මුවෙක් මරා මස් කරමින් සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට

මුවෙක් මරා මස් කරමින් සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට

June 13, 2018   10:30 am

 

කලාවැව ජාතික උද්‍යානයේ  සිටි  මුවෙකු මරා මස් කරමින් සිටි පුද්ගලයකු තුවක්කු දෙකක් සමඟ අද (13) දින අලුයම ගල්කිරියාගම වනජීවී නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිරියාගම පරවහගම ප්‍රදේශයේ කලාවැව ජාතික උද්‍යානය ආසන්නයේ පිහිටි රත්මල්ගහ වැව ප්‍රදේශයේ පුද්ගලයෙකු මුවෙකු ඝාතනය කොට මස් කරමින් සිටින බවට ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ වනසත්ත්ව නියාමක ඩි . රාමසිංහ මහතාට තොරතුරක් ලැබී තිබිණි.

වහාම ක්‍රියාත්මක වූ ඒ මහතා තවත් සේවකයෙකු හා ඉතා රහසිගතවම මහා වනමැද අළුයම් කාලයේ නික්ම  ගොස් ඇත . පසුව මුවෙකු මරා මස් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු දැක තිබේ.

ඉන් එක් අයකු බදින තුවක්කුවක් සහ පතුරන් තුවක්කුවක් සමඟ සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. තවත් සැකකරුවෙකු ස්ථානයෙන් පළා ගිය බව රාමසිංහ මහතා පැවසීය.

වෙඩි තබා ඝාතනය කළ මුවාගෙ මස් කොටස් සමඟ සැකකරු ගල්කිරියාගම වනජීවී කාර්යාලය වෙත රැගෙනවිත් කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වනජීවී නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශයේ ද යැවූ බව රාමසිංහ මහතා සඳහන් කළේය.