Back to Top

 2020දී ජනාධිපතිවරණයක් නෑ

2020දී ජනාධිපතිවරණයක් නෑ

January 11, 2017  06:03 pm

Bookmark and Share



වසර 2020 දී ජනාධිපතිවරණයක් නොපැවැත්වෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද (11 ) පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා පෙන්වාදුන්නේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරමින් නව ව්‍යවස්ථාවක් කරා යාම ආණ්ඩුවේ අපේක්ෂාව බවයි.

ජනාධිපතිවරයාගේ අරමුණද එයම බව කී අමාත්‍යවරයා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැමුන් පවසන දේ අදාළ නොවන බවද කියා සිටියේය.

විධායක ජනාධිපති ධුරය එලෙසම පවත්වාගෙන යාමටත් 2020 වසරේ ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාම ඉදිරිපත් වියයුතු බවටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව අමාත්‍ය සරත් අමුණුගම පසුගියදා පැවසීය.

එමෙන්ම ඊයේ(10) දින විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ අභ්‍යන්තර විගණන වාර්තාවක් අනුව බවත්, ඔහු විසින් කෝටි 9කට අධික පාඩුවක් සිදුකර ඇති බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි.

එහිදී වාහන 40කින් එම පාඩුව සිදුකර ඇති බවත්, රජයේ නොවන ඇතැම් වාහන කුලී පදනම මත ලබාගත් ඒවා වන බවත්, ඇතැම් නිලධාරීන්ට අතිකාල දීමනා ආදිය ලබාදීම සඳහා වැය කර ඇති මුදල්ද මෙම කෝටි 9ට ඇතුළත් වන බවත් ඒ මහතා පෙන්වා දෙනු ලබයි.

එසේම විමල් වීරවංශ මහතාද ඇතුළුව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයාත් මෙසේ වැරදි කිහිපයකට දඬුවම් විඳිය යුතු බව පොලීසිය පෙන්වා දුන් බවත් ඒ මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද (11) කොළඹදී පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ඉදිරියේ දී බලාත්මක කිරීමට නියමිත තොරතුරු පනත සම්බන්ධයෙන් ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ විය.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක‍ මහතා මෙසේ සඳහන් කළේය.

“තොරතුරු දැන ගැනීමේ පනත අපි සම්මත කර ගත්තා. ඒක මාස 6ක ඇතුළත බලාත්මක කළ යුතුයි. මෙයින් ඇතැම් කරුණු සහ පෞද්ගලික වෛද්‍ය තොරතුරු නැතුව වෙනත් කරුණු සම්බන්ධයෙන් තොරතුරු ලබා ගන්න පුළුවන්. මේක මාධ්‍යයට පනවනවා කියලා වැරදි තොරතුරක් ගියා. ඒත් ඒක එහෙම පනතක් නෙමෙයි. මේක පුරවැසියන් විදිහට ලැබූ ලොකු ජයග්‍රහණයක්.“

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා මෙසේ පවසා සිටියේය.

“ලෝකෙ කොහෙවත් තොරතුරු පනත හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. දැනට රාජ්‍ය ආයතනවල මේක ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. පැය 24ම මේක ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. රාජ්‍ය සේවාව ක්‍රියාත්මක වෙන කාලයේ විතරයි මේක ක්‍රියාත්මක වෙන්නෙ.“

මේ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමට එක්වෙමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය මහතා පවසා සිටියේ මාධ්‍ය විසින් මෙම පනත උල්ලංඝණය කළහොත් දින 14කට සිරගත කළ හැකි ආකාරයට මෙම පනත ඔස්සේ ප්‍රතිපාදන සැලසී ඇති බවයි.