නිරිතදිග මෝසම ක්‍රමයෙන් ස්ථාපිත වෙයි - 26, 27, 28 දිනවල වැස්ස වැඩිවෙන ලකුණු

නිරිතදිග මෝසම ක්‍රමයෙන් ස්ථාපිත වෙයි - 26, 27, 28 දිනවල වැස්ස වැඩිවෙන ලකුණු

May 24, 2026   12:34 pm

එළැඹෙන මැයි 26 හෝ 27 වැනි දිනවලදී නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත විය හැකි බැවින් එම දිනවලදී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයට වැසි වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර තිබේ.

මේ අතර පසුගිය දිනවල ඇදහැලුණු තද වැසි හේතුවෙන් ඉහළ ගිය ප්‍රධාන ගංගා ජල මට්ටම් රැසක් මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දත්තවල සඳහන් වී තිබේ.

නිරිතදිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීමත් සමඟ දිවයිනේ නිරිතදිග කොටසේ බොහෝ ප්‍රදේශවලට පසුගිය දිනවල වැසි ඇදහැලුණු අතර ඇතැම් ප්‍රදේශවලට ලැබුණු  මිලිමීටර 200 සහ 300 ඉක්මවූ වැසි සමඟ මෙරට ප්‍රධාන ගංඟා රැසක ජල මට්ටම් ඉහළ ගොස් ගංවතුර තත්ත්වයක්ද හට ගෙන තිබුණි.

එහෙත් ඊයේ (23) දිනයේදී තද වැසි ඇතිනොවීම හේතුවෙන් ඉහළ ගිය ගංගාවල ජල මට්ටම් මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබෙන බව සඳහන් වෙයි.

මේ අතර, පසුගියදා ඉහළ ගොස් තිබූ කැලණි ගඟේ ජල මට්ටම මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (24) පෙරවරු 9.30ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

කෙසේවෙතත් කළු ගඟ, මිල්ලකන්ද ප්‍රදේශයෙන් තවදුරටත් සුළු ගංවතුර තත්ත්වයක පවතින බව සඳහන් වෙයි.

කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟේ මිල්ලකන්ද ජල මාපාංකය අද (24) පෙරවරු 8ට සටහන්ව තිබුණේ මීටර් 6.51ක් ලෙසිනි.

අද දෙරණ වාර්තාකරු පැවසුවේ කුඩා ගඟේ ජල මට්ටම ක්‍රමයෙන් අඩුවෙමින් පැවතුනද එය තවමත් පිටාර මට්ටමේ පවතින බවයි.

මේ අතර, හොරණ බැල්ලපිටිය ආශ්‍රිත පහත් බිම් තවදුරටත් ජලයෙන් යටව තිබේ.

එමෙන්ම බුලත්සිංහල - කළුතර මාර්ගය, දීයකඩුව ප්‍රදේශයෙන් තවදුරටත් ජලයෙන් යටවීම නිසා ගමනාගමනයට බාධා එල්ල වී තිබුණි.

එමෙන්ම කළු ගඟේ ජල මට්ටම , පුටුපාවුල සහ ඇල්ලගාව  ප්‍රදේශවලින් තවදුරටත් අවධානයෙන් සිටිය යුතු මට්ටමේ පවතින බව සඳහන් වෙයි.

මේ අතර පසුගිය දිනවල ඉහළ ගොස් තිබූ අත්තනගලු ඔයේ ජල මට්ටමද මේ වනවිට පහළ යමින් පැවතුනද  දූනමලේ අවට ජනතාව තවදුරටත් විමසිල්ලෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

අත්තනගලු ඔයේ පිටාර ජලයෙන් ජා ඇළ පාරිස් පෙරේරා මාවතේ හා සුදු වැල්ල ප්‍රදේශයේ නිවාස රැසක් තවමත් ජලයෙන් යට වී තිබේ.

ඉකුත් වසර අවසානයේදී හටගත් දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ පාරිස් පෙරේරා මාවතේ ආරම්භයේ ඇලේ පැති බැම්ම මෙතෙක් පිළිසකර නොකිරීම හේතුවෙන් මෙම ප්‍රදේශයේ නිවාස ජලයෙන් යටවන බවයි ප්‍රදේශවාසීන් මැසිවිලි නඟයි.

මෙවන් පසුබිමක ජා ඇළේ , ස්වර්ණ හංස පොඩි ඇළේ පාලමද ඊයේ (23) පස්වරුවේ කැඩීගොස් තිබේ.

ජා ඇළ සිට ගම්පහ නගරය දක්වා දිවෙන ප්‍රධාන බස් මාර්ගය , යක්කඩුව ප්‍රදේශයෙන් තවමත් ජලයෙන් යටව ඇත.

මේ අතර, දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් රත්නපුර, ගම්පහ, කළුතර ඇතුළු දිස්ත්‍රික්ක 8ක පවුල් 7482කට අයත් පුද්ගලයින් 28,933 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එමෙන්ම, පවුල් 491 කට අයත් පුද්ගලයින් 1731 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 18ක රඳවා සිටින අතර ආපදා තත්ත්වයෙන් අර්ධ නිවාස හානි 836ක් සහ පූර්ණ නිවාස හානි 02ක් වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ අතර, අද, හෙට සහ ඉදිරි කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණවිද්‍යාඥ කසුන් පැස්කුවල් මහතා අඳහස් දක්වන්නට විය,

"බොහෝ දුරට අද දිනයේදී සාමාන්‍ය කාලගුණ තත්ත්වයට සමාන තත්ත්වයක් තමයි හෙට දිනයේදීද පවතින්නේ. විශේෂයෙන් මැයි මස 26,27,28 යන දිනවලදී ශ්‍රී ලංකාවේ නිරිතදිග ප්‍රදේශයට වර්ෂාවේ තරමක වැඩි වීමක් අපි බලාපොරොත්තු වෙනවා. ගොඩක් දුරට ඒ දින ආසන්නව අපිට නිරිතදිග මෝසම් තත්ත්වය ස්ථාපිත වූ බවට අනාවැකි පල කිරීමේ හැකියාව තියෙනවා"