කොළඹ එක් රැස් වන කැළි කසළ වත්තල, පමුණුගම, බෝපිටිය ප්‍රදේශයට බැහැර කිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවයක නිරත වී තිබේ.
පවතින ආපදා තත්ත්වය හේතුවෙන් කොළඹ එක් රැස් වන කැළි කසළවලින් දිනකට මෙට්ට්‍රික් ටොන් 300ක බැඟින් සති දෙකක කාලයක් බෝපිටිය ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමකට බැහැර කිරීමට තීරණය කර ඇති බව සඳහන්ය.
කෙසේවෙතත් ඊට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් අදාළ ඉඩමට පිවිසෙන දෑලතුර පාළම අසලින් මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරත වූ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
මෙම ස්ථානයට පැමිණි ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු පවතින තත්වය පිළිබඳව විරෝධතාකරුවන් වෙත කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
කෙසේවෙතත් විරෝධතාකරුවන් සිය විරෝධතාව අඛණ්ඩව පවත්වාගෙන යමින් සිටින බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.