Back to Top

සීමා නිර්ණ වාර්තාව 17 ලැබෙනවා

AdaDerana Ad

සීමා නිර්ණ වාර්තාව 17 ලැබෙනවා

January 11, 2017  05:19 pm

Bookmark and Share


සීමා නිර්ණ වාර්තාව එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයා විසින් ලබන 17 වනදා අත්සන් කර බාර දෙන බව ලිඛිතව දැනුම් දුන් බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.

ඒ අනුව එම වාර්තාවේ අඩුපාඩු නොමැති වුවහොත් එය ගැසට් කිරීමට එදිනම කටයුතු කරන බව ඔහු කියා සිටියේය.

මැතිවරණයක් පැවැත්වීමට බියෙන් කිසිදු අවස්ථාවක මෙම සීමා නිර්ණ වාර්තාව ඉදිරිපත් කිරීම ප්‍රමාද නොකළ බව අමාත්‍යවරයා පැවසීය

ඒ මහතා මේ බව කියා සිටියේ අද (11) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

තමා සිටින අමාත්‍ය ධූරය වඩාත් වගකීමෙන් ඉටු කරන බවත් එයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කිසිදු බලපෑමක් නොමැති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

එසේම මෙම සීමා නිර්ණ වාර්තාව ඉදිරිපත් කිරීමේදී පවා කිසිදු අවස්ථාවක බලපෑමක් ඇති නොවූ බවත් එය අඩුපාඩු නොමැතිව කළ බවත් ඔහු කියා සිටියේය.

චීනයෙන් කම්කරුවන් මෙරටට ගෙන්වන්නේ නැති බව වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා එම මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.

හම්බන්තොට ඇති වූ සිද්ධිය සිදු නොවිය යුතු එකක් බවත්, එය රටේ ආදායමට සිදුවූ හානියක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

වෙනත් රටවල තනි පුද්ගලයින්ට පවා වරායවල් තිබෙන බවත් අපේ රටේ වෝක්ස් වැගන් සිද්ධියේදී ඇතැම් අය එය හාස්‍යයට ලක්කළ බවත් හෙතෙම කියා සිටියේය.

ඉතිහාසයේ අත්සන් කළ ගිවිසුම්වල අන්තර්ගතයන් විනිවිද භාවයක් නොමැති වුවත් මේ වන විට ගිවිසුම් අත්සන් කිරීම් සම්බන්ධයෙන් කමිටු පත් කිරීම තුළින් දැනුවත් භාවයක් ඇති බවත් මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ක්‍රිඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපතිනිය විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශ පිළිබඳ මාධ්‍යවේදීන් විසින් කළ විමසීමේදී අමාත්‍යවරයා කියා සිටියේ එම අදහස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස නොවන බවය.

එසේම ඉදිරි මැතිවරණයට ජනාධිපතිවරයා ඉදිරිපත් වන්නේ ද පිළිබද මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටි අතර එහිදී අමාත්‍යවරයා කියා සිටියේ පක්ෂයේ බහුතරයේ කැමැත්ත මත එය සිදු වන බවයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඡන්දයෙන් පත්වන විට නැවත ජනාධිපති ධූරයට ඉදිරිපත් නොවන බව පැවසුව ද පක්ෂයේ කැමැත්ත අනුව එතුමාට ඉදිරිපත් නොවී සිටීමට නොහැකි වනු ඇති බවත් හෙතෙම කියා සිටියේය.