Back to Top

 ශ‍්‍රීලනිප යූඑන්පී ආණ්ඩුවලට කුණු ප‍්‍රශ්නයට විසඳුම් නෑ

ශ‍්‍රීලනිප යූඑන්පී ආණ්ඩුවලට කුණු ප‍්‍රශ්නයට විසඳුම් නෑ

April 20, 2017  03:04 pm

Bookmark and Share


ජනාකීර්ණ ප‍්‍රදේශවලට කුණු දැමූ ආණ්ඩුව දැන් ජනතාව වගඋත්තරකරුවන් කිරීමට සූදානම් වන බව ජ.වි.පෙ. ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.

අද(20) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

කැළි කසළ කියන්නේ රටකට ජාතික ප‍්‍රශ්නයක්. නමුත් අපේ රටේ ආණ්ඩු එම ජාතික ප‍්‍රශ්නයට ජාතික මැදිහත්වීමක් සිදුකළේ නැහැ. ගෙවුණු අවුරුදු 69 පුරා කිසිඳු ආණ්ඩුවක් මේ ප‍්‍රශ්නයට ජාතික මට්ටෙමින් මැදිහත් වුණේ නැහැ. ශ්‍රීලනිපය ප‍්‍රමුඛ ආණ්ඩු, එජාපය ප‍්‍රමුඛ ආණ්ඩු රටේ කුණු ප‍්‍රශ්නයට විසඳුමක් දුන්නේ නැහැ කුණු ප‍්‍රතිචකී‍්‍රකරණය සඳහා වැඩපිළිවෙළක් හැදුවේ නැහැ. හැම මොහොතෙම සිදුකළේ පැලැස්තර උත්තර ගේන එක විතරයි. එක තැනක කුණු තවත් තැනකට ගිහින් දැම්මා.

2008දී කොළොන්නාවේ මීතොටමුල්ලට කොළඹ නගරයේ කුණු දැමීම ආරම්භ කළා. 1979 සිට මීතොටමුල්ලට දැම්මේ කොළොන්නාව නගර සභාවේ කුණු පමණයි. කොළඹ කුණු දාපු බ්ලූමැන්ඩල් ප‍්‍රදේශයේ නීතිමය ප‍්‍රශ්නයක් නිසා මීතොටමුල්ල තෝරාගත්තා. ඒ අවස්ථාවේදී එම ප‍්‍රදේශය ජනාකීර්ණ ප‍්‍රදේශයක් වී තිබුණු නිසා කුණු දාන්න එපා කියලා ජනතාව විරුද්ධ වුණා. කුණු දාන එක ගැන  කොළොන්නාව නගර සභාවට ආපු විශේෂ යෝජනාවට විරුද්ධ වුණේ ජවිපෙ මන්තී‍්‍ර ධම්මික විජයමුණි සහෝදරයා විතරයි. අනෙක් පක්‍ෂ දෙකේ මන්තී‍්‍රවරු සියලූ දෙනාම කුණු දාන එකට පක්‍ෂව අත ඉස්සුවා. ජනතාව ඊට විරුද්ධව උද්ඝෝෂණ කළා. ඝෝඨාභය රාජපක්‍ෂ හමුදාව පොලීසිය දාලා මිනිස්සු බිය වද්දලා කුණු දැම්මා. වසර ගණනකට පසුව එම ප‍්‍රදේශය කුණු කන්දක් බවට පත්වුණා. අවසානයේ ඒ කුණු කන්ද කඩා වැටිලා විශාල ඛේදවාචකයක් ඇතිවුණා.

මේ තත්වය ආණ්ඩුව විසින් පාලනය කළ යුතුව තිබුණා. කොළොන්නාව නගර සභාව, බස්නාහිර පළාත් සභාව, ආණ්ඩුව මෙම ප‍්‍රශ්නය සැලකිල්ලට ලක්කළේ නැහැ. ප‍්‍රධාන ප‍්‍රශ්නය තමයි, අපේ රටේ තියෙන කුණු මාෆියාව. මෙම කුණුවලින් සල්ලි හම්බකරන දේශපාලනඥයින් සහ නිලධාරීන් පැලැන්තියක් ඉන්නවා. ඔවුන් කුණු ඉල්ලමක් කරගෙන මුදල් හම්බ කරනවා. ඒ නිසයි මේ තරම් කුණු ප‍්‍රශ්නයක් වෙලා තියෙද්දී කුණු කඳු ගොඩගැහෙන්නේ. එකතුවෙන කුණු කසළ ජන ශූන්‍ය ප‍්‍රදේශයකට බැහැර කරලා ප‍්‍රතිචක‍්‍රීකරණය කරන්න පුළුවන්. නමුත් කුණු ඉල්ලමක් කරගත්තු දේශපාලනඥයින්ගේ බලපෑම් නිසා මේ ප‍්‍රශ්නයට විසඳුම් හොයන්න බැරිවෙලා තිබෙනවා.

අද මහ ඇමතිවරු, ආණ්ඩුවේ ඇමතිවරු එක එක කතා කියනවා. බස්නාහිර මහ  ඇමතිවරයා මෙගා පොලිස් ඇමතිවරයාට වගකීම පවරනවා. බි‍්‍රතාන්‍ය සමාගමක් ඉදිරිපත් කරපු ව්‍යාපෘතිය චම්පික රණවක ප‍්‍රතික්‍ෂේප කළා කියලා මහ ඇමති කියනවා. ඇමතිවරු කඹ අදිනවා. මහ ඇමති එකක්, මෙගා පොලිස් ඇමති තව එකක් කියනවා. මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කරන්න සමාගම් 108ක් ඉල්ලූම් කළා. මෙම කුණු දහනය කොට විදුලිය නිපදවන්න, ජීව වායුව හදන්න, පොහොර හදන්න, ඔවුන් ව්‍යාපෘති ගණනාවක් ඉදිරිපත් කළා. ලැබෙන ලාභයෙන් ආණ්ඩුවට කොටසක් ගෙවන්නත් යෝජනා වුණා. නමුත් ඒ කිසිවක් කි‍්‍රයාත්මක වුණේ නැහැ. මීතොටමුල්ලට විතරක් නෙවෙයි බ්ලූමැන්ඩල්වලටත් වුණේ එකම දෙයක්. මේ ප‍්‍රදේශවල පමණක් නොවෙයි රටේ විවිධ ප‍්‍රදේශවල කුණු ප‍්‍රශ්නය උග‍්‍ර වෙමින් තිබෙනවා. කුණු මාෆියාව නිසා උත්තර හොයන්න බැරිවෙලා තියෙනවා. ආණ්ඩුව තමයි මේ මාෆියාව පරද්දලා විසඳුම් දෙන්න  ඕන. නමුත් මේ ආණ්ඩු අවුරුදු 69ක් තිස්සේ කළේ එකිනෙකාට බැන ගන්න එකයි කඹ අදින එකයි විතරයි.

දැන් ආණ්ඩුව විසඳුමක් කියලා තවත් පැලැස්තරයක් අලවන්න යනවා. මේ කුණු තව ස්ථානයකට ගෙනිහින් දාන්න යනවා. කලින් ආණ්ඩුව පුත්තලමට ගෙනියන්න හැදුවා. මේ ආණ්ඩුව ඒකල ඔතේ කැලේට කුණු දාන්න හදනවා. එම ප‍්‍රදේශයත් ජනාකීර්ණ ප‍්‍රදේශයක්. අනෙක් පැත්තෙන් අත්තනගලූ ඔය තියෙනවා. සුළු වැස්සකටත් ගංවතුරෙන් යට වෙනවා. ඒ නිසා අනතුරක් තිබෙනවා. ඒ නිසයි ඒකල ජනතාව මීතොටමුල්ලේ කුණු එපා කියන්නේ. ආණ්ඩුව කරන්න හදන්නේ මීතොටමුල්ලේ ප‍්‍රශ්නය ඒකලට ගෙනියන එකයි. ඒක උත්තරයක් නෙවෙයි. අනෙක් පැත්තෙන් කොළඹ කුණු කරදියානට ගෙනියන්න හදනවා. එතැනත් ටොන් ලක්‍ෂ ගාණක කුණු එකතු වෙලා. කරදියානත් ජනාවාසකරණය වූ ප‍්‍රදේශයක්. අනෙක් පැත්තෙන් බොල්ගොඩ ඔය. ඒ නිසා තමයි පක්‍ෂ භේදයක් නැතිව පොදු ජනතාව මේකට විරුද්ධ වෙන්නේ. ආණ්ඩුවේ නායකයෝ කියනවා, මේක දේශපාලන උසිගැන්වීමක් කියලා. ඒ චෝදනාවලින් ආණ්ඩුව කියන්න හදන්නේ තමන්ගේ බැරිකමයි. තමන්ට ස්ථිර විසඳුමක් නැතිකමයි. මේක හරියට තමන්ගේ වත්තේ කුණු අනුන්ගේ වත්තට දාලා බේරෙන්න හදනවා වගේ වැඩක්. ඒකෙන් ප‍්‍රශ්නය විසඳෙන්නේ නැහැ.

ජනතා විමුක්ති පෙරමුණේ අපි 2002දී තිස්ස ප‍්‍රාදේශීය සභාවේ බලය ගත්තා. ඒ වෙලාවේ ප‍්‍රාදේශීය සභාවට තිබූ ප‍්‍රධාන ප‍්‍රශ්නයක් තමයි කැළි කසල ප‍්‍රශ්නය. ප‍්‍රාදේශය සභාවක් ලෙස පළමු වතාවට කසල ප‍්‍රතිචකී‍්‍රයකරණය අපි ආම්භ කළා. ‘උඩුගම් බලා යන පරිසර ව්‍යාපෘතිය‘ ලෙස අපි ඒක නම් කළා. මුලින්ම අපි කළේ අක්කර 10ක  ජනශූන්‍ය ප‍්‍රදේශයක් තෝරා ගත්තු එක. ඉන් පසුව වන අලි එන එක නවත්වන්න ඉඩම වට කරලා විදුලි වැටක් ගැහුවා. පසුව කුණු වෙන් කරලා එම ඉඩමට ගිහින් දැම්මා. ටැංකි 04ක් නිර්මාණය කරලා එකතු වුණු කුණු ප‍්‍රතිචක‍්‍රීයකරණය කරලා කාබනික පොහොර හැදුවා. කාබනික පොහොර මල්ලක් රු. 25 ගණනේ සහන  මිලකට දුන්නා. අපි කසළ ප‍්‍රතිචකී‍්‍රයකරණය පිළිබඳ ආදර්ශයක් දුන්නා. විවිධ ප‍්‍රාදේශීය සභා ගෙන්වලා තිස්ස ප‍්‍රාදේශීය සභාවේ කසළ ප‍්‍රතිචකී‍්‍රයකරණ ව්‍යාපෘතිය පෙන්වුවා. අද වන විටත් ඇතැම් ප‍්‍රාදේශීය සභා, නගර සභා යම් තරමකට මේ ප‍්‍රශ්නයට විසඳුම් හොයාගෙන තියෙනවා. නමුත් ආණ්ඩුවට විසඳුමක් හොයාගන්න බැරිවෙලා තිබෙනවා. අද කයිවාරු ගහන රාජපක්‍ෂ ආණ්ඩුව එදා තිස්ස ප‍්‍රාදේශීය සභාවේ කසළ ප‍්‍රතිචකී‍්‍රයකරණ ව්‍යාපෘතිය විනාශ කරලා දැම්මා.

රාජපක්‍ෂලා ගොඩගහපු කුණු තමයි අද මීතොටමුල්ලේ තියෙන්නේ.  ගෝඨාභය කොළඹ ලස්සන කරනවා කියලා මීතොටමුල්ලේ කුණු පිරෙව්වා. මෙහි පළමු වගඋත්තරකරුවන් වෙන්නේ රාජපක්‍ෂ ආණ්ඩුවයි. මේ ආණ්ඩුව රාජපක්‍ෂලා ගොඩගහපු කුණු පවත්වාගෙන ගියා. මෙම කුණු ප‍්‍රශ්නයට විද්‍යාත්මක විසඳුමක් තිබෙනවා. ලෝකයේ බොහෝ රටවල් මෙම විද්‍යාත්මක විසඳුම් යොදාගෙන තිබෙනවා. සමාජවාදී කියුබාව, මෙම විසඳුම් පාවිච්චි කරලා සම්පූර්ණයෙන් ඩෙංගු මර්දනය කළා. ළදරු පාසැලේ සිට වැඩිහිටියන් දක්වා කසල කළමනාකරණය පිළිබඳ දැනුවත් කරනවා. ඒ විදිහටම අපි තිස්ස ප‍්‍රාදේශීය සභාවේ ළදරු පාසැල්වල කසළ කළමනාකරණය පිළිබඳ දරුවන්ට ඉගැන්වුවා. මේවා පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, අධ්‍යාපනය ලබාදීම ආණ්ඩුව විසින් කළ යුතුයි. දිරාපත්වන කුණු, දිරාපත් නොවන කුණු වෙන් කිරීමට ජනතාව දැනුවත් කළ යුතුයි. පාසැල් තුළ විෂය නිර්දේශවලට කසල ප‍්‍රතිචකී‍්‍රයකරණය පිළිබඳ කරුණු ඇතුළත් කළ යුතුයි. ඊට සමගාමීව ආණ්ඩුව කසළ ප‍්‍රතිචක‍්‍රීයකරණයට යාන්ත‍්‍රණයක් සකස් කළ යුතුයි. මේ කරුණු දෙකම එකතු වන විට තමයි සැබෑ උත්තරයක් ලැබෙන්නේ.

කසළ ප‍්‍රතිචකී‍්‍රයකරණයේ ප‍්‍රධාන කරුණු දෙකක් තිබෙනවා. එකක් තමයි, මූලාශ‍්‍රයේදී වෙන් කිරීම. අනෙක් කාරණය වෙන්නේ 3 ආර් සිස්ටම් එක. රෙඩියුස්, රී යූස් සහ රීසයිකල්. මෙම ක‍්‍රමය යටතේ කසළ කළමනාකරණය කළ යුතුයි. අපේ රටේ මහ ඇමතිවරු, කැබිනට් ඇමතිවරු, අපේ රටේ නායකයෝ  ඕනෑ තරම් ලෝකයේ වෙනත් රටවල්වලට ගිහින් මේවා පිළිබඳව අධ්‍යයනය කරනවා. ඒත් ලංකාවේ කි‍්‍රයාත්මක වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි කුණු මාෆියාව කි‍්‍රයාත්මක වීම. කුණු ඉවත්කරන කොන්ත‍්‍රාත්තුව ගන්නේත් දේශපාලකයින්. ආණ්ඩුවත් මේ මාෆියාව පවත්වාගෙන යන කොටස්කාරයෙක්.

ඒ නිසා මේ ප‍්‍රශ්නයට උත්තරය එක තැනකින් තව තැනකට කුණු දාන එක නෙවෙයි. ජන ශූන්‍ය ප‍්‍රදේශයකට කුණු බැහැර කරලා ප‍්‍රතිචකී‍්‍රයකරණය ආරම්භ කළ යුතුයි. ඒ වගේම විපතට පත්වූවන්ට කඩිනම් සහන සැලසිය යුතුයි. අපේ රටේ ජනාධිපතිවරයා විපත සිදුවූ ස්ථානයට ගියේවත් නැහැ. අගමැති ගියෙත් කට බැඳගෙන, නහය වහගෙන. ලැජ්ජයි. මියගිය අයට ලබාදුන් මිනී පෙට්ටිවල ලෑලි ගැලවෙනවා. මේ ආණ්ඩුවේ නායකයන්ට අවම සදාචාරයක්වත් නැහැ. කෝටි ගණන් ඇමතිවරුන්ට වියදම් කරනවා.  ඇමතිවරයෙකුට ගේන එක වාහනයක සල්ලිවලින් මේ කසළ ප‍්‍රශ්නයට විසඳුම් හොයන්න පුළුවන්. අරණායක, සාලාව ප‍්‍රදේශවලදී විපතට පත්වූ ජනතාව වෙනුවෙන් මේ ආණ්ඩුව කරපු දේවල් අපි දන්නවා. ඒ නිසා ඒ විදිහටම මීතොටමුල්ලේ ජනතාවට සිදුවෙන්න දෙන්න එපා. බොරු කයිවාරු නැතිව මේ ප‍්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබාදිය යුතුයි. එමෙන්ම සාධාරණ ලෙස වන්දි ගෙවීම් කළ යුතුයි.

පළාත් සභා මන්ත‍්‍රී නීතිඥ සුනිල් වටගල මහතා අදහස් දක්වමින්,

මේ සිදුවීමෙන් පස්සේ විදේශගත ශී‍්‍ර ලාංකිකයින්ට පවා ඒ රටවල පාරේ බැහැලා යන්න ලැජ්ජාවක් ඇතිවෙලා. විදේශගතව ඉන්න මගේ යාළුවෙක් මට කතා කරලා කිව්වා, ඒ කතාවේ ඇත්තක් තියෙනවා.

ගුවන්තොටුපොළෙන් බැහැලා කොළඹට එන විදේශකයෙකුට කැළණි පාලමේදී වම බැලූවම පේන්නේ කොළොන්නාවේ කුණු කන්ද. දකුණ බැලූවාම පේන්නේ බ්ලූමැන්ඩල් කුණු කන්ද. ඉතියෝපියාවෙන් පස්සේ කුණු කන්දකට යටවෙලා මිනිස්සු මැරුණු රට ලංකාවයි. ලැජ්ජාවට කරුණක් තමයි.

කොළොන්නාවේ මෙම භූමිය කුණු දාන්න තෝරා ගත්තේ නිසි පරිසර ඇගයීම් වාර්තාවකට අනුව නොවෙයි. ඒ වගේම මේ ආණ්ඩුවට අවස්ථා 3කදී මෙම විපතෙන් ජනතාව බේරගන්න කටයුතු කරන්න තිබුණා. එක වෙලාවක මේ කුණු කන්ද ගිනි ගත්තා. ඒ මොහොතේදී මෙම කුණු කන්දේ වපසරිය පිළිබඳව නිසි ඇගයීමක් කළේ නැහැ. මෙම කුණු කන්ද තිබුණේ මඩ සහිත භූමියක. මේ මෑතකදී සුළු ගං වතුර තත්වයක් ඇතිවුණා. එහිදී අසාමාන්‍ය ලෙස නිවාස යටවුණා. ඒ වෙලාවේදීත් අපි අදාළ ආයතන දැනුවත් කළා. මෙම ස්ථානයේ අසාමාන්‍ය තත්වයක් නිර්මාණය වෙලා තියෙනවා කියලා. ආසන්නම බරපතළම සිදුවීම සිදුවුණේ අපේ‍්‍රල් 11 රාති‍්‍රයේ. අපේ‍්‍රල් 12වැනිදා මම එතනට ගිහින් බැලූවා. අසාමාන්‍ය ලෙස එම ප‍්‍රදේශයේ කොටසක් ඉරි තලා ගිහින් තිබුණා. කොන්කී‍්‍රට් තට්ුවක් පැළිලා ඈත් වෙලා තිබුණා. ඒ මොහොතේදීත් අපි අදාල බලධාරීන් දැනුවත් කළා. නමුත් මේ අවස්ථා හැම එකකදීම බලධාරීන් මේ ගැන අවධානය යොමු කරන එක මගඇරියා.

මේ සිදුවීමන් මළ සිරුරු 32ක් ඊයේ වනවිට ගොඩ අරගෙන තිබෙනවා. තවත් ගණනය නොකළ ප‍්‍රමාණයක් පොළොව යට ඉන්නවා. මේක ස්වභාවික ආපදාවක් නෙවෙයි. නොසැලකිලිමත්කම නිසා අනියම් මිනී මැරුමක්. නගර සභා ආඥා පනතේ 129 වගන්තියට අනුව කුණු ඉවත් කිරීම නගර සභාව සතු වගකීමක්. ඒ වගේම 130 වගන්තියට අනුව කසළ තම වත්කමක් බවට පත්කරගත යුතුයි. තිස්සමහාරාමය ප‍්‍රාදේශීය සභාවේදී අපි ඒක හරියටම කළා. නමුත් මීතොටමුල්ල ගත්තහම කුණු දැම්මේ කිසිදු ප‍්‍රමිතියකින් තොරවයි. ඒ වගේම ව්‍යසනය ඇතිවන බව දැනුම්දී තිිබියදී එය නොසලකා හැරලා. දණ්ඩ නීති සංග‍්‍රහයේ 298 වගන්තිය අනුව නොසලකා හැරීමෙන් මරණ සිදුකිරීම දඬුවම් ලැබිය හැකි වරදක්. අවුරුදු 5ක සිර දඬුවමකට යටත් කළ හැකියි. ඒ නිසා මේ මරණ වළක්වන්න හැකියාව තිබුණා. බලධාරීන් තමන්ගේ වගකීම අත්හැරීම නිසා මිනිස්සුන්ට ජීවිත දන් දෙන්න සිදුවුණා. මේ අපරාධයට පහුගිය රාජපක්‍ෂ ආණ්ඩුව අනුබල දුන්නා. මේ ආණ්ඩුව එම කි‍්‍රයාව සිදුකළා. ඒ නිසා මේ ආණ්ඩු දෙකම මේ මරණවලට වගකිව යුතුයි. අපි මේ වනවිටත් මේ පිළිබඳව නීතිමය උපදෙස් ගනිමින් තිබෙනවා. මීට වගකිව යුතු පුද්ගලයින්ට නඩු පැවරීම සඳහා.

ඒ වගේම මේ සිදුවීම ගැන ජනාධිපතිරවයා සමඟ සාකච්ඡාවක් පැවැත්වුණා. නමුත් කාමරයේ ගන්නා තීරණ මහ පොළොවේ කි‍්‍රයාත්මක නොවන තත්වයක් මතුවෙලා තිබෙනවා. මහ ඇමතිවරයා කොළොන්නාවේ කුණු ඉවත්කිරීමට සියලූ කි‍්‍රයාමාර්ග අරගෙන තියෙනවා කියලා සාකච්ඡාවේදී එකඟ වුණාට ඒක පොළොවේ කි‍්‍රයාත්මක වෙන්නේ නැහැ. මම ඊයේ කොළොන්නාව ප‍්‍රදේශයේ සංචාරය කරනකොට මට දැනගන්න ලැබුණා, කොළොන්නාව නගර සභාවෙන් කුණු ඉවත් කරන එක නතර කළා කියලා ජනතාව දැනුවත් කරන බව.  ඒ වෙලාවේ මම නගර සභාවට ගිහින් මේ ගැන විමසුවා. ඔවුන් නගර සභා පනත උල්ලංඝනය කරලා වැඩ කරනවා. නමුත් නගර සභාවේ මේකට වගකියන කිසිවෙක් හිටියේ නැහැ. ඒ නිසා තමයි මම කිව්වේ ශීත කාමරවල ගන්නා තීරණ මහ පොළොවේ කි‍්‍රයාත්මක වෙන්නේ නැහැ කියලා.

මීතොටමුල්ලේ තවත් අවදානම් කලාපයක් තියෙනවා කියලා දැන් හඳුනාගෙන තිබෙනවා. දැන් හමුදාව  ඇවිත් කියනවා, ඒ ප‍්‍රදේශවලින් ජනතාවට ඉවත් වෙන්න කියලා. නමුත් එහෙම කියපු පලියට ජනතාවට ඉවත් වෙන්න බැහැ. ඒ නිවාස, තට්ටු දෙකේ තුනේ කෝටි ගණන් වටිනා දේපොළ. යන්න කිව්වට වී ගබඩාවකට යන්න මේ මිනිස්සු කැමති වෙන්නේ නැහැ. තමන්ගේ කෝටි ගණන් වටිනා දේපොළ දාලා යන්න ඔවුන් කැමති නැහැ.
ආණ්ඩුව වන්දි ගෙවීම ගැන ප‍්‍රකාශයක් කර තිබුණා. මිය ගිය අයෙකුට රු. ලක්‍ෂයක් සහ නිවසකට රු. ලක්‍ෂ 25ක් ගෙවනවා කියලා. එය රක්‍ෂණයෙන් ලැබෙන මුදලයි. මේක ආණ්ඩුවෙන් ගෙවන මුදලක් නෙවෙයි. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ මේ දේපොළ පිළිබඳව ඇත්ත සාධාරණ තක්සේරුවක් කරන්න කියලා. මේ ආණ්ඩුව ජනතාවගේ ජීවිත එක්ක සෙල්ලම් කරනවා. අපි ඒකට ඉඩ තියන්නේ නැහැ. ජවිපෙ ජනතාවගේ පැත්තේ ඉඳිමින් මෙම ගැටලුවට විසඳුම් හොයන්න මැදිහත් වෙනවා.

හිටපු නාගරික මන්ත‍්‍රී ධම්මික විජයමුණි මහතා අදහස් දක්වමින්,

දහම්පුර, මීතොටමුල්ල ප‍්‍රදේශවල ජනතාව මුහුණ දීලා තිබෙන්නේ ඉතාම ශොකාකූල තත්වයකට. මිනිස් ජීවිත 32ක් අහිමි වෙලා තිබෙනවා. තවත් 30කට පමණ ආසන්න පිරිසක් අතුරුදහන් වෙලා. මෙම ස්ථානයට 1979 ඉඳලා කුණු දැම්මා. මේ මිනිස්සු කුණු කන්දක් ළඟට ඇවිත් පදිංචි වුණේ නැහැ. ආණ්ඩුව මිනිස්සු ඉන්න තැනකට කුණු ගෙනත් දැම්මා. කුඹුරක් තිබුණු ඉඩමකට තමයි ආණ්ඩුව කුණු ගෙනත් දැම්මේ. දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා තමයි මෙම ස්ථානයට කුණු දාන්න නඩු තීන්දුවක් ගත්තේ. නගර සභාවේදී මම විතරයි මේකට විරුද්ධ වුණේ. ඒ වෙලාවේදී තිබුණු තත්වය ඔබ සියලූ දෙනා දන්නවා ඇති. එදා නගර සභාවේදී මට වතුර වීදුරුවෙන් පවා පහර දුන්නා. නගර සභාවේ කාර්ය මණ්ඩලය තමයි මාව බේරගත්තේ. මෙතැන්ට කුණු දාන්න කිසිදු පරිසර වාර්තාවක් නැහැ. එවකට ආරක්‍ෂක ලේකම්වරයාගේ අණකට අනුව තමයි තීන්දු තීරණ ගත්තේ. මේකේ වගඋත්තරකරුවන් නීතිය ඉදිරියට ගෙන ආ යුතු බවයි ප‍්‍රදේශවාසීන් කියන්නේ.

පාරම්පරිකව ජීවත් වුණු මිනිස්සු ඉන්න තැනකට කුණු ගෙනත් දාලා දැන් කියනවා  එම ප‍්‍රදේශය අවදානම් කියලා. මිනිස්සුන්ට ඉවත් වෙන්න කියලා. පහුගිය ආණ්ඩුව කුණු දැම්මා. මේ ආණ්ඩුව කුණු පෙන්වලා ඡුන්ද ගත්තා. ඒ ප‍්‍රදේශයේ මිනිස්සුන් ඉවත් කරන විදිහත් සාධාරණ නැහැ. ඒ නිසා අපි කොලොන්නාව ජනතාව සමඟ මේ ප‍්‍රශ්නයට විසඳුම් හොයන්න මැදිහත් වෙනවා. මේ සඳහා ඔබ සියලූ  දෙනාට අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.

මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්,

මේ ප‍්‍රදේශයේ ජීවත් වුණු 60කට ආසන්න පිරිසක් මෙම අනතුරට මුහුණ දුන්නු බව තමයි ප‍්‍රදේශවාසීන් පවපසන්නේ. ආණ්ඩුවේ ලේඛනවලට අනුව මේ වනවිට 08 දෙනෙක් අතුරුදහන් කියලා තිබෙනවා. නමුත් මේ පිළිබඳව නිශ්චිතව තොරතුරු ලබාගන්න නොහැකි වෙලා තිබෙනවා. අවුරුදු නිසා මේ ප‍්‍රදේශයට පිටතින් ආව පිරිස් ඉන්නවා. සිද්ධිය වූ දිනයේ උත්සවයක් තිබුණා කියලත් වාර්තා වෙනවා. එනිසා මෙම සංඛ්‍යාලේඛනවල විචලනයක් තියෙන්න පුළුවන්.

විගණකාධිපතිගේ වාර්තා අනුව කුණු ඉවත් කිරීමේ කි‍්‍රයාවලියේ මූල්‍ය අක‍්‍රමිකතා සිදුවෙලා තියෙන බව පැහැදිලියි. කුණු එක්ක සල්ලි ගනුදෙනු වන බව සියලූ දෙනාම දන්න කරුණක්. එය ඔප්පු කර ගැනීම නීතිය ඉදිරියේ තියෙන දෙයක්.

කුණු ඉවත්කිරීමේ කි‍්‍රයාවලියට යොදාගන්න කැටෆිලර් යන්ත‍්‍රයකට පැයකට රු. 8000ක මුදලක් ගෙවනවා. එතකොට හිතාගන්න පුළුවන් මෙහිදී කොයි තරම් මුදලක් ගෙවා තිබෙනවාද කියලා. ඒත් මේ විපතට පත්වුණු ජනතාවට ගෘහ භාණ්ඩ ලබාගන්න දෙන්නේ ලක්‍ෂ දෙක හමාරයි.

දැන් ආණ්ඩුව මෙහි වගකීම ජනතාව මත පටවන්න හදනවා. අවදානම් තත්වයක් තියෙද්දී ප‍්‍රදේශවාසීන් ඉවත් වුණේ නැහැ කියලා චෝදනා කරනවා. මේවා පාරම්පරික ඉඩම්. එම ඉඩම්වලට කුණු දාලා ජනතාව එතැනින් ඉවත් කරන්න හදනවා. නමුත් ආණ්ඩුව කළ යුතුව තිබෙන්නේ ජන ශූන්‍ය ප‍්‍රදේශයක් තෝරාගෙන කුණු ප‍්‍රතිචකී‍්‍රයකරණයට වැඩපිළිවෙළක් හදන එකයි. ඒකට මිනිස්සු විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් කුණු ගෙනත් දාපු ආණ්ඩුව මිනිස්සු වගඋත්තරකරුවන් කරන්න හදනවා. ඒක තමයි  මේ ආණ්ඩුව කරන දෙවැනි සාපරාධී කටයුත්ත.