Back to Top

 නීතිපතිට නොතීසි! ලලිත්ට-අනූෂට ඇප ලැබෙයිද? තීන්දුව 20 දා

නීතිපතිට නොතීසි! ලලිත්ට-අනූෂට ඇප ලැබෙයිද? තීන්දුව 20 දා

September 14, 2017  10:41 am

Bookmark and Share


බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන් විසින් ඉදිරිපත් කළ ඇප පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස කොළඹ මහ අධිකරණ විසින් නියෝග කර තිබේ.

ඒ අනුව සැප්තැම්බර් මස 20 අදාළ කරුණු දක්වන්නැයි  කොළඹ මහ අධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නීතිපතිවරයා වෙත නොතීසි නිකුත් කර තිබේ.

අදාළ පෙත්සම් අද(14) කැඳවූ අවස්ථාවේ ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කියා සිටියේ අදාළ දඬුවමට එරෙහිව අභියාචනයක්ද ඉදිරිපත් කර ඇති බවයි.

එම නිසා එය විභාග කර අවසන් තීන්දුවක් ලබා දෙන තෙක් එම විත්තිකරුවන් ඇප මත නිදහස් කරන ලෙසද නීතිඥවරයා  අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහ අධිකරණ විනිසුරු අදාළ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය සැප්තැම්බර් මස 20 දින අධිකරණය හමුවේ දන්වන්නැයි නොතීසි නිකුත් කර තිබේ.

2015 වසරේ ජනාධිපතිවරණ සමයේ දී විදුලි සන්දේශ නියාමන කොමිසම් සභාවේ රුපියල් මිලියන 600 ක මුදලක් භාවිත කර දිවයින පුරා ඇති විහාරස්ථානවලට සිල් රෙදි බෙදා දීමේ සිදුවීමට අදාළ නඩු තීන්දුව පසුගිය(07) ලබා දුනි.

ඒ අනුව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා හා විදුලි සන්දේශ කොමිසම් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන අය අදාළ චෝදනාවට වරදකරුවන් වන බව කොළඹ මහාඅධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා තීන්දු කළේය.

රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව මඟින් මෙම නඩුව පවරා තිබේ.

එක් වරදකට වසර එක හමාර බැගින් වු වරද තුනක් සඳහා අවුරුදු හතරාමාරක සිර දඩුවමක් හා එක් වරදකරුවෙක් සඳහා රුපියල් ලක්ෂ 30 බැගින් වු දඩ මුදලක් ද මහාධිකරණය විසින් ඒ අනුව නියම කර ඇත.

එමෙන්ම දෙවන හා තුන්වන වරද සඳහා රුපියල් ලක්ෂ 50 බැඟින් ලක්ෂ 100 ක් වන්දි ලෙස ගෙවන ලෙස වරදකරුවන්ට මහාධිකරණ විසින් නියෝග කර තිබේ.