Back to Top

Ad

නීති අධ්‍යාපනයේ අනාගතය උදෙසා නව යෝජනා මාලාවක්

නීති අධ්‍යාපනයේ අනාගතය උදෙසා නව යෝජනා මාලාවක්

September 12, 2017  02:21 pm

Bookmark and Share


මෙරට නීති අධ්‍යාපනයට පවතින අවස්ථා වැඩි කිරීම සහ නීති අධ්‍යාපනයේ අනාගත ප්‍රවර්ධනය උදෙසා ගත හැකි ක්‍රියාමාර්ග ඇතුළත් නව යෝජනා මාලාවක් අග්‍රමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය මඟින් එළි දක්වා තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය කර තිබූ ඉල්ලීමක් අනුව අග්‍රමාත්‍ය  කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය මඟින් සිදුකළ පර්යේෂණාත්මක අධ්‍යයනයකින් අනතුරුව එම යෝජනා මාලාව ඉදිරිපත් කර ඇති බව අග්‍රමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

වර්තමානයේ මෙරට ජනගහනයට සාපේක්ෂව සිටිය යුතු නීතිඥවරුන්ගේ සංඛ්‍යාව අවම මට්ටමක පවතින අතර නීති අධ්‍යාපන අවස්ථා වැඩි කිරීම තුළින් මෙරට නීති සේවාවන්ගේ අවශ්‍යතාව සපුරා ගත හැකි නීතිඥවරුන් ප්‍රමාණයක් බිහි කළ හැකි බව ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය පෙන්වා දී තිබේ.

විශ්වවිද්‍යාල නීති පාඨමාලා සඳහා තෝරා ගැනීමේ කඩඉම් ලකුණු ඉතා ඉහළ මට්ටමක පැවතීමත් නීති විද්‍යාලය තුළද නීති අධ්‍යාපනයට ඇති ඉඩකඩ සීමිත වීමත් නිසා නීති අධ්‍යාපන ප්‍රවේශයට ඇති අවස්ථා සීමිත බව අදාළ යෝජනා මාලාව තුළ දක්වා ඇති බව අග්‍රමාත්‍ය  කාර්යාලය සඳහන් කළේය.

එම ගැටළුවට විසඳුම් ලෙස ප්‍රාදේශීය උසාවිවල සිටින දක්ෂ නීතිඥවරුන් මානව සම්පත් ලෙස යොදාගෙන දිස්ත්‍රික්ක තුළ නීති අධ්‍යාපන ආයතන බිහි කිරීම හා නීති අධ්‍යයනය සඳහා නව විෂයන් හඳුන්වා දීම කළයුතු බවද එමඟින් යෝජනා කර තිබේ.

කෙසේවෙතත් අදාළ යෝජනා මෙතෙක් රජයේ ප්‍රතිපත්තියක් නොවන අතර මෙරට අනාගත නීති අධ්‍යාපනයේ වර්ධනය සඳහා යොදා ගත හැකි, සාකච්ඡාවට හා අවධානයට යොමුවිය යුතු යෝජනා මාලාවක් පමණක් බවද අග්‍රමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.