පොලිස් නිලධාරියෙක් මාළු වෙළෙන්දෙක් වෙලා ?

පොලිස් නිලධාරියෙක් මාළු වෙළෙන්දෙක් වෙලා ?

June 13, 2018   01:41 pm

 

ජංගම දුරකථනය හරහා මුදල් හුවමාරු කරමින් දඹුල්ලේ මත්කුඩු අලෙවි කරමින් සිටි ප්‍රධාන ජාවාරම්කරු බවට සැක කරන පුද්ගලයෙකු හෙරොයින් කුඩු මිලිග්‍රෑම් 1110 සමඟ සැකපිට අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව දඹුල්ල පොලීසිය පවසයි.

මාසයක පමණ කාලයක් මෙම පුද්ගලයා පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා  පොලිස් කණ්ඩායම් කිහිපයක් ම ක්‍රියාත්මක වූ බවත් එක් පොලිස් නිලධාරියකු මාසෙක පමණ කාලයක් දඹුල්ල කණ්ඩලම අමුණ පාර ප්‍රදේශයේ සැකකරුගේ නිවෙස ආසන්නයේ මාළු අලෙවි කිරීමේ වෙළෙන්දෙකු ලෙස පෙනීසිටිමින් සැකකරු අත්අඩංගුවට ගැනීමට  හැකිවූ බව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා පැවසීය.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ  දඹුල්ල  කණ්ඩලම ප්‍රදේශයේ දඹුල්ල කණ්ඩලම අමුණ පාර ප්‍රදේශයේ පදිංචි වීරකෝන් ආරච්චිගේ සුගත් සිරිවර්ධන නැමැති අයෙකු බව පොලිසිය පවසයි.

ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන මෙම සැකකරු විවිධ වර්ගයේ වාහන කිහිපයක් පාවිච්චි කරන බවත් කිසිඳු ආකාරයකින් මත්කුඩු අලෙවි කිරීමේ ජාවාරම ක්‍රියාත්මක වන බවට සැක කටයුත්තක් සිදු නොවන ආකාරයෙන් හැසිරීම සිදු කොට ඇති බවත් ඇතැම් ප්‍රදේශයේ පුද්ගලයන් ලවා පොලීසියට මෙම පුද්ගලයා පිළිබඳව චරිත සහතික පවා ලබාදී ඇතැයි පොලිසිය ප්‍රකාශ කළේය.

සැකකරු සන්තකයේ තිබී  හෙරොයින් මිලිග්‍රෑම් 1110 සොයාගත් බවත් මෙම පුද්ගලයා ජංගම දුරකථනය හරහා මුදල් හුවමාරු කරමින් තොග වශයෙන් දඹුල්ල ප්‍රදේශයේ මත්කුඩු අලෙවි කිරීම සිදුකරන බව පොලීසිය කියයි.

සැකකරු දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.

දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් පරිදි දූෂණ මර්දන අංශයේ උප පොලිස් පරීක්ෂකවරුන් වන  ඊ .ජි .ආර් .ඇල්ලේපොල  ඒ .ටි .බණ්ඩාර ,කේ .යු .බී . ද සිල්වා පොලිස් කොස්තාපල්වරුන් වන  75706 සිල්වා 53554 දසනායක ,6134 සිරිවර්ධන 72279   විජේසූරිය23519 රණවීර  73274කුමාර 3252 බණ්ඩාර 45582 සෙනෙවිරත්න  යන නිලධාරිහු මෙම වැටලීමට එක්ව සිටියහ.