Back to Top

විශිෂ්ටතමයින්  ඇගයීමේ ජාතික සම්මාන උළෙල හෙට

විශිෂ්ටතමයින් ඇගයීමේ ජාතික සම්මාන උළෙල හෙට

March 19, 2017  09:32 pm

Bookmark and Share
 

මාතෘ භූමිය වෙනුවෙන් සිය සුවිශේෂී දායකත්වය ලබාදෙන විශිෂ්ටතමයින්  ඇගයීමේ ජාතික සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේ දී හෙට(20) පැවැත්වීමට නියමිතව තිබේ.

දේශයේ ප්‍රගතිය වෙනුවෙන් එක් එක් ක්ෂේත්‍ර ඔස්සේ සිය අද්වීතිය දායකත්වය ලබාදුන් ශ්‍රී ලාංකිකයින්ගේ මෙහෙවර ඇගයීම වෙනුවෙන් පැවැත්වෙන ජාතික සම්මාන උළෙල මෙවර පැවැත්වෙන්නේ වසර 12කට පසුව වීම විශේෂත්වයකි.

මෙහිදී ජනාධිපතිවරයා අතින් පුද්ගලයින් අනූ දෙනෙකුට ජාතික සම්මාන පිරිනැමීමට නියමිත අතර උච්චතම සම්මානය වන ශ්‍රී ලංකාභිමානී සම්මානය ජාතිය උදෙසා කරන ලද උත්කෘෂ්ට හා අති කීර්තිමත් සේවය සඳහා එක් අයෙකුට පිරිනැමෙන බව සඳහන්වේ.

 මීට අමතරව දේශමාන්‍ය සම්මාන 10ක්, දේශබන්දු සම්මාන 9ක්, විද්‍යා ජෝතී සම්මාන 11ක්, ශ්‍රී ලංකා රංජන සම්මාන 2ක්, කලාකීර්ති සම්මාන 22ක්, ශ්‍රී ලංකා ශිඛාමනී සම්මාන 7ක්, විද්‍යානිදි සම්මාන 10ක්, කලාශූරී සම්මාන 14ක් , ශ්‍රී ලංකා තිලක සම්මාන 2ක් හා වීර ප්‍රතාප සම්මාන 2ක් ලෙස විශිෂ්ටතමයින් 89 දෙනෙකු සඳහා සම්මාන පිරිනැමීමට නියමිතය.

 ශ්‍රී ලංකාව මෙන්ම පොදුවේ සියලු ලෝක ජනතාව වෙනුවෙන් ඉටුකළ සුවිශේෂී මෙහෙවර වෙනුවෙන් ශ්‍රී ලාංකික නොවන පුද්ගලයින් දෙදෙනෙකු සඳහා ශ්‍රී ලංකා රංජන ජාතික සම්මාන පිරිනැමෙයි.

 ඒ ඒ පුද්ගලයින් විසින් සහ විවිධ මහජන සංවිධාන විසින් යොමුකරන ලද නාමයෝජනා විද්වත් විනිශ්චය මණ්ඩලයක් විසින් ඇගයීමට ලක් කිරීමෙන් පසු මෙම විශිෂ්ටතම පුද්ගලයින් අනූ දෙනා තෝරාගෙන ඇති අතර ඒ සඳහා නම් 426ක් යෝජනා වී තිබු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.