හලාවත රෝහලේ බිළිඳුන් මිය යෑම ගැන විමර්ශනයක්

හලාවත රෝහලේ බිළිඳුන් මිය යෑම ගැන විමර්ශනයක්

November 9, 2018   01:01 pm

දින දහයක් තුළ හලාවත මහා රෝහලේදී, දරු ප්‍රසුතියේදී මියගිය මවගේ හා බිළිඳුන් තිදෙනාගේ මරණ සම්බන්ධයෙන් මේ වන විට ආයතනික මට්ටමෙන් හා ජාතික මට්ටමෙන් විමර්ශන ආරම්භ කර ඇති බව හලාවත මහා රෝහලේ අධ්‍යක්ෂක ලලිත් පොද්දල්ගොඩ මහතා පවසයි.

මේ වන විට කර ඇති පරීක්ෂණ අනුව මවගේ මරණයට පැහැදිලි හේතුවක් අනාවරණය වී නොමැති බව ප්‍රකාශ කල රෝහල් අධ්‍යක්ෂකවරයා එම බිළිඳියගේ මරණයට හේතුව හිසේ තිබු තැලුම් කීපයක් බව සැක කරන අතර එය ප්‍රසුතියේදී සිදුවූ තෙරපුමක් හේතුවෙන් වන්නට ඇතැයි සැක කරන බවද පැවසිය.

දෙවන සිදුවීමේ බිළිඳියගේ මරණය මවගේ ගර්භාශයේ ම සිදුව ඇති බවට මේ වන විට අනාවරණය වී ඇති බව ප්‍රකාශ කල රෝහල් අධ්‍යක්ෂකවරයා තෙවන සිදුවීමට හේතුව පශ්චාත් මරණ පරීක්ෂණයක් නොපැවැත්වීම නිසා ස්ථිරව කිව නොහැකි බව ද පැවසිය.

පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා දෙමාපියන් විරුද්ධ වීම මිට ප්‍රධාන හේතුව බව වාර්තා වේ.

හලාවත මහා රෝහලෙන් පළමු සිදුවීම වාර්තා වුයේ පසුගිය මස 28 වන දිනයි. එහිදී මිය ගියේ රසිකා ජිවනි නමැති තිස්පස් හැවිරිදි මවකි. මේ මව මිය යාමට පෙර ඇයට ලැබුණු බිළිඳිය ද මිය ගියේය.

දෙවන සිදුවීම පසුගිය 4 වැනි දින සිදුව තිබේ. මින් මියගොස් ඇත්තේ පහල අත්තන්ගනේ,නල්ලදරන්කට්ටුව පදිංචිකාරියක් වූ ටානියා කල්හාරි ( 21 ) නමැත්තියට ලැබුණු  බිළිදියයි. 

තෙවන සිදුවීම පසුගිය5 වන දින පස්වරුවේ සිදුව තිබේ. මින් මියගොස් ඇත්තේ උඩප්පුව ප්‍රදේශයේ පදිංචිකාරියක් වූ පෙරියන්ඩි වදනි  (30 )නමැත්තියට ලැබුනු බිළිදායි.

මේ සිදුවීම වාර්තා වීමත් සමඟ දරු ප්‍රසුතියක් සඳහා හලාවත මහා රෝහලට ඇතුලත් වීමට මව්වරුන් බියක් පල කළ අතර එසේ වීමට අවශ්‍යතාවයක් නොමැති අතර මේ වන විට රෝහලේ කටයුතු ඉතා හොඳින් සිදු වන බව හලාවත මහා රෝහලේ අධ්‍යක්ෂක ලලිත් පොද්දල්ගොඩ මහතා වැඩිදුරටත් පැවසිය.