ජලයේ සැඟවුණ ජීවිත 6ක් ගුවන් මෙහෙයුමින් බේරෙයි

ජලයේ සැඟවුණ ජීවිත 6ක් ගුවන් මෙහෙයුමින් බේරෙයි

November 9, 2018   09:55 am

මුලතිව්, නිත්තකායිකුලම් වැව ආසන්නයේ ජලයට මැදිව සිටි පිරිසක් ගුවන් හමුදාවේ මෙහෙයුමකින් අද(09) උදෑසන බේරා ගැනීමට සමත්ව තිබේ.

වැව් බැම්ම ඊයේ(08) දිනයේ දී හදිසියේ කැඩී යෑමෙන් ජලයට මැදි වී තිබේ.

ඒ පිළිබඳව මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරයාගේ ඉල්ලීම මත ගුවන් හමුදාව මෙම මෙහෙයුම සිදු කර ඇත.

ඒ පිළිබඳ වහාම ක්‍රියාත්මක වු ගුවන් හමුදා නිලධාරීන් ගුවන් හමුදාපතිගේ උපදෙස් මත ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අනුරාධපුර කඳවුරේ එම්.එයි.17 වර්ගයේ ගුවන් යානයක් සහ ගුවන් භටයන් 6 දෙනෙකු විසින් ක්ෂණිකව මුදවා ගැනීමේ කණ්ඩායමක් අද උදෑසන මුලතිව් බලා පිටත්කර යවා තිබේ.

ඔවුන් විසින් අයහපත් කාලගුණය මධ්‍යයේ අනතුරට පත් සිවිල් වැසියන් 6 දෙනෙකු සහ එම ස්ථානයේ සහන කටයුතු සඳහා යොදවා සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ භට පිරිසක් ද ගුවන් මගින් මුදවා ගෙන ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇත.

තව දුරටත් එම ප්‍රදේශයේ අනතුරට පත්වූවන් සොයා නිරීක්ෂණ කටයුතු සිදු කරයි.