විශේෂ අයෙක් ඉල්ලා ගැබිණි මව්වරු මහ පාරේ

විශේෂ අයෙක් ඉල්ලා ගැබිණි මව්වරු මහ පාරේ

November 9, 2018   10:45 am

මැදිරිගිරිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සේවාව නිසි පරිදි නොලැබෙන බව පවසමින් මැදිරිගිරිය ප්‍රදේශයේ ගැබිණි මව්වරුන් පිරිසක් විරෝධතාවක නිරත විය.

ඔවුන් පවසන්නේ මෙම රෝහලෙහි ප්‍රතිකාර ගැනීමට නොහැකි වුවහොත් කිලෝමීටර 30ක පමණ දුරක් ගෙවා තමන් පොළොන්නරුව මහ රෝහලට යායුතුව ඇති බවයි.

මැදිරිගිරිය ප්‍රදේශයේ ජීවත්වන ගැබිණි මව්වරුන් ඊයේ(08) පස්වරුවේ මැදිරිගිරිය කළගෙඩි පාලම හරස් කරමින් විරෝධතාවයේ නිරත වී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වුණේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්  ගම්මාන 20ට වැඩි ප්‍රමාණයක ජීවත් වන ගැබිණි මව්වරුන්ට ප්‍රතිකාර ලබා ගැනීම ඇති මැදිරිගිරිය මූලික රෝහලෙහි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු ස්ථිර ලෙස නොමැති බව පවසමින්ය.

රෝහලට සේවය සඳහා පැමිණෙන වෛද්‍යවරු සති කිහිපයකින්ම වෙනත් රෝහල් වෙත සේවාමාරුවීම් ලබාගන්නා බව විරෝධතාකරුවන් පවසයි.

මැදිරිගිරිය මූලික  රෝහලෙහි ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව නොලැබුණහොත් ප්‍රදේශයේ ගැබිණි මව්වරුන් කිලෝමීටර 30ක පමණ දුරක් ගෙවා පොළොන්නරුව මහ රෝහලට යායුතු බව ඔවුන් පවසයි.