කියුබාවේ ජනාධිපතිධූරය කැස්ත්‍රෝ පවුලෙන් ගිලිහෙයි-නව ජනපති 57 හැවිරිදි ඉංජිනේරුවෙක්
සයුරෙන් එතෙර

කියුබාවේ ජනාධිපතිධූරය කැස්ත්‍රෝ පවුලෙන් ගිලිහෙයි-නව ජනපති 57 හැවිරිදි ඉංජිනේරුවෙක්

April 17, 2018   01:45 pm


අප්‍රේල් 19වනදා සිට ක්‍රියාත්මක වන පරිදි කියුබාවේ නව ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන්නේ ඉංජිනේරුවෙකු වන 57 හැවිරිදි ඩයස් කානල් බව එරට මාධ්‍ය වාර්තා කරයි.

විප්ලවිය නායක ෆිදෙල් කැස්ත්‍රෝගෙන් පසු කියුබාවේ ජනාධිපති ධුරය හොබවනු ලැබූවේ රාවුල් කැස්ත්‍රෝ විසින් වන අතර ඔහු මේ සතියේදී  ධූරයට සමුදීමට නියමිතයි.

ඉදිරි වසර 05 සඳහා කියුබානු පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත්කරගැනීමේ මැතිවරණය මාර්තු 11 වැනි දින පැවැත් වූ අතර රාවුල් කැස්ත්‍රෝ එම මැතිවරණයට ඉදිරිපත් නොවීම මත ඔහු තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන්නේ නැහැ.

ඒ හේතුවෙන් ඔහුට ජනාධිපති ධුරය නොලැබෙන අතර ඉදිරි කාල වකවානුව සඳහා කියුබාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ඇත්තේ 57 හැවිරිදි ඉන්ජිනේරුවෙකු වන ඩයස් කානල්.

ඔහු කියුබාවේ හිටපු උප ජනාධිපතිවරයෙක්ද වෙයි.

මාර්තු 11වනදා පැවති ඡන්ද විමසීමේදී ඡන්ද දායකයන් මිලියන 7.3ක් ඡන්දය භාවිත කර ඇති අතර එය ලියාපදින්චි ඡන්ද දායකයන්ගෙන් 82.9%ක ප්‍රතිශතයක්.

මෙහිදී නියෝජිතයන් 605 දෙනෙකු තෝරා පත්කර ගැනුණි.

කියුබානු පාර්ලිමේන්තුවේ මීළඟ සැසිවාරය ආරම්භ වීමට නියමිතව ඇත්තේ අප්‍රෙල් 19 වැනි දිනයි.

කෙසේ නමුත් රාවුල් කැස්ත්‍රෝ තව දුරටත් කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලබන බවද එරට මාධ්‍ය වාර්තා කරයි.