උන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ අපේ ප්‍රජාතන්ත්‍රවාදය
February 20, 2012
බොහෝ සුබසාධක ආපන ශාලාවල උදෑසන මෙන්ම දිවා ආහාර වේලාවල දී දක්නට ලැබෙන එක් හොදි බඳුනක් තිබේ. එය බොහෝ විට දමා ඇත්තේ ලොකු බේසමක ය. පැහැයෙන් එය දිලිසෙන තෙල් මුසු රතු පාට ය. උදෑසන කෑමට පාන්, ඉඳිආප්ප, වැනි කවරක් හෝ මිලට ගන්නා පාරිභෝගිකයා වේවා දහවල් ආහාරයට බත් මිලට ගන්නා පාරිභෝගිකයා වේවා මේ බඳුන අසලට ආ විට සැමදාම සුපුරුදු පැනයට මුහුණ දෙයි. මාළු හොදි ටිකක් බෙදන්නද? සැබැවින්ම ඒ විසල් බේසමේ ඇති දියරයේ නම මාළු හොඳි ය. ඉඳිආප්ප මිලට ගත් තැනැත්තා ද බොහෝ විට දෙවරක් නොසිතා බෙදන්න යැයි පවසයි. එවිට ආපනශාලාකරුවා ද පාරිභෝගිකයාට සුවිශේෂී අනුග‍්‍රහයක් දක්වන විලාසයක් මුහුණින් මවා පෙන්වමින් අර බේසම් හොද්දෙන් හැන්දක් බෙදයි.
මේ වනාහි අපූරු මාළු හොද්දකි. එහි මාළු හැර අන් සියලූ දෑ තිබිය හැකි ය. එහෙත් වැරදිලාවත් එහි මාළු දැකිය නොහැකි ය. මාළු වෙනම බඳුනක දමා ඇති අතර මාළු සමඟ කෑම ඉල්ලන අයට ඉන් කැබැල්ලක් ලැබෙයි. එහෙත් බේතකටවත් මාළු කටුවක් තරම නැති මිරිස් හොද්දකට මාළු හොදි යැයි ආපනශාලාකරු කියයි. එසේම කිසිම ප‍්‍රශ්නයක් නොනඟා ආහාර මිලට ගන්නා පරිභෝගිකයා ද එය මාළු හොද්දක් සේ නිහඬවම පිළිගනියි. හරියට මාළු මිරිස්වත් නැති මාළු පාන් මිලට ගන්නා අයුරින්ම. එහෙම පිටින්ම රැවටිලිකාර මිරිස් හොද්දක් බව දැන දැනම එය බෙදාගන්නා අය මාළු හොදිත් සමඟ උදේ දවල් ආහාර ගත් බව සිතති. ඔවුහු කොයිවෙලාවකවත් මාළු හොද්දට සැබැවින්ම මාළු තිබිය යුතු නේ දැයි නොසිතති.
විසි එක්වෙනි සියවසේ ඉදිරිය බලා ඇදෙන අපේ ලෝකයේ, විශේෂයෙන්ම ආශ්චර්යයේ දොරකඩ ඉන්නා අපේ කොදෙව්වේ ප‍්‍රජාතන්ත‍්‍රවාදරයත් අර ආපනශාලාකරුගේ මාළු හොද්දට සැම අතින්ම සමාන ය. එය ද පෙනුමින් පැහැපත් ය. ඇති පදම් බෙදාගත හැකි තරමට ද හදා තිබේ. අවැසි අයට ලබා ගත හැකි ය. එහෙත් එහි නැත්තේ ද අන් කිසිවක් නොව ප‍්‍රජාතන්ත‍්‍රවාදයම ය. තත්ත්වය එසේ වුවද කිසිවකු හෝ ඒ ගැන එතරම් බැරෑරුම්කොට නොසිතති. ප‍්‍රශ්න නොකරති. සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පසෙක තිබිය දී අර ව්‍යාජ කඩතුරාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය සේ පිළිගනිති. පසුගිය දශක ගණනාව පුරා අප භුක්ති වින්දේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නාමයෙන් දෙන ලද පිළුණු මිරිස් හොදි හැර අන් කුමක්ද?
වරෙක සමාජවාදී කෑල්ල ඉදිරියට ද වරෙක ප‍්‍රජාතන්ත‍්‍රවාදී කෑල්ල ඉදිරියට ද එමින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නිර්මාණය කරන ලද ද සැම මැතිවරණයක් පාසාම සිදු වූයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනුවෙන් අපට පෙන්වන ලද අර ව්‍යාජ හොද්දේ අඩුගණනේ තිබූ ලූනු සහ මිරිස් ටික පවා නැතිව ගොස් පල් වතුර බඳුනක් ඉතිරිවීම ය. එහෙත් තවමත් අති බහුතර පුරවැසියෝ අර බඳුනෙහි ඇත්තේ තමන් උදෙසා වන ප‍්‍රජාතන්ත‍්‍රවාදය යැයි පිළිගනිති. සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පසෙක බව දැන දැන ව්‍යවස්ථා පිළිගනිති. අද දවසේ අප ඉන්නේ ව්‍යාජය තවදුරටත් සැබෑව ලෙස පිළිගැනීම වෙනුවට නියම ප‍්‍රජාතන්ත‍්‍රවාදය නියම හිමිකම ඉල්ලා සිටිය යුතු තීරණාත්මක මොහොතක ය. අද දවසේ දී අප එම මොහොත පැහැර හැරීම යනු අපේ ගෙල මත ඒකාධිපතිවාදයේ යකඩ සපත්තුව තැබීමට ඉඩහැරීම ය.
වදන්මය වශයෙන් ගත් කල ශ‍්‍රී ලාංකික අපට ලැබී ඇත්තේ ඉතා මනරම් ව්‍යවස්ථාවකි. එහි මිනිසා, පුරවැසියාගේ අයිතිවාසිකම් සූරැකෙන ආකාරය ඉතා හරවත් වදන්වලින් ප‍්‍රකාශිත ය. ඒ අනුව බලන විට පුරවැසියාට බියවීමට කිසිදු හේතුවක් ද නැත. ඔහු උදෙසාම තනන ලද මහරු ව්‍යවස්ථාවක රැකවරණය යටතේ නිති සතුටින් දිවි ගෙවීමට ඔහුට ඉඩ සැලසී තිබේ. ඊට අනුව පුරවැසියාට තමන් කැමති ආගමක් ඇදහීමට, කැමති තැනක පදිංචි වීමට, සැරිසැරීමට, රැස්වීමට, අදහස් ප‍්‍රකාශ කිරිමට ආදී වශයෙන් බොහෝ අයිතිවාසිකම් ව්‍යවස්ථාව මගින්ම තහවුරු කර තිබේ. එම අයිතිවාසිකම් අනුල්ලංඝණීය වන අතර එසේ උල්ලංඝණය කෙරෙන්නේ නම් ඊට එරෙහිව ද ප‍්‍රතිපාදන එහි පනවා තිබෙයි.
වදන්හි අර්ථයෙන් මේ අයිතිවාසිකම් කෙතරම් මනහර වුව ද, හරබර වුව ද අප ඉන්නේ ව්‍යවහාර ලෝකය තුළ එකී වදන්හි අර්ථය හා ක‍්‍රියාත්මක බව අතර බරපතළ දුරස්තර බවක් දක්නට ඇති අවස්ථාවක ය. දිනෙන් දින ව්‍යවස්ථාවෙන් තහවුරු කරන ලද හිමිකම් වෙතින් පුරවැසියා ඉවතට තල්ලූ කෙරෙනා වටපිටාවක ය. මේ සඳහා ඉතා බරපතළ මෙන්ම සරල උදාහරණ ද අද දවසේ ඕනෑතරම් තිබේ. මෙසේ ව්‍යවස්ථාව විසින්ම තහවුරු කරන ලද හිමිකම් එකී රාමුව තුළම ඉතා සූක්ෂ්ම ලෙස පුරවැසියාට අහිමි කෙරෙනා අවස්ථාවක් පිළිබඳ මෑතම උදාහරණය වනුයේ ජනතා උද්ඝෝෂණ මැඩපැවැත්වීම සඳහා ශ‍්‍රී ලංකා පොලිසිය විසින් ගනු ලබනා කි‍්‍රයාමාර්ගයයි.
බහු පාක්ෂික ක‍්‍රමයක් පවතින රටක (මෙහි පවතින්නේ ඒකාධිපති පාලනයක් නොවන බව පාලකයෝම නිතර නිතර දෙසාවදාරති.) පුරවැසියාට හා සංවිධානවලට පාලකයන්ගේ මතවලට විරුද්ධව මත දැරීමට පරම අයිතියක් තිබේ. ඒ අනුව එම මත දැරීමට පමණක් නොව ඒ වෙනුවෙන් පෙනී සිටීමට, උද්ඝෝෂණ රැස්වීම් පෙළපාලි පවා පැවැත්වීමට ඔවුන්ට ඉඩ තිබිය යුතු ය. (රටේ විරුද්ධ පක්ෂය ශක්තිමත්ව තිබිය යුත යැයි ආඩම්බරයෙන් දෙසා වදාරන්නෝ ද පාලකයෝ ය.)එහෙත් දැන් දැන් රට තුළ එසේ විරුද්ධ මත දැරීමට ඇති අයිතිය පාලකයන් විසින්ම මැඩපවත්වනු ලබන්නේ ඌරාගේ මාළු ඌරාගේ ඇඟේ තබා කපනා ආකාරයට ය.
පසුගිය කාලය පුරාම රට තුළ විවිධ අවස්ථාවල පැනනැඟුණු විවිධ උද්ඝෝෂණ මැඬලීම සඳහා ශ‍්‍රී ලංකා පොලිසිය විසින් භාවිතා කරන ලද්දේ එම න්‍යායයි. ඒ අනුව විවිධ දේශපාලන පක්ෂ, ශිෂ්‍ය සංගම් වෘත්තිය සමිති විසින් ගනු ලබන විවිධ ක‍්‍රියාමාර්ග අත්හිටුවීම සඳහා පොලිසිය විසින් ගන්නා ලද්දේ මහජන ආරක්ෂාව නැමති දෙපිට කැපෙන ආයුධයම ය. මහජනයා උදෙසා යයි කියමින් මහජනයාගේම හිමිකම් මර්දනයට අධිකරණය හරහා කෙටි මං සෙවීම, මේ අපේ ගරු කටයුතු පොලිසියේ නීතිය හා සාමය රැකීමේ වත්මන් ජනප‍්‍රිය පිළිවෙතයි.
ලංකාවේ පොලිසිය මහජන උද්ඝෝෂණ සම්බන්ධයෙන් අනුගමනය කරන ප‍්‍රතිපත්තිය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරු කරන සැමගේ නොමඳ අවධානයට ලක් විය යුතු ය. පසුගිය කාලය පුරාම පොලිසිය අනුගමනය කළේ පරචිත්ත විජානන ඥානය මත පිහිටා ජනතා උද්ඝෝෂණ මගින් සිදුවීමට නියමිත බරපතළ තත්ත්වයන් පෙන්වා අධිකරණයෙන් තහනම් නියෝග ලබා ගැනීමයි. මෙය ඉතාම නිර්ලජ්ජිත ලෙස ප‍්‍රදර්ශනය වූ අවස්ථාව වූයේ කළු ජනවාරියේ විරෝධතාව සම්බන්ධයෙන් හැසිරුණ ආකාරයයි. එහිදී වහා අධිකරණය හමුවට ගිය පොලිසිය මහජන ආරක්ෂාවේ නාමයෙන් එක් පාර්ශ්වයක විරෝධතාවයකට තහනම් නියෝග ඉල්ලා එදිනම එම ස්ථානයේම රජයට සහය පළ කරන උද්ඝෝෂණයකට කිසිදු එරෙහිවීමකින් තොරව දෑස් පියගෙන මහා දවාලේ රෙදි ගලවා ගත්තේ ය. රට පුරා නොවිසඳුන අපරාධ සැලකිය යුතු සංඛ්‍යාවක් තිබිය දී ඒ ගැන කිසිදු තොරතුරක් සොයා ගැනීමට අසමත් අපේ පොලිසිය ආණ්ඩුවට එරෙහිව කෙරෙනා කවර උද්ඝෝෂණයක වුව ඉතාම සුළු තොරතුරක් ගැන පවා ඉහළ දැනුමකින් යුක්ත බව ප‍්‍රකාශ කර සිටියි.
උද්ඝෝෂණය ඇරඹෙන ස්ථානය ගමන් ගන්නා මාර්ගය, උද්ඝෝෂකයන්ගේ යටිසිතේ පවතින අරමුණුවල සිට ඔවුන්ගේ යට ඇඳුම දක්වාම තොරතුරුවලින් පොලිසිය පොහොසත් ය. එහෙයින් ඔවුහු මහජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් උද්ඝෝෂණවලට එරෙහි වාරණ නියෝග ඉල්ලති. මේ එක පැත්තකි. එහෙත් මේ පෙනෙන පැත්තේ ඇති හිරිකිත වඩාත් දැඩි වන්නේ පොලිසිය නොපෙන්වා සිටින ඇත්ත ගැන බලන විට ය.
ලංකාවේ මහජන ආරක්ෂාව වෙනුවෙන් පෙනී ඉන්නා පොලිසිය එදා කළු ජනවාරියට එරෙහිව සංවිධානය වූ පිරිසට වචනයක් හෝ කීවේ නැත. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකට ද එදා පිළිතුරු නැති විය. එසේම මීට මඳ කලකට පෙර කොටුවේ මහා මාර්ග වසා දමමින් ජනතාවට නිදහසේ සරන්නට ඇති අවස්ථාවට සීමා නංවමින් රාජ්‍ය අනුග‍්‍රහයෙන් මෝටර් රථ ධාවන තරග පැවැත්වෙද්දී ද පොලිසිය උන්නේ කුඩු කෑ උන් ගණනට ය. පොලිසියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මහජන ආරක්ෂාව තරම පෙනෙන්නට ඇති මෙවන් අවස්ථා තව බොහෝ ය. ජනතාව හානිකර ලෙස හැසිරෙන අවස්ථාවල ඒවා මැඬපැවැත්වීම සඳහා ප‍්‍රමාණවත් ප‍්‍රතිපාදන පොලිසියට සලසා තිබිය දී එසේ වැදගත්ම රාජකාරි නොකර ආණ්ඩුවේ ලොන්ඩරිය බවට පත්වීම ඛේදයක් වන්නේ ඔවුන්ට නොව ජනතාවට ය. පසුගිය කාලය පුරා පොලිසියේ මේ පිළිවෙතම ගත්ත ද ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නාමයෙන් අපට ලැබී තිබෙනා ගොඩහොද්දේ තරම වටහා ගැනීමට එය ප‍්‍රමාණවත් ය.
මිනිසාට සිය පැවැත්ම සඳහා ආහාර පාන ඉඳුම් හිටුම් හා ඇඳුම් පැළඳුම් වැනි මූලික අවශ්‍යතා තිබිය යුතු බව අවිවාදිත ය. එහෙත් ඒ සියල්ලම පැවතිය ද මිනිසාට සත්ත්වයකු ලෙස නොව මනුෂ්‍යයකු ලෙස ජීවත්වීම සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයන් ඉතා අවශ්‍ය ය. එම අවකාශය ක‍්‍රම ක‍්‍රමයෙන් හැකිළෙන විට පළමුවෙන්ම මියයන්නේ මනුෂ්‍යත්වයේ අර්ථයයි. සත්ත්වයා හා මිනිසා අතර බෙදුම් රේඛාවයි. ඉදින් ප‍්‍රජාවක් ලෙස ඉතා නින්දිත අයුරින් අප අහිමිකර ගනිමින් ඉන්නේ මනුෂ්‍යන් ලෙස ජීවත්වීම සඳහා අවැසි ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයයි. එය හුදෙක් උද්ඝෝෂණ හරහා මහජන ආරක්ෂාව අනතුරට ලක් වීම වැනි ගොබ්බ තර්කවලින් නොව මිනිස් හිමිකම් පිළිබඳ දෘෂ්ටිකෝණයෙන් පුළුල්ව බැලිය යුතු බරපතළ කාරණාවකි. එහෙයින්ම අප එක් දෙයක් තදින් සිතට ගත යුතු අවස්ථාවට එළඹ සිටිමු. ඒ බත් පතට වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙරට ආ යුතු මොහොත පැමිණ ඇති බවයි.
-නුවන් උදය වික‍්‍රමසිංහ