Back to Top

තැපැල් සේවක ඉල්ලීම්වලට විසඳුම් සොයද්දි වර්ජනය කිරීම අසාධාරණයි

තැපැල් සේවක ඉල්ලීම්වලට විසඳුම් සොයද්දි වර්ජනය කිරීම අසාධාරණයි

June 14, 2018  07:49 pm

Bookmark and Share

 

තැපැල් වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කළ ඇති ඉල්ලීම් සාධාරණ බව පිළිගන්නා නමුත් ඔවුන් විසින් අරඹා ඇති වැඩ වර්ජනය අසාධාරණ බව තැපැල් සේවා හා මුස්ලිම්  ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඇම්.ඩී.බී මීගස්මුල්ල මහතා පවසයි.

එම වර්ජනයට අදාළ ඉල්ලීම් වලට විසඳුම් ලබා දීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් ආචාර්ය සරත් අමුණුගම ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් අනු කමිටුවක්ද පත් කර ඇති බව ඔහු සඳහන් කළේය. 

එම කමිටුව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ වැටුප් කොමිෂන් සභාව, කළමනාකරණ දෙපාර්තමේන්තුව ආදී ආයතන සමඟ සාකච්ඡා කරමින් මෙම ඉල්ලීම් වලට විසඳුම් සොයමින් සිටින බවද අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසීය.

එවැනි තත්ත්වයක් යටතේ අත්‍යාවශ්‍ය සේවාවක් වන තැපැල් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිතිය වර්ජනය කිරීම අසාධාරණ බව ලේකම්වරයා පැවසුවේ තැපැල් මූලස්ථානයේ අද (14 ) පැවැති මාධ්‍ය හමුවේදීය.

තැපැල් සේවක ඉල්ලීම් වලට මුල් වී ඇත්තේ 2006 දරණ රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛනයයි. තැපැල්, දුම්රිය ආදී දෙපාර්තමේන්තුවල උසස් වීම් වලට මෙයින් විශාල බලපෑමක් සිදු වෙනවා. එබැවින් මෙම ප්‍රශ්නය විසදීම ඉතා සංකීර්ණයි. එසේ වුවත් ඉදිරි දින කිහිපය තුළ මෙයට විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද මීගස්මුල්ල මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම තැපැල් වර්ජනය නිසා තැපැල් කාර්යාල මඟින් සිදු කෙරෙන විශ්‍රාම වැටුප් ගෙවීම සහ වැඩිහිටි දීමනා ගෙවීම සහ පින් පඩි දීමනා ගෙවීම් සහ රථවාහන වල දඩ පත්‍රිකා මඟින් මුදල් අය කර ගැනීම ඇණ හිටිම නිසා මහජනතාවට මහත් හිරිහැර සහ අපහසුතාවයන්ට මුහුණ දීමට සිදු වී ඇතැයි තැපැල්පති රෝහණ අබේරත්න මහතා මෙහිදී පැවසීය.

එමෙන්ම විදේශ ලිපි බෙදාහැරීම්ද නතර වී ඇති අතර කටුනායක ගුවන්තොටුපළේ තැපැල් භාණ්ඩ කන්ටේනර් රාශියක් හිර වී තිබේ. 

ජාත්‍යන්තර තැපැල් සේවාවන් අතර විශ්ව තැපැල් සංගමයේ වර්ග කිරීම අනුව රටවල්  193කින් ප්‍රථම රටවල් 9 අතරට ශ්‍රී ලංකා තැපැල් සේවය පත් වී තිබේ. මෙම වැඩවර්ජනය හේතුකොට ගෙන එම තත්ත්වය නැති වීමෙන් ශ්‍රී ලංකාවට කළු පැල්ලමක් ඇති වීමට ඉඩ තිබෙන බවද තැපැල්පතිවරයා සඳහන් කළේය.

වර්ජනය හේතුකොට ගෙන තැපැල් කාර්යාලවල සහ මධ්‍යම තැපැල් හුවමාරුවේ ලිපි ලක්ෂ 15ක් පමණ ගොඩ ගැසී ඇති බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බවත් වර්ජනය ඇරඹිමෙන් පසු අළුතෙන් ලිපි නොලැබීම නිසා ලිපි ගොඩගැසීමට හේතුවක් නොමැති බවත් අබේරත්න මහතා සඳහන් කළේය.

කෙසේ වුවද ලබන සතිය වන විට තැපැල් සේවකයින් යළි සේවයට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බව අමාත්‍යංශයේ ලේකම් මීගස්මුල්ල මහතා පැවසීය.