කෝටිපති ව්‍යාපාරිකයාගේ සල්ලිවලට විද්ද සේවකයා

කෝටිපති ව්‍යාපාරිකයාගේ සල්ලිවලට විද්ද සේවකයා

June 9, 2026   10:52 am

මීගොඩ, උඩගෙවත්ත ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් රුපියල් ලක්ෂ 80ට වැඩි මුදලක් සොරාගත් එහි සේවකයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 50කට වැඩි මුදලක් ද පොලීසිය විසින් සොයා ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල හැලමඩ සේවාලෙගම ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.

ඉකුත් වෙසක් පොහොය නිවාඩුව වෙනුවෙන් අදාළ ව්‍යාපාරිකයා සිය සේවකයින් සියල්ලන්ටම නිවාඩු ලබා දී ඔහු ද තම පවුලේ අය සමග කතරගම වන්දනාවේ ගොස් තිබුණි.

එහිදී මෙම සැකකාර සේවකයා ව්‍යාපාරිකාගේ නිවස බිඳ රුපියල් ලක්ෂ 80ක මුදලක් සොරා ගෙන පළාගොස් තිබුණි.

කෙසේවෙතත් අදාළ සේවකයා මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ මෙම මීගොඩ සොරකම සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණය වී තිබේ.

මෙම සැකකරු මුදල් සොරා ගැනීමෙන් පසු නිවසේ සිට මාර්ගයට පා ගමනින් පැමිණ, එතැන් සිට ත්‍රීරෝද රථ දෙකකින් මාකුඹුර දක්වා ගමන් කර ඇති බවත් පසුව  අනුරාධපුරය දක්වා යන බස් රථයක නැගී අලව්ව තෙක් ගමන් කර එම ප්‍රදේශයේ නවාතැන්පලක නැවතී සිට ඇති බවටත් හෙළි වී ඇත.

එමෙන්ම අලව්ව වෙත කුලී පදනම යටතේ වෑන් රථයක් ගෙන්වාගෙන ඔහු නැවත සිය නිවස වෙත පැමිණ ඇති බවත් ඊට කුලිය ලෙස රුපියල් 50,000ක මුදලක් ලබා දී ඇති බවටත් තොරතුරු අනාවරණය වී ඇත.

මොහුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු සඳහන් කර ඇත්තේ සොරා ගත් ලක්ෂ 80ක මුදලින් ලක්ෂ 30ක මුදලක් තමා විසින් වියදම් කළ බවය.

අදාළ සැකකරු හෝමගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.