Back to Top

 ආයුර්වේද රෝහල්වල ඖෂධ හිඟය මඟහැරවීමට මෘදුකාංගයක්

ආයුර්වේද රෝහල්වල ඖෂධ හිඟය මඟහැරවීමට මෘදුකාංගයක්

July 17, 2017  10:32 pm

Bookmark and Share




දිවයින පුරා පිහිටි ආයුර්වේද රෝහල්වල ඖෂධ හිඟය මඟහැරවීම සඳහා මෘදුකාංගයක් හඳුන්වාදීමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. 
 
දිවයින පුරා පිහිටි මහා රෝහල්, ශික්ෂණ රෝහල්, දිසා රෝහල්, ප්‍රාදේශීය රෝහල්වලට ද එවැනි මෘදුකාංගයක් හඳුන්වාදීමෙන් ඖෂධ හිඟය මඟහැරවූ බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
 
බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ පැවැති සාකච්ඡාවක දී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. 

දේශීය ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන් බිහි කිරීම සඳහා දැනට ක්‍රියාත්මක විෂය නිර්දේශය සංශෝධනය කරන බවද ඒ මහතා කියා සිටියේය.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ ව්‍යාජ වෛද්‍යවරුන් ද බිහි ඇති බැවින් ඉදිරියේ දී ඔවුන් හඳුනාගෙන ඉවත් කිරීමට පියවර ගැනීමට නියමිත බවද ඔහු කියා සිටියේය. 
 
ආයුර්වේද රෝහල්වල දෛනිකව ඖෂධ හිඟයක් ඇතිවන බව මෙම සාකච්ඡාවේ දී අනාවරණය වූ අතර එම ඖෂධ හිඟය මඟ හැරවීම සඳහා මෘදුකාංගයක් හඳුන්වාදීමට මෙහිදී යෝජනා කෙරුණි.

 බොරැල්ල ආයුර්වේද රෝහල් සඳහා ඉදිකෙරෙන මහල් 08 කින් යුක්ත ගොඩනැඟිල්ල ද සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අවධානයට යොමු විය.