Sri Lanka
April 17, 2014  06:20:AM

වර්ජන,තර්ජන හා හෙට දවස

September 21, 2012  

Bookmark and Share

සමගි පෙරෙමුණු ආණ්ඩුවේ විකෘති සමාජවාදී-ප‍්‍රජාතන්ත‍්‍රවාදී වැඩපිළිවෙළට අති සාර්ථක
දේශපාලන සටකපටකමකින් පිළිතුරු බැඳි ජේ.ආර්. 77 දී බලය ඇල්ලූවේ හයෙන් පහක
සුවිශාල ජනවරමකිනි. එහෙත් ජනතාව විසින් දෙන ලද වරම ඔහු පාවිච්චි කළේ
ආතුරවූවකු මෙන් ඉවබවක් නැතිව ය. ඉක්මනින්ම ජනතාවට තේරුම් ගියේ තමන්
සෑහෙන කලකට ගැලවී ගත නොහෙනා තාලේ උගුලකට සිරව ඉන්නා බවකි. ඉදින් එහි
කූටප‍්‍රාප්තිය ලෙස උතුර හා දකුණ එකවර ගිනි ගනිද්දී ජේ.ආර්. මිය පරලොව ගියේ
අත්තනෝමතික පාලකයන්ට ඊනියා ප‍්‍රජාත්ත‍්‍රවාදයට මුවහ වී ජනයාගේ ගෙල මිරිකීමට උගත හැකි දේශපාලන තක්සලාවක් විවෘත කර දෙමිනි.

 රටේ ජනතාවගේ අවාසනාව හා
නොදැනුවත් බව නිසාම ඔහුගෙන් පසුව ලංකාවට ලැබුණේම ඔහුගේ පාඩම් හොඳින් උගත්
සිසුන් මිස ඔහුගේ ක‍්‍රමයට අභියෝග කරන්නන් නොවේ. පේ‍්‍රමදාසගේ පටන්
රාජපක්ෂ දක්වාම සියලූ පාලකයන් තරගකාරි ලෙස ඔප්පු කළේ තමන් ජේ.ආර්.ගේ ක‍්‍රමයේ දක්ෂ සිසුන් බවම ය. ඒ අතරින් ද මහින්ද රාජපක්ෂ ජනපතිවරයා ජේ.ආර්.ගේ
දේශපාලන ක‍්‍රමය ඉදිරියට ගෙන යාම අතින් පළමු පංතියේ සාමාර්ථයක් ලබන තරම්
ප‍්‍රගතියක් පෙන්වා සිටියි. ඔහු තරම් හොඳට ජනතාව විසින් දෙනු ලබන බලය ඌරාගේ
පිටේ තිබා උගේ මාළු කපනා ක‍්‍රමයට ම භාවිතා කළ පූර්ව පාලකයකු නැත. එහිදී ජේ.ආර්
පවා ඉන්නේ දෙවෙනි පෙළෙහි ය.

අසූවේ වැඩ වර්ජනය යනු ජේ.ආර්.ගේ පාලනයට එරෙහිව එකල කම්කරු පංතිය විසින් දියත් කරන ලද අපේක්ෂා විරහිත සටනයි. බලය ඉතා ඉහළින් භාවිතා කරමින් සිටි එසේම ජනප‍්‍රියත්වය ද සැලකිය යුතු මට්ටමක පැවති රජයකට එරෙහිව නොගැළපෙන මොහොතක දියත් කනර ලද ද එම වර්ජනය ලංකාවේ කම්කරු පංතියේ අප‍්‍රතිහත ධෛර්යය හා කැපවීම පළ කළ අවස්ථාවක් වූවේ ය. එහෙත් ඊට අත් වූයේ දැඩි පරාජයකි. ඒ සමඟ ම පරාජයේ අවමානය ද, පීඩනය ද, දරා ගැනීමට ඔවුන්ට සිදු විය. තත්ත්වය තවත් බරපතළ වූයේ ඔවුන් වර්ජන ක‍්‍රියා මාර්ග කරා ඇද දැමූ නායකයින් විසින් පසුව කරන ලද මහා පාවාදීමයි. මේ වන විට ඉන් බොහොමයක් දෙනා ඉන්නේ ජේ.ආර් දෙවෙනි තැනට ඇද දැමූ රාජපක්ෂ පාලනයේ කම්කරු පීඩක පාලනයේ සුවච කීකරු අතකොලූ විලසිනි.

අසූවේ වැඩ වර්ජනය දියත් වන විට අප පසු වූයේ යෞවන වියෙහි ය. වර්ජනය සඳහා
ගුරුවරුන්ගේ සහභාගිත්වය පැවතියේ අඩු මට්ටමකිනි. එසේම වර්ජනයට පරාජය
හිමිවීමේ අනතුරක් ඇති බව එම අවධියේ දී පාසල් සිසුන් වූ අපට ද දැනෙමින්
තිබුණි. කෙසේ හෝ වේවා අප පාසලේ එකම එක ගුරුවරයෙක් වර්ජන තීන්දුවට හිස
නමා සිටියේ ය. ඔහු නමින් සේනාපති වූවේ ය. ඉදින් වර්ජනය දා අනෙක් සියලූ
ගුරුවරුන් රාජකාරියට වාර්තා කරද්දී අපේ ගුරුවරයා පාසලට ආවේ නැති. සිසුන්
කිහිප දෙනකු සමඟ මම එදා පාසලෙන් හොරෙන් පිටව ඔහු සොයා ගියෙමි. ඔහු
සිටියේ තවත් වර්ජකයන් කිහිප දෙනකු සමඟ ඒ අසල නිවසක සාකච්ඡාවක නියැළෙමිනි. අපි ඔහුගෙන් පරාජය ලැබීමට නියමිත සටන පිළිබඳව යළි සිතා බලන්නැයි ඉල්ලා සිටියෙමු. එකල සාපෙ. සිසුන්ව සිටි අප දෙස සෙනෙහසින් බලා සිටි ඔහු දුන්
පිළිතුර මට අදත් හොඳින් මතක ය. එසේම එය මගේ දිවියට අගනා පාඩමක් ද එක්
කළේ ය."සටන පරාද වෙන්න තියෙන ඉඩ වැඩියි කියලා මං දන්නවා පුතා. ඒත් අපි ගත්තෙ පොදු තීරණයක්. මං ඒ තීරණේ කඩ කරන්නෙ නෑ. මං පාවා දෙන්නෙක් වෙන්නෙ නෑ."

සැබැවින්ම ඔහු පාවා දෙන්නකු වූවේ නැති. ඉන් පසුව මා ඔහු ගුරු වෘත්තිය තුළ
දුටුවේ නැත. පසුකාලීනව ඇතැම් වර්ජකයන් සර්ප විෂ පිළිබඳ වෛද්‍ය වාර්තා රැගෙන
සේවයට වාර්තා කරද්දී (ඔවුන්ගේ තත්ත්වය ද අපට තේරුම් ගත හැකි ය.) ඔහුට
දෂ්ට කිරීමට පත්තෑයෙක්වත් සිටියේ නැති. අද ඔහු කොහි ඉන්නේ දැයි මම
නොදනිමි. එහෙත් පාවා නොදීම පිළිබඳව ඔහු එදා යෞවන අපට දුන් ආදර්ශය නම් ම
සිතේ ඇඳී තිබෙනුයේ නොමැකෙන ලෙසිනි.

මේ සියලූ දෑ යළි ම සිතේ ඇදීගියේ පසුගිය සැප්තැම්බර් 9 දින රාවයේ පළවූ
"ගුටිකෑවත් පසුතැවීමක් නෑ" යන ලිපිය කියවීමෙනි. අමරදිවාකර නම් වූ කම්කරු පංති
නියමුවාගේ ධෛර්මයත් ප‍්‍රකාශය කියවීමෙනි. ඒ සමඟම මට සිහිපත් වූයේ වර්ජනය
පාවා නොදී එළියට බට ඇතැම් වර්ජකයන් ඉරිදා පොළේ රෙදි වෙළෙඳාමේ යෙදුණු  අයුරයි. එකල අගලවත්ත ප‍්‍රදේශයේ තනි පයින් කිතුල් ගසනට නැඟ මල් කැපූ වර්ජකයකු ගැන ද පුවත් පතක ලිපියක් පළව තිබුණා මට මතක ය. ඒ අතර සිය දිවියට සමුදුන් අය ද සිටියහ. එහෙත් මේ සියලූම දෙනා විසින් සංඛ්‍යාවෙන් සුළු වුව ද පෙන්වා සිටියේ
අමරදිවාකර සහෝදරයා විසින් පෙන්නුම් කරනා ධෛර්යය, කැපවීම හා පාවා නොදීමේ
උතුම් ගුණාංගයන් ය. එහෙයින්ම ඔවුන්ට සියලූ දේශපාලන මතිමතාන්තර පසෙකලා අපේ ප‍්‍රණමය පුද කළ යුතු ය.

කෙසේ වෙතත් අමරදිවාකර සහෝදරයාගේ සටන හරහා අද දවසේ දී අපට ඔප්පු කර
දක්වන තවත් කුරිරු සත්‍යයක්  තිබේ. ඒ සත්‍ය මේ වන විට යළි යළි විවිධ පෙරමුණු හරහා ඔප්පු කෙරෙමින් පවතින්නකි. ඒ අද දවසේ පුරවැසියා යළිත් වරක් ජේ.ආර්.ගේ
තැන, ජේ.ආර් ද ඉක්මවා ගිය ක‍්‍රමයේ අවතාරයකට මුහුණ පා ඉන්නා බවයි. එය ඉතා
හොඳින්ම කැපී පෙනෙනුයේ කම්කරුවන්ගේ යහපත සිය පාලක ඉණිමඟේ සවිමත්ම
පියගැටයක් කර ගත් වත්මන් පාලකයන්, සරසවි ඇදුරු සටනේ දී හිණිමග ට පයින්
ගසනා පිළිකුල් සහගත ආකාරය දකිනා විට ය. දැන් අපට පාලකයන්ගෙන් අසන්නට
ලැබෙන්නේ එදා "තවම හෙල්ලූවේ අලියගෙ වලිගෙ විතරයි" යනුවෙන් ඇතුළත්මුදලි
විසින් පවසන ලද වදන් ද ඉක්මවා යන අත්තනෝමතික හා අසික්කිත වදන් ය. එසේම
ඔවුන් සරසවි ඇදුරු සටනට සවන් යොමු නොකිරීම හරහා පනින්නට හදනා පිම්ම ඉතා
පැහැදිලි ය. ලංකාවේ වෘත්තිය සටන් එහෙම පිටින්ම පාගා දමා ඒ අතර සරසවි
පද්ධතිය ද බිඳ දමමින් සිය පෞද්ගලික අධ්‍යාපන ව්‍යාපාරය පිළිබඳ න්‍යාය පත‍්‍රය
තහවුරු කරගැනීම!

අසූව දශකයේ කම්කරු පංතිය හා වත්මන් කම්කරු පංතිය සසඳන විට දක්නට ලැබෙන එක් පැහැදිලි ලක්ෂණයක් වනුයේ වත්මන් කම්කරු පංතිය තුළ වන පරිහාණියයි.
ආගම හා ජාතිවාදය දඩමීමා කරගත් පාදඩ පාලන ක‍්‍රමයක් ස්ථාපිත කිරීම සඳහා වම ද
ඇඳිවත ලෙහාගෙන පෙරට පැන්න පිම්ම දැන් අවසන් වී තිබෙනුයේ තමන් දුන් සහයෝගය තුට්ටුවකට මායිම් නොකරන එසේම වම දෙස අවඥාවෙන් බලන පාලකයකු කරලිය මත හිඳුවීමෙනි. එසේම දැන් රටේ කම්කරු පංතියේම  සහය  හිමිවිය යුතු  ඇදුරු සටන මුහුණ පා ඉන්නේ ඉතා බැරෑරුම් අඩියකට ය.

අනෙක් අතින් කවර දුෂ්කරතා මැද වුව විවිධ මත දරනා සිය සගයින් සටන් පෙරමුණේ රඳවා ගෙන සිටීම පිළිබඳව ඔවුන්ට ගෞරවය හිමිවිය යුතු ය. එහෙත් ඒ කිසිවක් දැන් ප‍්‍රමාණවත්  නැති. මේ අතීත අත්දැකීම් වර්තමානය හා අනාගතය සඳහා ඉවහල් කරගත යුතු මොහොතයි. එනම් සරසවි ඇදුරු සටන සමස්ත කම්කරු පංතියේම පොදු සටන් පාඨයක් කරගත යුතු මොහොතයි. ඉහළම වෛද්‍යවරයාගේ සිට පහලම මට්ටමේ සුළු සේවකයා දක්වා සමස්ත කම්කරු පංතියම පොදු අරගලයක් සඳහා වන සංවාදයකට ඇදගත යුතු මොහොතයි. මේ ලිපිය පළ වන විට සරසවි ඇදුරු සටන නිමවීමට, අතරමඟ සමාදානයකට එළඹීමට හෝ පාගා දැමීමට ඉඩ තිබෙන බව සත්‍යයකි. එහෙත් මේ සටන හරහා අපට වෘත්තිය සටන් තුළ එක්සත් භාවයේ වටිනාකම පිළිබඳ පාඩම උගත හැකි නම් එය ඉදිරියට කිසිසේත්ම අපතේ නොයනු ඇත්තේ ය.



-නුවන් උදය වික‍්‍රමසිංහ


Share this article with a friend

Provide your friends' Email address (Multiple email addresses can be separated with a comma and
should not contain any in between spaces.)

Recepient(s)  Your Name 
Copyright © 2012/13 Ada Derana. All rights reserved. Solution by Fortunaglobal.