Back to Top

  ගස් කඩා වැටී කොළඹ මාර්ග කිහිපයක් අවහිරයි-කැළණිවැලි දුම්රිය මාර්ගයත් අවහිරයි

ගස් කඩා වැටී කොළඹ මාර්ග කිහිපයක් අවහිරයි-කැළණිවැලි දුම්රිය මාර්ගයත් අවහිරයි

May 18, 2017  03:42 pm

Bookmark and Share

පවතින අධික වාර්ෂාව සහ සුළං තත්ත්වය හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව පොලීසිය පවසයි.

ගස් කඩා වැටීම හේතුවෙන් මාර්ග කිහිපයක් අවහිර වී ඇති බව පොලීසිය පවසයි.

කොළඹ කොටුව ටෙලිකොම් මධ්‍යස්ථානය අසල, මරදාන ඩාලි පාරේ ගිනි නිවීමේ මධ්‍යස්ථානය අසල, පිටකොටුව ට්‍රැක්ටර් සංස්ථා හංදිය අසල හා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව පිටුපස බුලස් පටුමග යන ස්ථානවල මාර්ගයට ගස් කඩා වැටීම හේතුවෙන් අවහිර වී ඇති බව සඳහන්ය.

මේ හේතුවෙන් හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට මහජනතාව සහ රථ වාහන රියදුරන්ගෙන් පොලීසිය ඉල්ලීමක් කරයි.

මේ අතර පවතින අධික වාර්ෂාවත් සමග දුම්රිය මාර්ගයට ගස් කඩා වැටීම හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා පැමිණ තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ගමනාගමන අධිකාරී වී.එස්.පොල්වත්තගේ මහතා පැවසුවේ නුගේගොඩ පැඟිරිවත්ත සහ උඩහමුල්ල දුම්රිය ස්ථාන අතර මාර්ගයට ස්ථාන දෙකකදී ගස් කඩා වැටී ඇති බවයි.

මේ හේතුවෙන් අද පස්වරුවේ පාදුක්ක බලා ධාවනය වු දුම්රිය නුගේගොඩ දුම්රිය ස්ථානයේ නතර කිරීමට සිදුවු බව නියෝජ්‍ය ගමනාගමන අධිකාරීවරයා සඳහන් කළේය.

දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විට සිදුකරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.