ගෝඨාභයට එරෙහි පෙත්සම හෙට කැඳවයි

ගෝඨාභයට එරෙහි පෙත්සම හෙට කැඳවයි

June 13, 2018   01:41 pm

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපල පනත යටතේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබෙන සහතිකය නීතිවිරෝධී බවට ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම හෙට(14) දින කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබේ.

මෙම පෙත්සම අද(13) අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

මෙහිදී විනිසුරුවරුන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල්වරයාට දන්වා සිටියේ පෙත්සම්කරු සම්බන්ධයෙන් ගන්නා ඉදිරි නීතිමය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් හෙට දින අධිකරණය දැනුවත් කරන ලෙසයි.

ඒ අනුව පෙත්සම හෙට දින කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

 හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණය හමුවේ කියා සිටින්නේ මැදමුලන ඩී. ඒ.   රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී රජයේ මුදල් රුපියල් මිලියන 90 කට ආසන්න මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය තමන්ව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීමට සූදානම් වන බවයි.

ඒ සඳහා පොලිසිය විසින් දැනටමත් පොදු දේපල පනත යටතේ සහතිකයක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති බවත් එම සහතිකය ගොනු කර ඇති ආකාරය නීතියට පටහැනි බව පෙත්සම්කාර රාජපක්ෂ මහතා අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේය.

ඒ අනුව අදාළ සහතිකය බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

මේ අතර අදාළ පොදු දේපළ පනත යටතේ ගොනු කර තිබෙන සහතිකය මත පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ක්‍රියා කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය පොලිසිය වෙත දැනටමත්  තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.