අනෙක් කාරණය තමයි රජීව් විජේසිංහ මහතා බි‍්‍රතාන්‍යයේ ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පතට කියලා තිබුණ කතාව. ඒක අපි සැලකිල්ලට ගන්න  ඕන කාරණයක්. එතුමා කියලා තිබුණා ලංකාවේ ආණ්ඩුවට ඇමරිකාවේ රාජ්‍යතාන්ත‍්‍රිකයෙකු ඇගිල්ල දික්කරන්න  ඕන දෙයක් කරන්න කියලා. ඒ කියන්නෙම ආණ්ඩුවේම අය පිළිගන්නවා මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව කොයිතරම් ගැතිද කියලා. එතුමා තව දෙයක් කියලා තිබුණා. මේ ආණ්ඩුවේ විදේශ අමාත්‍යාංශය මොනව කරනවද කියලා එයා දන්නේ නැහැ කියලා. එමෙන්ම ආණ්ඩුව යුද්ධයෙන් පස්සේ කරන්න තිබුණ දේවල් කළා නම් අද මේ තත්වයන්වලට මුහුණ දෙන්න වෙන්නේ නැහැ කියලා. එතුමාගේ ඒ අදහස් අපි 2009 ඉදිරිපත් කරපු ඉදිරි වැඩපිළිවෙලෙහි තබුණ කරුණු. ඒ නිසා අපි මීට අවුරුදු කීපයකට කලින් දැකපු දෙවල් දැන් දැන් ආණ්ඩුවේ අයම පිළිගනිමින් ඉන්නවා."

"ඒ විතරක් නෙවෙයි මේ තියෙන්නේ පාර්ලිමේන්තුවේ දී රනිල් වික‍්‍රමසිංහ මහත්තයා එල්.එල්.ආර්.සී එක ගැන කරපු කතාව. මේ කියන කතාවේ තියෙන්නේ ඇමරිකාව කියන කතාවමයි. කිසි වෙනසක් නැහැ. මහින්ද සමරසිංහ කියන්නෙත් ඒකමයි. බලන් යනකොට ඔක්කොම කියන්නේ එකම කතාවක්. ඒකට කියයිද දන්නේ නැහැ මහින්ද සමරසිංහ එජාපයෙන් ආව කෙනෙක් නිසා එහෙම කියනවා කියලා."විජිත හේරත් මහතා කියා සිටියේය.

"හරි පැහැදිලියි. අයිඑම්එෆ් බලපෑම්වලට තෙල් මිල වැඩිකලා. රුපියල අවප‍්‍රමාණ කළා. දැන් ඇමරිකාවේ පදයට නටනවා. එල්.එල්.ආර්.සී එක පත් කළෙත් හිලරි ක්ලින්ටන්ගේ යෝජනාවක් අනුවයි. කොන්ග‍්‍රස් එකේ මන්තී‍්‍ර වරු 38ක් යෝජනාවක් ඉදිරිපත් කළා. ඒකට අනුව හිලරි ක්ලින්ටන් කිව්වා ලංකාවට කමිටුව පත්කරන්න කියලා. ආණ්ඩුව කළා. ඇමරිකාවයි ආණ්ඩුවයි එකඟතාවෙන් මේ දේවල් කරන්නේ. අද තෙල් මිල, බස් ගාස්තු, විදුලි ගාස්තු වැඩි වෙච්චි එකට ජනතාව පාරට බැස්සා. ධීවරයෙක් ඝාතනය කළා. ඒව යට ගහන්න බොරු පෙළපාලි උද්ඝෝෂණ පවත්වනවා. අපි ඒකට ඉඩ දෙන්න හොඳ නැහැ. මේ සම්බන්ධයෙන් රට දැනුවත් කරන්න  ඕන."ටිල්වින් සිල්වා මහතා කරුණු ඉදිරිපත් කළේය.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවක් පැවැත්වීමටත්, දිස්ති‍්‍රක් මට්ටමින් සිදුකරන උද්ඝෝෂණ ඉදිරියට ගෙන යාමටත්  තීරණය විය. ඊට අමතරව මාර්තු 05 වෙනිදා සියලූ ක්ෂේත‍්‍රවල බලවේග එකතු කරමින් දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමටත් තීරණය විය. තවද ආණ්ඩුව සහ අයි.එම්.එෆ් අතර එකඟතා රටට හෙළි කිරීම සඳහා ප‍්‍රසිද්ධ සම්මන්ත‍්‍රණයක් සංවිධානය කිරීමට ජවිපෙ දේශපාලන මණ්ඩලය විසින් තීරණය කරන ලදී.
 



MOST VIEWED VIDEO STORIES

MORE >>