ශ්‍රී ලංකා-සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අධ්‍යයනයට විශේෂඥ කමිටුවක්

ශ්‍රී ලංකා-සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අධ්‍යයනයට විශේෂඥ කමිටුවක්

August 11, 2018   11:49 am

 

ශ්‍රී ලංකා -  සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ විශේෂ අධ්‍යයනයක් සිදුකොට වාර්තා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ස්වාධීන විශේෂඥයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කර තිබේ.

අදාළ ගිවිසුම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගෙන් ලැබී ඇති අදහස් සලකා බලමින් ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති විශ්‍රාමලත් ආර්ථික විද්‍යා මහාචාර්ය දේශමාන්‍ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් මහතා එම කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබද හිටපු මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ, කැලණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබද හිටපු මහාචාර්ය අජිතා තෙන්නකෝන්, ස්වාධීන උපදේශක ආචාර්ය සනත් ජයනෙත්ති සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සහකාර අධිපති ආර්.ඒ.ජයතිස්ස යන මහත්වරුන් සෙසු සාමාජිකයින් වේ.

ඒ අනුව සිංගප්පූරු වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් විශේෂ අධ්‍යයනයක් සිදු කිරීමටත්, යෝජිත නව වෙළඳ ප්‍රතිපත්තියේ ප්‍රායෝගික බලපෑම් හා භාවිතයන් ද, ඉදිරියේදී මෙරට තුළ වෙළඳ ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා අවශ්‍ය  ප්‍රතිපත්තිමය මඟ පෙන්වීම් සඳහා නිර්දේශ ලබා ගැනීම එම කමිටුව මඟින් අපේක්ෂා කරන බව සඳහන්ය.

එමෙන්ම මෙම කමිටුව වෙත තම යෝජනා හා අදහස් කිරීම සඳහා සියළු පාර්ශවයන්ට විවෘතව ඉඩ සලසා දී බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එම වි‍ශේෂඥ කමිටුවේ කාර්යභාරයෙහි ප්‍රගතිය වරින් වර අතුරු වාර්තා මඟින් ජනාධිපතිවරයා විසින් සොයා බැලීමට කටයුතු කරනු ලබන අතර අවසන් වාර්තාව මාස 02 ක් ඇතුලත භාර දීමට නියමිතය.