කළු පැල්ලමක් ගැන බන්දුල කතා කරයි

කළු පැල්ලමක් ගැන බන්දුල කතා කරයි

November 9, 2018   01:29 pm

විදෙස් ආයෝජකයින්ගෙන් කප්පම් ගැනීමට නොව ඔවුන් තුළ විශ්වාසයක් ගොඩනැගීම වත්මන් ආණ්ඩුවේ අපේක්ෂාව බව ආයෝජන ප්‍රවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. 

කොළඹදී ඊයේ(08) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

ජනාධිපතිතුමා හා අගමැතිතුමා එක්ව ජාත්‍යන්තර වෙළඳකටයුතු සහ ආයෝජන ප්‍රවර්ධන පිළිබඳ අමාත්‍යාංශය තමන් වෙත භාර දුන් බව පැවසූ අමාත්‍යවරයා සඳහන් කලේ තම දැනීමේ හා විශ්වාසයේ හැටියට එය ඉතා විශාල වගකීමක් වන බව ද සඳහන් කළේය.

රටට විදේශ ආයෝජන ගලා ඒම සඳහා ප්‍රධාන බලධාරී ආයතනය වන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වන බවත් ඒ ආයෝජන මණ්ඩලයන් හා අපනයන වැඩිදියුණු කිරීම සඳහා වෙන අපනයන සංවර්ධන මණ්ඩල, අපනයන සැලසුම් කලාප, අපනයන ගම්මාන යනාදිය ඇතුලත් රටට විදේශ විනිමය ගලා ඒම හා ගලා යෑම සම්බන්ධයෙන් විශාල වගකීමක් තිබෙන ආයතනයක් වන බව ද පැවසීය.

එය නිසි ලෙස වඩා කාර්යක්ෂමව කළමණාකරණය කර ගැනීමට හැකි වුවහොත් ලංකාවේ නිර්යාත ආදායම් වැඩි කරගනිමින් රට ඇතුලට එන විදේශ විනිමය ප්‍රමාණය වැඩි කරගැනිමට හා ආයාත වියදම් අඩු කරගනිමින් රටින් පිටට යන විදේශ විනිමය ප්‍රමාණය අඩු කර ගැනීමට හැකි වන බවත් එතුමා පැවැසීය.

ඒ සඳහා කැපවීමෙන් අලුත් නිර්මාණාත්මක, නව උත්පාදන වැඩසටහන් රාශියක් දියත් කිරීමට හැකි වුවහොත් රටේ සමස්ත ලාංකීය ජනතාවට විශාල ප්‍රතිලාභයක් හා රට දියුණු කර ගැනීමට අවස්ථාවද ලැබෙන බව අමාත්‍යවරයා සඳහන් කලේය. 

ලංකාව තුළ ආයෝජනයක් සඳහා යන විට විවිධ වංචා හා දුෂණ, අක්‍රමිකතා, කොමිස් ඉල්ලා සිටීම් ප්‍රමාදවීම් ඇති බව බොහෝ විදේශීය ධන ආයෝජකයන්ගෙන් පසුගිය කාලය තුළ එල්ල වූ චෝදනාව වූ බව ඔහු පැවැසීය.

ඒ සඳහා දේශපාලන නායකකාරකාදීන් විශාල වශයෙන් මැදිහත් වන බවට ජාත්‍යන්තර කළු පැල්ලමක් තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කලේය.

රටේ ජාතිය, වස්තුව ගඩොල්කැටයකින්වත් අඩු කිරීමට දායක නොවූ හා නූල් පොටක්වත් සොරකම් කිරීමට දායක නොවූ, සත පහකවත් කොමිස් මුදලක් ලබා ගැනීමට ක්‍රියා නොකල දේශපාලඥයන් ලෙස අලුත් විශ්වාසයක් විදේශීය ආයෝජකයින් තුළ ඇති කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා මාධ්‍ය අමතා ප්‍රකාශ කලේය.

ලංකාව ඉතාම විනිවිද පෙනෙන ආකාරයෙන් ආයෝජනය කිරීමට සුදුසු රටක් බවට පත් කිරීමට හා රටේ ගෞරවනීය කීර්තිනාමය ඉහල නැංවීමට හැකි වුවහොත් එය තමන්ට කළ හැකි ලොකුම සේවය වන බවද එතුමා පැවැසීය.