Sri Lanka
April 19, 2014  02:14:AM

ඡන්දෙන් පස්සෙත් ගමට යන්න ජවිපෙ සූදානම්

September 14, 2012  

Bookmark and Share

පළාත් සභා මැතිවරණයෙන් පසු මැතිවරණ කටයුතු පිළිබඳ සමාලෝචනයටත් ඉදිරි වැඩසටහන් පිළිබඳ සාකච්ඡා කිරීමටත් ජවිපෙ දිස්ති‍්‍රක් සංවිධායකයින් 12 වෙනි දින සවස පැලවත්ත ප‍්‍රධාන කාර්යාලයට කැඳවනු ලැබ තිබුණි. එම රැස්වීම පක්ෂ නායක සෝමවංශ අමරසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සංවිධානය කර තිබූ අතර එහිදී විශේෂයෙන් මැතිවරණයෙන් පසුව ඇතිවී තිබෙන දේශපාලන තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු විය.

"ගිනි පෙට්ටියේ සිට වතුර මෝටර්, තහඩු දක්වා ජනතාවට අල්ලස් ලබාදෙමින් ජනාධිපතිවරයා, ඇමතිවරුන් සහ මන්ත‍්‍රීවරුන් ඇතුළු ආණ්ඩු බලය, පළාත් පාලන ආයතනවල බලය වගේම රාජ්‍ය මාධ්‍ය වගේම සියලූ මාධ්‍යවල අවස්ථාව ලබාගනිමින් මේ පළාත් සභා මැතිවරණය පැවැත්වූවා. මේක සියලූ දෙනාට සමාන තත්ත්වයන් යටතේ පැවැත්වූ මැතිවරණයක් නෙවෙයි. රාජ්‍ය බලය උපරිම වශයෙන් යොදාගනිමින් ජනතාව නොඉල්ලූ මැතිවරණයක් ලබාදී බලය කොල්ලකෑමට උත්සාහ කරන බව අපි මුලදිම ජනතාවට පැහැදිලි කළා. නැගෙනහිර, උතුරු මැද සහ සබරගමුව පළාත් සභා තුනේ බලය එක්සත් ජනතා නිදහස් සන්ධානය දිනාගන්නේ මේ වගේ පසුබිමක සිටයි." සාකච්ඡාව ආරම්භ කරමින් පක්ෂ නායකවරයා අදහස් දැක්වූවා.

"ඔව්.... ඒ වගේම ආණ්ඩුව ඡන්දයෙන් දිනුවා කියලා හෙට සිට ජනතාවට මොකද වෙන්නේ? අතීතයේදී ආණ්ඩුව ඡන්දවලින් දිනලා ජනතාවට කිසිදු ප‍්‍රතිලාභයක් නොලැබුණා වගේම හෙට සිට ජනතාවට කිසිදු ප‍්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. අධ්‍යාපනය සෞඛ්‍ය ඇතුළු සේවාවන් කප්පාදුව දිගටම සිදුකරනවා. බඩු මිල ඉහළ දමනවා. ජනතාවට විවිධ දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවනවා. මේ වෙනුවෙන් මහජන මුදල් නාස්තිය සහ වංචාව දූෂණය පෙර පරිදිම යොදාගන්නවා. ඒ වෙනුවට ඇමතිවරුන්ගේ ඡන්දය ඉල්ලූ ඥාතීන්ට වගේම හිතවතුන්ට මහජනතාවගේ ධනය වැයකරමින් විවිධ වරප‍්‍රසාද ලබාදෙනවා." ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කියා සිටියා.

"ඒ වගේම ආණ්ඩුව කිසිම සදාචාරයක් නැතිව මාධ්‍ය පාවිච්චි කළා. මැතිවරණ කොමසාරිස්ට අපි කොච්චර කරුණු ඉදිරිපත් කළත් ඒවා නවත්වන්න ඔහුට කිසිම හැකියාවක් තිබුණේ නැහැ." විජිත් හේරත් මහතා කියා සිටියා.

"ඔව්... අනුරාධපුරේ ගත්තාම හිටපු ඇමති බර්ටි සම්පූර්ණයෙන්ම පළාත් සභාවේ දේපළ සම්පත් හැමදෙයක්ම පාවිච්චි කළා. වාහන 40කට වැඩි ප‍්‍රමාණයක් පාවිච්චි කළා. ගබඩා කීපයක් විතරක් සීල් තිබ්බට අනෙක් කිසිම දෙයක් නවත්වන්න හැකියාවක් තිබුණේ නැහැ.” වසන්ත සමරසිංහ කියා සිටියා.

"ප‍්‍රතිඵලය කොහොම වුණත් ආණ්ඩුවට තිබුණ විරෝධය අඩුවෙන්නේ නැහැ. ආණ්ඩුව මැතිවරණ ජයග‍්‍රහණ අරගල මර්දනය කරන්න යොදාගනීවි. දැනටමත් විශ්වවිද්‍යාල ආචාර්වරුන්ගේ සටන ගත්තොත් ආණ්ඩුව කිසිදු විසඳුමක් ගැන හිතලා නැහැ. තාමත් විශ්වවිද්‍යාල පද්ධතිය අක‍්‍රීයයි. හෙට ඉඳලා ආයෙත් ගොවීන් උද්ඝෝෂණ පටන් ගනීවි. ඉදිරියට වැඩකරන ජනතාව පාරට බහීවි. එනිසා අපි මැතිවරණ ප‍්‍රතිඵලය වගේම මැතිවරණයෙන් පස්සේ රටේ ඇතිවන දේශපාලන වාතාවරණය පිළිබඳ සාකච්ඡාවක් මතුකරන්න  ඕනෑ. ඡන්දය දුන්නු ජනතාව එක්ක මේ ගැන කතා කරන්න  ඕනෑ.” බදුල්ලේ සංවිධායක සමන්ත විද්‍යාරත්න මහතා කියා සිටියා.

"ඔව්. අපි මැතිවරණය කරපු දිස්ති‍්‍රක් හත ආවරණය වන විදියට නැවත සාකච්ඡා මාලාවක් පවත්වමු. ඒක කරන්න පුළුවන් වෙන්නේ පක්ෂයක් විදියට අපිට විතරයි. එනිසා පක්ෂ නායකයින්ගේ මැදිහත්වීමෙන් අපි සියලූම දිස්ති‍්‍රක්කවල ගම්මට්ටමේ රැස්වීම් මාලාවක් සංවිධානය කරමු” ලාල්කාන්ත මහතා යෝජනා කළා.

"විශේෂ කාරණයක් මතුකරන්න  ඕනෑ. නැගෙනහිර පළාතේ ආණ්ඩුව දියත් කරපු මැතිවරණ කි‍්‍රයාවලියෙන් සිද්ධ වුණේ ජාතිවාදය පෝෂණය වුණ එක. හරි පැහැදිලියි සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිවාදය ඉස්මතුවෙන විදියට ආණ්ඩුව ඡන්දේ කළා. ඒ වගේම ආණ්ඩුව මැතිවරණයෙන් පසුවත් නැගෙනහිර පළාතේ තත්ත්වය සැලකිල්ලට ගෙන වැඩකරන විදියක් පේන්න නැහැ. මේකෙන් දිනුවේ ආණ්ඩුව නොවෙයි. ඩයස්පෝරාවයි. ජාත්‍යන්තරයයි. ආණ්ඩුව ජාත්‍යන්තරයට පණිවුඩ දෙන්න ඡන්දය තිබ්බා කිව්වට. ඒ සිග්නල් එක රටට හොඳ දෙයක් වෙන්නේ නෑ. ඒ වගේම ආණ්ඩුව ඡන්දෙට කලින් දිගටම කිව්වේ දෙමළ ජාතික සන්ධානය ඊළමක් හදන්න හදනවා. ඊළාම් මතවාදය හදන්න ඡන්දේ ඉල්ලනවා කියලා. නමුත් දැන් ආණ්ඩුව දෙමළ ජාතික සන්ධානයේ සහාය ඉල්ලනවා පළාතේ බලය පිහිටුවා ගන්න. ඒ අතරෙම ආණ්ඩුව යූඑන්පී එකට චෝදනා කරනවා දෙමළ ජාතික සන්ධානය එක්ක එකතුවෙලා බලය හදන්න යනවා ඒකෙන් වෙන්නේ ඊළමට පාර කපන එක කියලා. ඒ නිසා ආණ්ඩුව කොහොමත් ඉන්නේ දෙබිඩි ප‍්‍රතිපත්තියක. ඒ නිසා අපි වැඩි මැදිහත්වීමක් නැගෙනහිර පළාතට කරන්න  ඕනෑ.” සෝමවංශ අමරසිංහ මහතා අදහස් දැක්වූවා.

සාකච්ඡාවෙන් අනතුරුව ජවිපෙ නායකයින්ගේ ප‍්‍රධානත්වයෙන් උතුරු මැද, සබරගමු සහ නැගෙනහිර පළාත්වල සාකච්ඡා මාලාවක් පැවැත්වීමට තීරණය කෙරුණා. මෙහිදී නැගෙනහිර පළාතේ රැස්වීම් පක්ෂ නායක සෝමවංශ අමරසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකිරීමටයි තීරණය වුණා.


Share this article with a friend

Provide your friends' Email address (Multiple email addresses can be separated with a comma and
should not contain any in between spaces.)

Recepient(s)  Your Name 
Copyright © 2012/13 Ada Derana. All rights reserved. Solution by Fortunaglobal.