Back to Top

හෙට දවස ඇත්තේ කොතැනද..?

September 11, 2012  



පේරු රාජ්‍යයේ එක් ප‍්‍රසිද්ධ කතාවක් තිබේ. එය කම්කරුවකු පිළිබඳ කතාවකි. එය
සැබැවින්ම කම්කරුවකු දුටු සිහිනයක් පිළිබඳව කතාවකි. සැමදා සිහින තුළ ගිලී
ඉන්නා ලාංකික කම්කරුවාට මෙන්ම පොදු ශ‍්‍රී ලාංකිකයාට ද එය කියවීම වැදගත් වනු
ඇත්තේ ය. එම කතාවට අනුව ද කම්කරුවා පීඩිතයෙකි. සිය හාම්පුතාගේ දරදඬු
පාලනයට හසුව දිවි ගෙවෙන්නෙකි. ශ‍්‍රම සූරා කෑමට නිබඳවම ලක් වන්නෙකි. (අප රටේ නම් සමහරු කම්කරු පංතිය අහෝසි වී යාමක් ගැන ද කතා කරති.) ඔහුගේ දවස
ගෙවෙන්නේ හෙටක් පිළිබඳ අපේක්ෂාවක් නොමැති පසුබිමක ය. ඔහුට ඇති එකම
විවේකය නින්ද පමණි. එහෙත් එය ද අන් අය ලබනා බාධා රහිත සුව නින්ද නොවේ.
සිහිනයන්ගෙන් පිරුණ නින්දකි.

 එසේම ඔහු දකිනා සිහින ද කෙසේවත් සුබ සිහින
නොවේ. සැබෑ දිවියේ නිබඳ විඳිනා දුක් ලතැවුල්ම කැටුව එන කුරිරු සිහිනයන්ම ය.
ඉදින් එක් දිනෙක මේ කම්කරුවා වෙනස් ආකාරයක සිහිනයක් දකියි. එය ඔහුට අදහා
ගැනීමට පවා බැරි තරමේ සිහිනයකි. සිහිනයෙන් තෝන්තුව අවදි වන ඔහු සිය සිහිනය
පැවසීමට දිව යන්නේ ද සිය පීඩකයා එනම් හාම්පුතා වෙතට ය. සිය කම්කරුවාගේ
නින්ද පවා තමා යටතේ ඇති ධනයක් සේ සලකන හාම්පුතා තම කම්කරුවා දුටු සිහිනය
විස්තර කරන මෙන් ඔහුට නියෝග කරයි. කම්කරුවා ද මහත් අභිරුචියෙන් එහෙත් බයාදු සහගතව තමන්ගේ සිහිනය හාම්පුතාට පවසන්නට පටන් ගනියි.

"ඔන්න ඔබතුමයි මායි දෙන්නම එකට මැරිලා ස්වර්ගයේ දොරටුව ළඟට ගියා.” (තමාට
පෙර කම්කරුවා මිය යනු ඇතැයි, මියා යා යුතු යැයි විශ්වාස කරනා හාම්පුතාට මෙසේ
එකට මිය යාම යන්න පවා පිළිගත නොහැක්කකි.)
"ඉතිං.”
"එහෙදි සර්වබලධාරි දෙවියන් වහන්සේ අපිව විනිශ්චය කරන්න ආවා.”
"විනිශ්චය දෙන්න ඔනැ උඹට මිස මට නෙවෙයි. ඊට පස්සේ?”
"ඊට පස්සෙ උන්වහන්සේ මාව පෙන්නලා සුරදූතයන්ට මගෙ මුළු සරුවාංගෙම අසූචිවලින් නාවන්න කියලා නියෝග කළා."
"ඔව් ඉතිං හොරට ඉන්න උඹලව නාවන්න  ඕනැ ගූ වලින්ම තමයි. එතකොට උන්වහන්සේ මං ගැන මොකද කිවුවෙ?"
"උන්වහන්සේ සුරදූතයන්ට මෙහෙම නියම කළා - අර ඉන්න තැනැත්තාගේ මුළු සිරුර
පුරාම පැණි තවරාලනු!”
"අන්න බලාපං, උඹල මොනව හිතුවත් දෙවියන් වහන්සේ නිවැරදි , කළයුත්ත හරියට
දන්නවා. ඒක හන්ද තමයි උඹට ගූයි මට පැණියි ලැබුණෙ. ඊටත් පස්සෙ?”
"ඊට පස්සේ. . .” දැන් කම්කරුවා කතාව කියන්නේ පැකිළෙමිනි. ”ඊට පස්සේ
උන්වහන්සේ මෙහෙම නියෝග කළා. දැන් ඉතිං දෙන්නම තමන් ඉදිරියෙ ඉන්න අනිකගෙ ශරීරෙ පවිත‍්‍ර වෙනකම්ම තැවරිලා තියෙන දේවල් ලෙවකන්න  ඕනෑ. දැන් පටන් ගනු!”

බැලූ බැල්මට මේ වනාහි පීඩිතයාට යුක්තිය ඉටුවීම පිළිබඳ සිත් ගන්නාසුලූ කතාවකි.
සමාජයෙන් යුක්තිය ඉටු නොවුණ ද කම්කරුවාට එහි දී දෙවියන් වහන්සේගෙන්
යුක්තිය ලැබෙයි. එහෙයින් ලෝකය  කොතරම් දරුණු හා අසාධාරණ වුව ද යමකු ඊට
විස්සෝප නොවිය යුත්තේ ය. මේ කතාව සාහිත්‍ය රසයෙන් ද ඉහළ ය. එහි කදිම
උපහාසයක් ගැබ්ව තිබේ. පීඩකයාට අවසන නියම දඬුවමක් ද ලැබේ. එහෙත් ගැඹුරින්
බලන කල අපට පෙනී යන්නේ මෙය කෙසේවත් එතරම් සරල සත්‍යයක ප‍්‍රකාශ කිරීමක් නොවන බවයි. මතුපිටින් පෙනෙනා සර්ව සාධාරණ බව පිළිබඳ චිත‍්‍රය යටින් ඇත්තේ සෑම ආගමකම කෙරෙනා තාලෙන් අදෘශ්‍යමාන යුක්තියක් ගැන සිහිනයක පීඩිතයා රඳවා මංමුළා කිරීමකි. ඔහුගේ විරෝධය වදන් තුළ සඟවා දැමීමකි. එය හරියටම "වැරදි කළොත් පවු සිදුවේ සමාව නම් කිසි දිනෙක නැතේ හොඳ අයමයි ලොව රජවෙන්නේ" යනුවෙන් ගැයෙන පරිදිම ය.

ලංකාවේ කම්කරු පංතිය හා පොදු පුරවැසියා ද බොහෝ විට සමාන වනුයේ අර කතාවේ එන කම්කරුවාට ම ය. ඔහු මේ මොහොතේ රාජ්‍යය හා පෙළට සිටගත් මර්දන යන්ත‍්‍රයේ හා ආගමේ වහලෙකි. ගොදුරකි. ඉතා සංවිධිත, සූක්ෂ්ම හා කෛරාටික බැඳීමකින් තහවුරුව ඇති ඉහත ත‍්‍රිත්වය ඔහුගෙ සියලූ හිමිකම් පාගා දමයි. ඔහුගේ අන්තිම තඹය දක්වා සූරා කයි. ඔහුගේ දූ දරුවන්ගේ ද අනාගතය සිඳ බිඳ දමයි. එහෙත් ඒ අතරම විශ්ව සාධාරණය පිළිබඳ සුරංගනා කතා තුළ ගිල්වා ඔහුගේ තාර්කික බුද්ධිය මොට කර දමයි. බුද්ධාගමට කර්මය වන එය අන් ආගම්වල දී දෙවියන්ගේ කැමැත්ත බවට පෙරළයි. ඊට ගොදුරුවන පුරවැසියාට රාජ්‍ය ද වරදක් කළොත් ආගමෙන් එන දඬුවමින් ගැලවීමක් නැත යනුවෙන් දේශනා කරයි. ඉදින් පුරවැසියා ද කරනුයේ
අයුක්තියටඑරෙහිව නැඟී සිටීම වෙනුවට ඔව්වට වැඩි ආයුෂ නෑ කවදහරි පලදෙනවා
කියමින් අර කතාවේ කම්කරුවා පරිදිම ‘සිහින යුක්තිය පතා නින්දට වැටීමයි.’

අද අපට ජීවත්වීමට සිදුව ඇත්තේ ඇස් පනා පිටම අපේ අතේ තිබෙනා දෙය උදුරා
ගනු දැන දැක ය. එහෙත් මිනිස්සු තමන්ගේ හිමිකම් උදුරා ගැනෙන විට බයාදු සහගත ය.
සමහරුනට රටේ බොහෝ දෑ තමන්ගේ සම්පත් බව පවා අමතක ය. ඉන්දියාවට විදුලිය
දෙන්නට කතා කළ ආඩම්බරකාර ආණ්ඩුවක් නොරොච්චෝලේ බලාගාරය හරහා කරන
ජාතික ධන සම්පත් නාස්තිය රටේ පුරවැසියාට අදාළ නැත. ඊනියා සංවර්ධන
ව්‍යාපෘති හරහා එදා අපේ රටට කළ හානිය දැන් හොඳ හැටි පෙනෙද්දීත් ඒ පාරේම
යමින්, නව සංවර්ධන ව්‍යාපෘති නාමයෙන් සීමිත පිරිසකගේ සුඛ විහරණය තකා රටකම
අනාගතය බිල්ලට දෙන විට ද පුරවැසියා නිහඬ ය.

අපේ රටේ ඊනියා සංවර්ධනය පිළිබඳ හොඳම උදාහරණයක් සපයන ලද්දේ මෙවර ඔලිම්පික් උළෙල විසිනි. අපේ රටේ පාලකයන් ගේ සැලසුම් නොමැතිකම මනාව ඔප්පු කරමින් ක‍්‍රීඩකයෝ හිස් අතින් ආපසු ආවෝ ය. එය ඔවුන්ගේ අදක්ෂතාවක් නොව සමස්ත ආණ්ඩුවේම අදක්ෂකම හා සැලසුම් රහිත බව සත්‍යයයි. ඔලිම්පික් යන්නෙහි දී අපට වැදගත් වනුයේ ක‍්‍රීඩක දක්ෂතා නොව මෙරටේ විකාශන හිමිකම රාජ්‍ය ගුවන් විදුලි නාළිකාවට ලබා ගැනීම ය. නිසි සැලසුමක් සහිතව කාලයක් පුරා ඔලිම්පික් ඉසව් සඳහා ක‍්‍රීඩකයන් සූදානම් කිරීම වෙනුවට අප කළේ රටට ඔරොත්තු නොදෙන නිලධාරි නඩයක් නඩත්තු කිරිම හා ඔවුන් රටේ වියදමෙන් ලෝක සවාරියක යැවීමයි.

 අපේ දුරදක්නා සැලසුම්වල තරම මනාව දක්නට ලැබුණේ ලංකාවේ බැඞ්මින්ටන් ශූරයා පුහුණුකරුවකු ද නොමැතිව හුදෙකලාවේ ක‍්‍රීඩා කරන අසරණ විලාසය දුටු මොහොතේ ය. එහෙත් කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ දක්නට ලැබෙනා පොදු අකාර්යක්ෂමතාව හමුවේ අදාළ ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් මෙන්ම ලෝලීන් ද නිහඬ ය. රටේ සියලූම ක්ෂේත‍්‍ර ගත් කල පවත්නා තත්තවය ද මෙයම ය. සෑම දෙනාම සිදුවන අසාධාරණය හා වංචාව හොඳ හැටි දකිති. එහෙත් ඊට එරෙහි නොවී මුනිවත රකිති. දෙවියන්ගේ යුක්තිය පතා බලා සිටිති. එහෙත් අප තවමත් තේරුම් ගෙන නැත්තේ දෙවියන් වහන්සේ ලෙස පෙනී ඉන්නේ ද චෞරයා බවයි.

රටක පුරවැසියාගේ වගකීමක් වන්නේ මතු පරපුරට ආපසු හැරී බලන විට ආඩම්බර විය
හැකි කාර්ය භාරයක් වැඩිහිටියන් ලෙස ඉටුකර තැබීම ය. එහෙත් අද පුරවැසියාගෙන්
ඉටු නොවන්නේ ද එයයි. ඔහු අර කතාවේ එන කම්කරුවාගේ පුනරුත්පත්තියයි.
එහෙයින්ම අපේ තුන් හෙළයේ මහා ව්‍යසනයන්ට පාලකයනගේ ජඩකම මෙන්ම පුරවැසියාගේ නෝංජල්කම ද එක සේ බලපායි. දෙවියන් වහන්සේ පාලකයාගේ ඇඟේ පැණි තවරන දවසක් එන තුරු දෑත් බැඳ ඉන්නා කම්කරුවා හා පුරුවැසියා වෙනුවට දෙවියන් වහන්සේගේ නියෝජිතයා ලෙස පෙනී ඉන්නා පීඩකයා හට අභියෝග කරනා ක‍්‍රියාකාරී මිනිසෙක්! අපේ හෙට දවස ඇත්තේ එතැන නොවේ ද?


නුවන් උදය වික‍්‍රමසිංහ


MOST VIEWED VIDEO STORIES

MORE >>