Back to Top

කණුවේ බැඳි ගවයන් හා මාධ්‍යකරුවන්

May 10, 2011  

"පත්තරකාරයා හරියට කණුවක බැඳි ගවයෙක් වැනිය"මේ ප‍්‍රකාශය කරන ලද්දේ ලංකාවේ බිහි වූ අග‍්‍රගණ්‍ය මාධවේදියකු මෙන්ම විශිෂ්ට කෙටිකතාකරුවකු හා කවියකද වූ දයාසේන ගුණසිංහ මහතා විසිනි. ගවයකු කණුවක දිගේලි කරන ලද විටෙක ඌට කඹයේ දිග ඇති දුරට තණකොළ උලාකෑමට පුළුවන. එහෙත් ගවයා බොහෝ විට කරනුයේ කඹය දිග ඇති ප‍්‍රමාණයේ තණකොළ කෑම නොව කණුව වටා කැරකී කණුව මුලටම ගෙල සිර කර ගැනීම ය.

එසේ ගෙල සිරකරගෙන මොරදීම ය. දයාසේන මහතා පුවත්පත් කලාවේදියා ඊට සමාන කරමින් පැවසුවේ කෙතරම් දුරට සීමාකිරීම්, මර්දනයන් තිබුණ ද ඒ සියල්ල මැද ඔහුට එකී සීමා බිඳ කටයුතු කිරීමට පුළුවන් බව පෙන්වාදීමට ය. ඒ සඳහා පුවත්පත් කලාවේදියා උපක‍්‍රමශීලීත්වයෙන් හා නිර්මාණශීලී බවින් මනාව සන්නද්ධව සිටිය යුතු ය. ස්වකීය ප‍්‍රකාශනය උදෙසා ඉතා සූක්ෂ්ම විය යුතු ය. සිය දිවියේ අවසාන කාලයේ දී ඔහු ඔප්පු කර සිටියේ එම ගුණයයි. තම කතුවැකියකින් රිදුණ ජේආර්ගේ වක‍්‍ර මර්දනයට ගොදුරුව සිය පුවත්පත් කතුවර දිවියෙන් ඉතා සැලසුම් සහගතව නෙරපන ලද පසුව ඔහු සිය පන්හිඳම අවිය කොට ගෙන විවිධ පෙරමුණු හරහා යළි ඉදිරියට ආවේ ය.

"දොරමඬලාව"නම් වූ විශිෂ්ට කාව්‍ය කෘතිය එළිදකිනුයේ ඒ අතර ය. එසේම විවිධ අන්වර්ථ නාමවලින් ඔහු එකල ලියූ තීරු ලිපි දේශපාලනය, විචාරය, හාස්‍යය, උපහාසය මෙන්ම එල්ලයටම වදිනා ප‍්‍රහාරාත්මක බවින් ද යුක්ත වූවේ ය. ඔහු විසින් සිය තීරුලිපි සඳහා යෙදූ සිරස්තලයම ඔහුගේ විශිෂ්ටත්වය කියා පෑ සාක්ෂියකි. එසේම"දොරමඬලාව"කෘතියේ එන"ඔබේ වත දෙස බැලීමි දකිනුවස් ප‍්‍රභාතය"නම් වූ රමණීය කවිය නිහඬ කරන ලද්දකුගේ හෘදය සාක්ෂිය පිළිබඳ කදිම ප‍්‍රකාශනයකි.

වර්තමාන ලංකාවේ මාධ්‍ය කලාව දෙස බලන විට දයාසේන ගුණසිංහ මහතාගේ ඉහත කියමන සිහියට නැඟීම වළක්වනු නොහැකි ය. විද්‍යුත් මුද්‍රිත ආදී වශයෙන් මාධ්‍ය තාක්ෂණික අංශයෙන් කෙතරම් ඉදිරියට පැමිණිය ද වෘත්තීයමය වශයෙන් මාධ්‍යවේදීන් අතරින් බොහෝ දෙනෙකු ගමන් ගෙන ඇත්තේ ආපස්සට ය. බොහෝ මාධ්‍යවේදීන් මේ වන විට ඉටුකරනුයේ හුදු වාර්තාකරුවකුගේ භූමිකාව පමණි. එය ද තෝරාගත්, අරපරෙස්සම් සහිත ක්ෂේත‍්‍රයක් තුළ ය. විවාදයට බඳුන්විය හැකි එමෙන්ම ප‍්‍රශ්නකාරී විය හැකි දේවලට අතගැසීමෙන් සිතා මතා වළකින ඔහු ස්වකීය ජීවනෝපාය සලසා ගැනීමේ මාර්ගය අහිමි කර නොගැනීම සඳහා හෙවත් මාසික වැටුප බේරාගැනීම සඳහා කුමක් හෝ ලියන භූමිකාව තෝරාගනියි. එසේත් නැතිනම් ස්වකීය ආත්ම ගරුත්වය සාක්කුවේ දමාගෙන පාලකයන් උදෙසා ප‍්‍රශස්ති ලිවීමේ කාර්යයට අතගසයි. තවත් පිරිසක් අලි යන කපොලූ වැනි මහා පරිමාණ වංචා දූෂණ හා අකටයුතුකම් මඟහැර සුළු පරිමාන"විමර්ශනයන්හි"නිරත වෙති.

අසීරුතම අවස්ථාවල දී තම වගකීම ඉටුකරන මිනිසුන් පිළිබඳව ඇති එක් හොඳම උදාහරණයක් වනුයේ ඩොනල්ඞ් වුඞ්ස් නම් දකුණු අප‍්‍රිකානු පුවත්පත්කලාවේදියා ය. කළු ජාතිකයන්ගේ කටුක ඉරණම දුටු ඔහු හා කළු ජාතික සිසු නායකයකු වන ස්ටීව් බීකෝ අතර ඇතිවන සම්බන්ධය වුඞ්ස්ගේ පුවත්පත් කලාවේදී දිවිය උඩුයටිකුරු කළා පමණක් නොව ඔහු මර්දන යන්ත‍්‍රයේ දැතිරෝද වෙත ගෙන ගියේ ය. අවසන "තහනම් කරන ලද"පුද්ගලයකු ලෙස නම් කෙරී හුදෙකලා නිවාස අඩස්සියකට කොටු කරන ලද අවස්ථාවේ දී ඔහු කළේ ඉතා රහසිගත ලෙසින් රටින් පළාගොස් අප‍්‍රිකාවේ වර්ණභේදවාදී රජයේ නිරුවත හෙළිකිරීම සඳහා සක‍්‍රීයව මැදිහත්වීමයි. ඔහුගේ ඒ අත්දැකීම් ලාංකීය අපට ද ඉතා වැදගත් ය.

කෙසේ වෙතත් මේ වන විටත් විවිධ දුෂ්කරතා හා අනතුරු දරාගනිමින් සිය වගකීම ඉටු කිරීම සඳහා කැපවූ මාධ්‍යවේදීන් සුළු ප‍්‍රමාණයක් හෝ ඉන්නා බව ද ඔවුන්ට ගෞරවයක් වශයෙන් මෙහි සටහන් කළ යුතු ය. අධිපති මතවාදයට අනුව ලංකාව ඉතිහාසයේ ස්වර්ණමය යුගය කරා එක පිම්මේ ගමන් ගනිමින් සිටියි.එසේම ඒ ගමන් මගෙහි දී මානව අයිතිවාසිකම් කඩවීම්, මර්දනය වැනි පියවර ඉවසා සිටිය යුතු යැයි ඇඟවෙන ආකාරයට ලියන මාධ්‍යවේදීහු ද අපට සිටිති.මේ අතරේ මාධ්‍යවේදීන්ට ඍජු හා වක‍්‍රාකාරයේ තර්ජන එල්ලවන අවස්ථා මෙන්ම, විවිධ වරදාන හරහා හීලෑ කරගන්නා අවස්ථා ද නොයෙක් විට දක්නට ලැබෙයි. සමාජය අවදි කිරීමේ ප‍්‍රබලම කාර්්‍යභාරයක් ඉටුකරන මාධ්‍ය හුදු වාර්තාකරණයට, තෝරා බේරාගත් වාර්තාකරණයට යොමුවීම හා පාඨකයාගේ වින්දනය උදෙසා විශේෂාංග ඉදිරිපත් කරන හීලෑවුවකු බවට පත්වීම සමාජයට ඉතා අහිතකර ය. අවාසනාවට අද දවසේ දී අපට දක්නට ලැබෙන්නේ එවැනි තත්ත්වයක් වර්ධනය වන අයුරකි.

ආගමේ බලපෑම ඉතාම දරුණු ලෙස පවතින එසේම කාන්තාව සක‍්‍රීය ප‍්‍රවාහයෙන් විතැන් කර සිටින අප‍්‍රිකානු සහ අරාබි රටවල් මේ වන විට නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා සටන් ඇවිලෙන රණබිම් බවට පත්ව තිබේ. පාලකයන්ගේ විවිධ මර්දන උපක‍්‍රම මැද ඔවුහු නොසැලී සිය ඉල්ලීම් උදෙසා සටන් වදිති. මේ සටන් තුළ කැපී පෙනෙන එක් සාධකයක් වනුයේ කාන්තා සහභාගිත්වයයි. මෙතෙක් කලක් සමාජයේ පසුපසට තල්ලූ කර හරින ලද එ රටවල ස්ත‍්‍රීහු දැන් නිදහස පතා කෙරෙන සටන්වල ඉදිරියෙන්ම සිටිති. සාක්ෂරතාවයෙන් ඉතා ඉහළ යැයි උදම් අනන, එමෙන්ම ඉදිරිගාමී කාන්තාවන් සිටිතැයි නිතර කියවෙන ලංකාවට ද එම කාන්තාවන්ගේ සටන්කාමී ගුණය හා ජවය මනා උදාහරණයකි.

පාලකයන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව කවර ප‍්‍රවාද ගොඩනැංවුව ද සත්‍ය වශයෙන්ම අප ඉන්නේ යටපත් කරන ලද සමාජයකය යන්න අද දවසේ සත්‍යයයි. මේ සඳහා හොඳම උදාහරණය දශක ගණනාවක් පුරා පවතින හදිසි නීතිය හා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතයි. අප ජීවත් වන්නේ කප්පම්කරුවන් වසර ගණනාවක් තිස්සේ ඇමතිවරුන්ගේ ලේකම්වරුන් ලෙස සුරතල් වෙන සමාජයක ය. ඉතා සුළු ප‍්‍රශ්නයකට පවා කිපී"රණවිරුවන්"ගම්වැදී මිනිසුන්ට පහර දෙන යුගයක ය. හිටිගමන් එළවළු මිල අහස උසට යන ඊළඟ මොහොතේ දී ගොවීන්ට විකුණා ගැනීමට බැරිව හොණ්ඩර ගණනින් එළවළු වීසි කර දැමීමට සිදුවන ආශ්චර්යමත් දේශයක ය. ප‍්‍රාදේශීය ලේකම්වරියන් වැනි ප‍්‍රබල රාජ්‍ය නිලධාරීන් පවා ලිංගික අතවරයනට ලක්වන පසුබිමක ය. දූෂණයට ලක්ව මියගියේ යැයි යාපනයේ තරුණියන් පිළිබඳව වාර්තා ලැබෙන පසුබිමක ය. දරුවන්ට පාසල් ලබාදෙන්නැයි මවුපියන්ට හඬ නැඟීමට සිදුවන අධ්‍යාපන ක‍්‍රමයක ය. සිසුන්ට සරසවිය තහනම් කර ඇමති අතින් උත්සව විවෘත කෙරෙන රටක ය. මේ අපේ ඛේදවාචී බව විදහා දැක්වෙන උදාහරණවලින් ඉතා අතලොස්සක් පමණි. රක්ෂණ සංස්ථාවේ ඛේදවාචකය වැනි ව්‍යාපාරික අංශයේ උදාහරණ ද එපරිද්දෙන්ම නිමක් නැති තරම් ය.

එහෙත් මේ සියල්ල මැද පුවත්පත් කලාවේදියාගේ එක් වගකීමක් වන ගවේෂණාත්මක පුවත්පත් කලාව නිෂ්ක‍්‍රීය වන අයුරක් දකින්නට ලැබීම කනගාටුදායක ය. රක්ෂණ සංස්ථාව විකිණීම හා යළි රජයට ගැනීමට මෙන්ම ඉන් පසු රක්ෂණ සංස්ථාවේ වර්තමානය යන්න මෙසේ දැඩි විමර්ශනයට බඳුන්විය යුතු මාතෘකාවකි. රක්ෂණය හැරී ජයවර්ධනගෙන් මුදවා ගත්තේ යැයි ජනපතිට හා වාසුදේව ඇමතිවරයාට ප‍්‍රශංසා කෙරෙන දැවැන්ත පුවරු ඉදිවෙන විටම හැරී ජයවර්ධන ජනපති විසින්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ධුරයට පත් කරනු ලබයි. ඒ දැක දැකත් වාසුදේව නම් අභීත සෙන්පතියා ලැජ්ජා නහර සිඳලූවකු සේ නිහඬව කල්ගෙවයි. රක්ෂණ සංස්ථාව පිළිබඳව පසුගිය කාලයේ රජය විසින් ලියන ලද ලිපි හැරුණු විට මාධ්‍ය තුළ බොහෝ කොට දක්නට ලැබෙන්නේ උදාසීන පැවැත්මකි. අන් බොහෝ ක්ෂේත‍්‍ර සම්බන්ධයෙන් ද තත්ත්වය එසේම ය.

මේ නිෂ්ක‍්‍රීය වෙමින් යන්නේ මාධ්‍යයටත් වඩා මාධ්‍යකරුවාගේ හෘද සාක්ෂියයි. රටට ඇවැසිම මොහොතක මාධ්‍යකරුවා නිහඬවීම යනු පොදු ජනයාගේ දෑස් අඳ කිරීමක් බඳු ය. විශේෂයෙන්ම නිර්වින්දිත තත්ත්වයට ජනතාව පත්කර ඇති මොහොතක!ලංකාවේ පුවත්පත්කලාවේදීන්, මාධ්‍යවේදීන් පිළිබඳව, ඔවුන්ගේ නිහඬවීම පිළිබඳව කතා කරන අතරම, තවත් දක්නට ලැබෙනා අංශයක් පිළිබඳව ද අපේ අවධානය යොමුවීම අවශ්‍යව පවතී. ඒ නම් නොමඟයවනසුලූ වාර්තාකරණය හරහා සැබෑ කාරණය වළලා දැමීමට මග සලසෙන වගකීම් විරහිත වාර්තාකරණයයි. මේ සඳහා හොඳම උදාහරණය පසුගිය සමයේ දී මියගිය දළ ඇතාගේ සිද්ධියයි. කැලයෙන් අල්ලා ගනු ලදුව වෙනත් ස්ථානයකට ප‍්‍රවාහනය කෙරෙමින් තිබිය දී ලොරියේ තට්ටුව බිඳී එතුළ පාදය සිරව මියගිය ඇතාගේ පුවත ලාංකීය ජන හද සසල කළ සිද්ධියකි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යනු ලංකාවේ වර්තමානයේ ඇතිවන අලි මිනිස් ගැටුම ඇතුළු බොහෝ පාරිසරික කාරණාවල ඍජු වගකීම් දරන ආයතනයකි. එසේම එහි නිලධාරීන් රාජකාරි ඉටු කරනුයේ ඉමහත් දුෂ්කරතා මධ්‍යයේ ය. ඔවුන්ගේ කාර්යභාරය වටහා ගැනීමට එම දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය විජිත පෙරේරා විසින් රචිත වන අලි සමඟ දස වසරක් කෘති‍්‍රය කියවීම ප‍්‍රමාණවත් ය. මෑත දී මියගිය දළ ඇතාගේ සිද්ධිය එම සද්ධන්තයා පිළිබඳව මෙන්ම සමස්ත වනජීවී සංරක්ෂණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ම ඛේදවාචකයකි. අදාළ සිදුවීමේ දී හුදෙක් වාර්තාකරණයේ සීමාවෙන් ඔබ්බට ගොස් ගවේෂණාත්මක ප‍්‍රවේශයකට යොමු වූයේ නම් අපේ මාධ්‍යකරුවන්ට අදාළ ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් රජය ද දැඩිව ප‍්‍රශ්න කෙරෙනා ඉතා විවේචනාත්මක ලිපි සම්පාදනය කිරීමට ඉඩ තිබුණි. එවන් ලිපියක් එක් අතකින් ආයතනයේ ඉමහත් දුෂ්කරතා මැද සේවය කරන නිලධාරීන්ට මෙන්ම පොදුජනයාට ද එක සේ ප‍්‍රයෝජනවත් වීමට ඉඩ තිබුණි.

එහෙත් සමස්ත සිද්ධිය සම්බන්ධයෙන්ම එවන් ගැඹුරු ප‍්‍රවේශයක් දක්නට නොලැබුණි. එසේම ඊටත් වඩා ඛේදජනක තත්ත්වය වූයේ ඇතැම් ලිපි හරහා ඇතාගේ දළ දෙකට පාලකයන්ගේ ඇස යොමුවීම අදාළ මරණයට හේතුව ලෙස ඇඟවෙන පුවත් පවා පළවෙන්නට ගැනීමයි. රටක පාලකයන්ගේ අකටයුතුකම්, අත්තනෝමතිකත්වයන්ට එරෙහිව සටන් කිරීම අනිවාර්ය කටයුත්තක් වුව ද එය කළ යුත්තේ ඔවුන් සැබෑ ලෙස නිරුවත් කෙරෙන ආකාරයට මිස කැලෑ පත්තර සම්ප‍්‍රදායට නොවේ. එහෙත් අදාළ සිද්ධියේ දී පළ වූ ඇතැම් වාර්තාවල අරමුණ වී තිබුණේ හොඳ නරක කුමක් වුව ද, අහුවෙන දෙයකින් සතුරාට පහරදීමේ කැලෑ ප‍්‍රතිපත්තිය මිස අන් යමක් නොවේ. මින් වඩාත්ම අසරණ බවට පත් වූවේ අර සද්දන්තයා වෙනුවෙන් මැදිහත් වුණ එමෙන්ම නොයෙක් අපවාදවලට ද මුහුණ දුන් වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයයි.

එපරිද්දෙන්ම අහුවන අවියෙන් පහරදීමේ ප‍්‍රතිපත්තිය නිසාවෙන් ලංකාවේ වනජීවී සංරක්ෂණය අරබයා මනා ගවේෂණයක් කිරීමට මෙන්ම ඒ පිළිබඳ ජනමතය අවදි කිරීමට ද තිබූ අවස්ථාවක් කනගාටුදායක ලෙස මඟහැරී ගියේ ය. යහපත් සමාජයකට අයත් විය යුතු අංග ලක්ෂණයන් දේශපාලන ජරාජීර්ණභාවයේ හා අත්තනෝමතික බවේ ගොදුරු බවට පත්වන සමයක, මනුෂ්‍යත්වය උදෙසා වන අරගලය පිණිස නිර්මාණශීලී පෙරමුණු බිහි කිරීම සෑම කෙනෙකුගේම වගකීම ලෙස පවතී. ඒ සඳහා ප‍්‍රමුඛ කාර්යයක් ඉටුකිරීමේ හැකියාව ඇත්තේ මාධ්‍යවේදීන්ට ය. ඔහු හුදෙක් වාර්තාකරුගේ භූමිකාව ඉක්මවා යන නිර්මාණශීලී හා ධෛර්ය සම්පන්න මිනිසකු විය යුත්තේ එහෙයිනි. දේශපාලකයා තක්කඩියකු වන විට මාධ්‍යවේදීයා දේශපාලන සවිඥාණකත්වයෙන් මනාව සන්නද්ධව සිටිය යුතු ය. ඔහුට පෙරගමන්කරුවකු විය හැක්කේ එවිට ය.

MOST VIEWED VIDEO STORIES

MORE >>