Back to Top

සාමූහිකව දැල එසවීමටනම්..

April 16, 2014  



රටක අනාගතය පිළිබඳව කල්පනා කරනු වෙනුවට තමන්ගේ පරපුරේ සුභසිද්ධිය උදෙසා ජාතිවාදය උඩදැමීම සිය ඒකායන පරමාර්ථය කර ගත් පාලකයන් ලැබීමේ අවාසනා මහිමයට පින් සිදු වන්නට ජිනීවා කතන්දරය අහවර වූයේ රට ඉදිරියේ අනතුරක් නිර්මාණය කරමිනි. එහෙත් අවසාන මොහොත දක්වාම හැකි සෑම මාර්ගයකින්ම තමන්ගේ වාසිය සලසා ගැනීමට උත්සුක වන පාලකයන් හා ඔවුන්ගේ අන්තේවාසිකයන්ට නම් එය පළාත් සභා ඡන්දය වෙනුවෙන් භාවිතා කළ හැකි තුරුම්පු කොළයක් පමණක් වී. දැන් විදුලි පුටුව විහිළුවක් වී,රටේ අනාගතය අනතුරේ වැටෙද්දී පාලකයන් ජය පැන් බොන්නේ ඡන්දය භාවිතා නොකළ හා විරුද්ධව භාවිතා කළ රටවල ඓක්‍යය පෙන්වා ජී.එල්. පීරිස්ගේ විකට ගණිත න්‍යාය උඩ දමමිනි.



දැනට ජිනීවා අහවර ය. එසේම එය පෙන්නා අසීමිත රාජ්‍ය බලයක් මැද පවත්වන ලද පළාත්සභා ඡන්දය ද අහවර ය. එය අහවර වෙද්දී තවත් වරක් සනාථ කරන ලද එක් කරුණක් වූයේ ලංකාවේ මැතිවරණ කොමසාරිස්වරයා කෙතරම් අසරණ බල රහිත පුද්ගලයකු ද යන්නයි. කෙතරම් ජවසම්පන්න ලෙස කැමරාව ඉදිරියේ හැසිරුණ ද ඔහුගේ ක‍්‍රියාකාරිත්වය යනු සැමතින්ම සීමාවන්ට ලක් කරන ලද්දකුගේ සීමිත ක‍්‍රියාකාරිත්වයක් බව ඉතා පැහැදිලි ය. සරත් ෆොන්සේකා මැතිවරණයෙන් පසුව දැඩි ස්වරයෙන් පළකර සිටියේ එම තිත්ත ඇත්තයි. පශ්චාත් මැතිවරණ ප‍්‍රතිඵල විග‍්‍රහ කරන සැම පක්ෂයකට ම අනුව ඔවුන් ලබා ඇත්තේ ජයකි. එක්සත් ජනතා නිදහස් සන්ධානය කියා සිටිනුයේ ඔවුන් යළි විශිෂ්ට ජයග‍්‍රහණයක් ලද බවකි. මැතිවරණයට පෙර ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා විසින් ඉදිරිපත් කරන ලද සංඛ්‍යා ලේඛනවලින් බොහොමයක් බොරුව යද්දී පවා ඔවුන් ඉස්මතු කරනුයේ පළාත් සභා දෙකෙහි බලය රැක ගැනීම පිළිබඳව ය. ඔවුන්ගේ ඡන්ද පදනම සැලී යාම, මන්ත‍්‍රී ආසන අඩුවීම ඔවුන් ඉස්මතු නොකරයි. ඉතා සතුටු විය නොහැකි වුව ද අන්ත ජාතිවාදය සිය එකම ගැලවුම් මාර්ගයකරගත් සන්ධානයේ ඡන්ද පදනමින් සැලකිය යුතු සංඛ්‍යාවක් අඩුවීම රටේ අනාගතය සම්බන්ධයෙන් බලන කල සැබෑම ජයග‍්‍රහණයක් බව අපට සිතියහැකි ය.



විපක්ෂය විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ සහ ෆොන්සේකාගේ පක්ෂයට සිය ඡන්ද පදනම වැඩිවීම පිළිබඳව අඩ වශයෙන් සතුටු විය හැකි ය. ඒ අඩ වශයෙන් යන්න සඳහන් කරනුයේ එසේ වැඩි වූ ඡන්ද රැක ගැනීම ඔවුන් ඉදිරියේ වන අභියෝගයක් වන බැවිනි.ඡන්ද පදනම වැඩිවීම පිළිබඳව මීටත් වඩා ආශ්වාදජනක අත්දැකීම් ජවිපෙ අතීතය සතු ය. එහෙත් ඔවුන් අසමත් වූයේ ඉන් සැලකිය යුතු ප‍්‍රමාණයක් හෝ රැක ගැනීමට ය. අපේ මතය අනුව නම් මේ මැතිවරණය කිසිම පාර්ශ්වයකට සැලකිය යුතු ජයග‍්‍රහණයක් අත්කර දී නැති. එහෙත් එය ඒ වෙනුවට විපක්ෂයට යළි ජයග‍්‍රාහී මාවතට ඇතුළුවීම සඳහා යම් ඉඩක් පමණක් විවර කර දී තිබේ. අනෙක් අතින් එය ප‍්‍රධාන පක්ෂ දෙකේ සැලකිය යුතු පිරිසකට ඊළඟ මැතිවරණයේ දී කොට්ට පැදුරු අකුලා ගත යුතු බවට සංඥාවක් දී තිබේ. එය සන්ධානයේ සුසිල් පේ‍්‍රමජයන්ත, ලොකුගේ, දිනේශ් වැන්නවුන්ගේ සිට සරත් අමුණුගම වැන්නන් දක්වා අදාළ ය.



 කොළඹ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රතිඵල බලන විට රවි කරුණානායකට පවා මෙය අදාළ නොවිය නොහැකි බව වටහා ගත යුතු ය. මෙවර මැතිවරණයේ දී වඩාත්ම අපේක්ෂා භංගත්වයට පත් වූ පක්ෂය ලෙස ජාතික හෙළ උරුමය දැක්විය හැකි ය. ඔවුන්ගේ උපායක‍්‍රමික සැලසුම වූයේ යහපාලනයේ නියෝජිතයන් ලෙස ඉස්මතු වී කොළඹ ඉහළම මනාප ලබා මහ ඇමතිකමට අත පෙවීමයි. එහෙත් තරගය අවසන් වූයේ ශ‍්‍රීලනිපාක්ෂිකයන් තුළ රාජපක්ෂකරණය කෙරේ වන විරෝධයේ ප‍්‍රකාශයක් ලෙස හිරුණිකා පළමු තැනට ඒමෙන් සහ ගම්මන්පිලට ගිය මැතිවරණයේ දී ලබාගත් මනා සංඛ්‍යාවට වඩා අඩු සංඛ්‍යාවක් හිමිවීමෙනි.
දැන් සියලූ ජයග‍්‍රාහකයන්ට ජයග‍්‍රහණ සැමරීමට හැර රටේ බුද්ධිමත් ප‍්‍රජාව මෙය අවස්ථාව කර ගත යුත්තේ පොදු ජනතා ජයග‍්‍රහණයන් සඳහා සංවිධානය වියයුතු ආකාරය පිළිබඳව කල්පනා කිරීමට ය.



රටේ ජනපතිවරයා ජනපතිවරණයක් 2016 ට පෙර නැතැයි ප‍්‍රකාශ කිරීමම ඊට පෙර පැවැත්වීමට ඉඩ ඇති ජනපතිවරණයක් පිළිබඳව සැක කිරීමට ඉඩ සලසයි. රටේ අනාගතය පැත්තෙන් ගත්කල අප ඉදිරියේ ඇති හොඳම අවස්ථාව වනුයේ ජනපතිවරණයම මිස අන් මැතිවරණ නොවේ. පවත්නා දුර්දාන්ත ක‍්‍රමය වෙනස් කර සැබෑ වෙනසක් සඳහා වන අවස්ථාව වනුයේ එයයි. එසේම රටට පිළිලයක් වී ඇති විධායක ජනපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා වන උරගල වනුයේ ද එයයි. එහෙයින්ම විපක්ෂයේ සියලූ දේශපාලන පක්ෂ මෙන්ම බුද්ධිමත් ජනතාව ද ඊට දැන්ම තියා සූදානම් වීම ඉතා කාලෝචිත වෙයි.



පසුගිය රාවයකින් වික්ටර් අයිවන් මතු කර තිබු කරුණක් වූයේ නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව හා එවැන්නක් පිළයෙල කිරීමේ ඇති අසීරුවයි. එය අසීරු බවට කිසිදු තර්කයක් නැත. එහෙත් මේ එම අසීරුව පිළිබඳව කල්පනා කර කර සිටීමට වඩා ඊට අත ගැසීමට සුදුසු කාලයයි. අඩුම තරමින් එහි මූලික කෙටුම්පත් හා මූලික එකඟතා සඳහා වැඩකළ යුතු කාලයයි. අප මෙහිදී බැලිය යුත්තේ නොහැකියාව හෝ අසීරුව පිළිබඳව නොව එය කෙසේ හෝ යථාර්ථයක් බවට පත් කර ගැනීම පිළිබඳව ය. අප මේ මොහොතේ ඒ වෙනුවෙන් ක‍්‍රියාත්මක නොවන්නේ නම් අප ඉතිහාසයට එක් වනු ඇත්තේ අගනාම මොහොතක් අපතේ හැරි අඥානයින් වශයෙනි.



මේ මොහොතේ දී රටේ සිවිල් ව්‍යාපාර, සංවිධාන හා පුද්ගලයන්ගේ මැදිහත්වීම ඉතා අත්‍යවශ්‍ය වී තිබේ. විශේෂයෙන්ම මෙහිදී ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ඇතුළුව  කාදිනල් තුමාගේ ද මැදිහත්වීම වැදගත් ය. ජිනීවා වෙත විරෝධය පෑමට වඩා අද දවසේ උන්වහන්සේලාගේ කාර්යය විය යුත්තේ විධායක ජනපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා වන සක‍්‍රිය වැඩ පිළිවෙලක් වෙනුවෙන් මැදිහත්වීම ය. තමන් හමුවීමට එන දේශපාලකයන් ඇතුළු විවිධ පාර්ශ්වවලට ඒ වෙනුවෙන් බලපෑම් කිරීම ය. එසේම රටෙහි දේශපාලනයේ ව්‍යුහාත්මක වෙනසක් වෙනුවෙන් ප‍්‍රසිද්ධීයේ නිර්භයව පෙනී සිටීම ය. ආගමික භේදයකින් තොරව සියලූම ආගමික නායකයින්ට මේ සඳහා මැදිහත්වීමට ප‍්‍රමාණවත් අත්දැකීම් විධායක ජනපති ක‍්‍රමය විසින් දැනටමත් සපයා හමාර ය. එහෙයින් පවත්නා ක‍්‍රමය වෙනස් කිරීම සඳහා ඍජුව මැදිහත්වීම යනු ආගමික නායකයින් වශයෙන් තම වගකීමබව උන්වහන්සේලා සියලූදෙනාම වටහා ගැනීම අත්‍යවශ්‍ය ය.



මේ තීරණාත්මක කාර්යය සඳහා උරදිය හැකි තවත් ප‍්‍රබල සංවිධාන දෙකක් මෙහිලා සිහිපත් කළ යුතු ය. ඒ සරසවි ආචාර්යවරුන්ගේ සංගමය හා ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයයි. ඔවුන්ට මෙහිදී කළ හැකි කාර්යභාරය අති විශාල ය. එසේම ඔවුන් ද මීට ඉදිරිපත් වන්නේ නම් ලංකාවේ වෘත්තිය සමිති ව්‍යාපාරවලට සැබෑ රුකුලක් ද වනු ඇති අතර හුදෙක් තමන්ගේ සුභසිද්ධිය වෙනුවෙන්ම පෙනී ඉන්නා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුළු අනෙක් වෘත්තිය සංවිධානවලට ද ප‍්‍රබල තෙරපුමක් වනු ඇත්තේ ය. ඒ සමඟම මෙය කලා හා මාධ්‍ය ක්ෂේත‍්‍රයේ ඉතිරිව ඉන්නා ප‍්‍රගතිශීලී මිනිසුන්ට ද තවමත් ඉන්නා අකර්මන්‍ය ස්වභාවයෙන් මිදීමට ඉඩ සලසනු ඇති අතර පුළුල් සිවිල් ව්‍යාපාරයක් සඳහා කෙරෙන සැබෑ මැදිහත්මවීමකට ආරම්භයක් වනු ඇත්තේ ය. වත්මන් පාලනයේ ප‍්‍රධාන උපාය මාර්ගයක් වනුයේ වරදානයන් හෝ බිය ගැන්වීම් මගින් තමනට එරෙහි පාර්ශ්ව නිහඬ කිරීමයි. එහෙයින්ම එය පරාජය කිරීමට සමත් සිවිල් සංවිධාන එකමුතුවක් පිළිබඳව කල්පනාකිරීමට මෙය අගනාම මොහොත බව අප අමතක නොකළ යුතු ය.



දැන් රටට අවශ්‍යව ඇත්තේ දේශපාලන ව්‍යාපාර  සමඟ හරි හරියට වැඩ කළ හැකි ඔවුන්ට බලපෑම් කළ හැකි සිවිල් ව්‍යාපාරයකි. සෑම සංවිධානයක් තුළම තම පක්ෂයට ලැබෙනා වැඩි කුට්ටිය පිළිබඳව පොදු න්‍යාය පත‍්‍රයට වඩා සැලකිල්ල දක්වන දේශපාලන පක්ෂ පොදු අරමුණක් කරා ගෙන ආ හැක්කේ ශක්තිමත් සිවිල් ව්‍යාපාරයකට පමණි. එසේම එවන් සිවිල් ව්‍යාපාරයක් ස්ථාපිත කළ හැක්කේ ද ආගමික නායකයන් ඇතුළු විවිධ සිවිල් සංවිධාන හා පුද්ගලයන් බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් පමණි. එසේම එවන් සිවිල් ව්‍යාපාරයන් ස්ථාපිත කළ හැක්කේ ද ආගමික නායකයන් ඇතුළු විවිධ සිවිල් සංවධාන හා පුද්ගලයන් බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් පමණි. අප මේ භාරදූර කාර්යයට අත ගැසීමට පමා කිරීම යනු ඓතිහාසික වගකීමක් පැහැර හැරීමකි. අපි සැම විටම කුඩා දරුවන්ට වටු වැද්දාගේ කතාව කියාදෙන්නෙමු. මේ වනාහි දේශපාලන වටු වැද්දන්ට එරෙහිව අප සාමූහිකව දැල ඔසවාලිය යුතු අවස්ථාවයි.






- නුවන් උදය වික‍්‍රමසිංහ









MOST VIEWED VIDEO STORIES

MORE >>