Back to Top

Ad

  SAITM අභියාචනය සමතයකට පත්කර ගත හැකියි

SAITM අභියාචනය සමතයකට පත්කර ගත හැකියි

September 14, 2017  03:58 pm

Bookmark and Share


සයිටම් පෞද්ගලික වෛද්‍ය  විද්‍යාලයේ උපාධිධාරීන් ලියාපදිංචි කරන ලෙස අභියාචනාධිකරණය දී ඇති නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා  ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉදිරිපත් කර ඇති අභියාචනය සමතයකට පත්කර  ගැනීමේ හැකියාව පවතින බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

අදාළ පෙත්සම අද (14) බුවනෙක අලුවිහාරේ , සිසිර ද ආබෘ සහ අනිල් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ල හමුවේ කැඳවු බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ අභියාචනා පෙත්සම සමතයකට පත් කිරීමේ හැකියාව පවතින බවයි.

මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වෙන බැවින් පෙත්සම් විභාගය කල් දමන ලෙස ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

එහෙත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ ඒ සම්බන්ධයෙන් තමන්ට උපදෙස් ලැබී නොමැති බවයි.

කෙසේවෙතත් නඩු විභාගය ඉදිරියට පත්වාගෙන යන බව කියා සිටි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒ සම්බන්ධයෙන් සමතයකට පත්වීමේ හැකියාවක්  තිබේ නම් ඉදිරියේ දී දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස පාර්ශවකරුවන්ට දන්වා තිබේ.

මේ සම්බන්ධයෙන් වන වැඩිදුර කරුණු විභාගය හෙට දින දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල  තීරණය කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.