සරත් එන්. සිල්වාගේ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප වෙයි

සරත් එන්. සිල්වාගේ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප වෙයි

June 14, 2018   10:44 am

පළාත් සභා මැතිවරණ සංශෝධන පනත පාර්ලිමේන්තුව මඟින් සම්මත කළ ආකාරය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා හිටපු අගවිනිසුරු සරත්. එන්. සිල්වා මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ තීන්දුවක් මත විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(14) නියම කළේය.

එම පෙත්සම අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, බුවනෙක අලුවිහාරේ සහ නලින් පෙරේරා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බලනු ලැබීය.

එහි තීරණය ප්‍රකාශයට පත් කළ අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා විවෘත අධිකරණයේ සඳහන් කළේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ තීරණය මත පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන බවයි.

හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා තම පෙත්සමෙන් සඳහන් කර තිබුනේ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත  ජනමත විචාරණයකට යොමු නොකොට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැන බවයි.

එහෙත් එම පෙත්සමට එරෙහිව මූලික විරෝධතා මතු කළ නීතිපතිවරයා ඇතුළු පාර්ශව කිහිපයක් අදාළ පනත් කෙටුම්පත දැනටමත් පාර්ලිමේන්තුවේ සම්මත වී ඇති නිසා එය අධිකරණ හමුවේ ප්‍රශ්න කළ නොහැකි බව සඳහන් කළේය.

සියලු කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය අනතුරුව මෙම නියෝගය ප්‍රකාශයට පත් කර තිබේ.