Back to Top

Ad

අල්ලස් ගත් විදුහල්පතිට වැඩ වරදී

අල්ලස් ගත් විදුහල්පතිට වැඩ වරදී

September 12, 2017  04:25 pm

Bookmark and Share


මාතර - තෙලිජ්ජවිල ප්‍රදේශයේ ප්‍රධාන පාසලකට සිසුවෙකු ඇතුළත් කර ගැනීම සඳහා රුපියල් දස දහසක අල්ලස් මුදලක් ලබා ගැනීමේ චෝදනාව මත එම විද්‍යාලයේ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන  කොමිසමේ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අද උදෑසන සැකකාර විදුහල්පතිවරයා විද්‍යාල භූමියේදී අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.

සැකකරු විසින් තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ දරුවෙකු අදාළ පාසලේ තුන්වන ශ්‍රේණියට ඇතුළත් කර ගැනීම සඳහා රුපියල් දස දහසක  මුදලක් අල්ලස් ලෙස ඉල්ලා තිබුණි.

සැකකාර විදුහල්පතිවරයා එම අල්ලස් මුදල වෙළෙඳසැලක හිමිකරුවෙකු මාර්ගයෙන් ලබාගෙන ඇති බව අල්ලස් කොමිසම සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.